Gossip

“හිතවත් දමිත්, ඉක්මනින් එන්න” – ගීත රූප රචනාවලින් ප්‍රසිද්ධ වූ නිළිය ගැනත් දමිත්ගේ ජීවිත කතාව ගැනත් මෙතෙක් නොඇසුණු කතාවක්

ගායන ශිල්පී දමිත් අසංක අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එමගින් දමිත්ට යහපත් තීන්දුවක් එනතුරු ඔහුගේ රසිකයන් බලා සිටිනවා.

කෙසේ වෙතත් නිහතමානි හිත හොඳ ගායන ශිල්පියෙකු ලෙස ප්‍රසිද්ධ දමිත් අසංක වෙනුවෙන් රසිකයන් සහ කලා ශිල්පීන් බොහෝ පිරිසක් ඉදිරිපත් වුණා.

කෙසේවෙතත් දමිත් අසංක කලාකරුවාගේ ජිවීත කතාව පිළිබදව ලිපියක් සති අන්ත පුවත්පතක පළව තිබුණා. මේ ඒ ලිපියයි.

කලා ලෝකයේ කලාකරුවන්ට මේ කාලය එතරම්ම සුබ දායක නැත. කලා ලෝකයෙන් පසුගිය කාලයේ ඇසුණු වේදනාත්මකම ප‍්‍රවෘත්තිය බවට පත් වූයේ ජනප‍්‍රිය ගායන ශිල්පී දමිත් අංසක තම නිවසේදී අත් අඩංගුවට ගත් පුවතයි.

ඇතිලිවැව තම නිවසේදී ඇති වූ ආරවුලකින් පසු ගම්වාසීන් විසින් පොලිසියට දුන් තොරතුරක් අනුව දමිත් කුඩාඔය පොලිසිය මගින් අත් අඩංගුවට ගත් බවද ඒ අවස්ථාවේ දමිත් ළග මත්ද්‍රව්‍යද තිබූ බවටද ෆේස්බුක්, යූ ටියුබ් හරහා ආරංචි පැතිර ගියේය. තවද ඔහු පන්සලකින් හොරකම් කළ සිවුරක් හැඳ ගනිමින් අවසිහියෙන් ගම වටේ බණ කියමින් ගිය බවටද එම පුවත් වාර්තා කොට තිබිණි.

ඇත්තය. ඔහු ප‍්‍රචණ්ඩකාරි ලෙස හැසිරී තිබිණි. එහෙත් ඒ ඔහුගේම නිවසේදීය. සිවුරක්ද හැඳ තිබිණි. ඒ පුවතද සත්‍යය පුවතකි. එහෙත් එහි යම් යම් ස්ථාන සංශෝධනය විය යුතුය. අත්අඩංගුවට පත් වන විට දමිත් ළග මත්ද්‍රව්‍ය තිබී නැත. ඔහු මත්ද්‍රව්‍ය භාවිත කරන අයකු යැයිද විශ්වාස කරන්නට තරම් සාක්‍ෂි හමු වීද නොමැත.

මේ කතාවේ ඇත්ත හරියටම දන්නේ දමිත් අත් අඩංගුවට ගත් කුඩා ඔය පොලිස් නිලධාරීන්ය. දමිත් අත්අඩංගුවට ගත්තේ කුඩාඔය පොලිසියේ අපරාධ අශයේ (24098) සැරයන් ලලිත්ය. ඔහු පසුගිය 28 වැනිදා යම්කිසි රාජකාරියක් වෙනුවෙන් ඇතිලිවැව පාසලට ගොස් එන අතරතුරදී ගමේ විහාරයේ ලොකු හාමුදුරුවෝ හදිසියේ ඔහුගේ ගමන නතර කොට කීවේ ‘අර ගායකයා බීලා සිවුරකුත් ඇඳගෙන වත්ත වටේ යනවා. පොඞ්ඩක් බලන්න’ කියාය. ඒ අනුව ඇතිලිවැව දමිත්ගේ බිරිඳගේ නිවසට ගිය පොලිස් නිලධාරින්ට සිද්ධිය ඇස් දෙකෙන්ම දැක ගන්නට හැකි වී තිබිණි. දමිත් අසංක ගායන ශිල්පියා සිවුරක් හැඳ වත්තේ කොනක සිටියේය. ඔහු අවසිහියෙන් සිටියාද නැත්ද යන වගක් පැහැදිලි නැත. එහෙත් ඔහු සැරයන් ලලිත් හඳුනාගෙන කතා කළේය. සැරයන් වරයා ‘අපේ හාමුදුරුවෝ’ කියා කතා කොට ළගට ගොස් පැය ගණනක් දමිත් හා කතා බහ කොට ඔහුව රැගෙන පොලිසියට ගියේය.

දමිත් උසාවි දැමීමට තරම් වරදක් ඔහු කර තිබිණි. ඒ පන්සලක සිවුරක් හැඳීම නොව. එසේ. නැතිනම් සමාජ ජාල වෙබ් අඩවි වාර්තා කරන ආකාරයට කුඩු ගැසීමද නොව, අවසිහියෙන් කලහකාරි ලෙස හැසිරීමය. සමාජයට කරදරකාරි ලෙස හැසිරීමය. ඒ අනුව දින 14ක් මොනරාගල බන්ධනාගාරයේ සිටින්නට දමිත්ට සිදුවිය. ඔහුව ලබන 09 වැනිදා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය. එදිනට ඔහුගේ මානසික මට්ටම පිළිබඳ සහ මත්ද්‍රවය භාවිත කළාද නැත්ද යන්න පිළිබඳ වෛද්‍යා වාර්තාවද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඇතැම්විට මේ ගෙවෙන්නේ දමිත්ගේ ජීවිතයේ අමාරුම අවධිය වන්නට ඇත. එදා ඔහුට ආදරය කළ උන්ම අද ඔහුට අමු අමුවේ මඩ ගසන්නේ ඒ නිසාම වන්නට ඇත. ජීවිතයේ විඳි දහසකුත් වේදනා මැද ඇතැම්විට ඔහුට ජීවිතය එපා වන්නට ඇත. කලකිරෙන්නට ඇත. සියල්ල අනිත්‍ය ලෝකයේ තමන්ට හිමි එකම දේ බුදුදහම සරණ යෑම පමණක් යැයි ඔහුට සිතෙන්නට ඇත. අද ඔහු බන්ධනාගරයේ සිරවී ජීවිතය විඳවනවා වන්නට ඇත. කොහොමත් දෙවියන් විසින් දමිත්ට ජීවිතය රෝල් කර එව්වේ දුක කම්කටොලූ රැසක් සමගය.

වයස යන්තම් අවුරුදු 19 පිරෙද්දී පවුලේ සියලූ බර මහමෙරක් සේ දමිත් පපුවට ගත්තේය. පියා නොමැති පවුලේ එකම ගැලවුම්කරුවා වූයේ දමිත්ය. එදා පටන් විඳි සියලූ දුක්ඛ දෝමනස්සවල පාඩුව පිරිමසන්නට මෙන් 2005,2006 වකවානුවේ ලංකාවේ ජනප්‍රියම ගායකයා වූයේ දමිත්ය. එවකට කැසට් කඩයක් කඩයක් ගානේ, බස් රථයක් ගානේ පමණක් නොව ගුවන් විදුලි නාලිකාවල පවා පැයකට වරක් බැගින් අනිවාරයයෙන්ම දමිත්ගේ ගීයක් වාදනය විය.

දමිත් ආවේ වැල්ලවාය ඇතිලිවැව කියන අති දුෂ්කර ගම්මානයෙනි. ගිනි ගහන අව්වේ කර්කෂ පොළොවේ හේන් කෙටූ දමිත් පැල් කවි කාරයෙකි. ඒ ගැඹුරු හඩ ‘මට දුන්න දුක් ගින්නට, පායන සඳේ සීතල රැයට’ද හොඳින් ගැලපුනේය. සුවසහක් ශ්‍රී ලංකීය රසික ජනතාව දමිත් වටා එකතු වූයේ ඒ නිසාය. දමිත් හදවතේ ගායකයා බවට පත්වන්නට වැඩි කලක් ගතවූයේද නැත.

එච්.ආර්. ජෝතිපාලගෙන් පසු එකම ගායන ශිල්පියෙකුගේ කැසට් පටයක් වැඩිපුරම අලෙවි වූවා නම් ඒ දමිත්ගේ ‘සිතේ පෙම් පුරා’ මුල්ම කැසට් පටයය. එදවස රසිකයෝ සති ගණන් රෙකෝඩ් බාර්වලට සල්ලි බැඳ දමිත්ගේ කැසට් පට එනතුරු බලා සිටිහ. කරුණු එසේ වෙත්දි එවකට පාඩු ලබමින් තිබු කැසට් ආයතන හිමි කරුවෝද දමිත්ගෙන් ගොඩ ගියෝය. ඔවුහු දමිත්ගේ කට හඩ විකුණාගෙන කෑහ. ඔවුහු දමිත් සමග කෝටි ගණනින් ගිවිසුම් ගැසුවේය.

ගමෙන් කොළඹ ආ දමිත් ඒ සියල්ල විශ්වාස කළේය. අනතුරුව සිදුවූයේ දමිත් සහභාගිවන සෑම ප‍්‍රසංගයකින්ම ලැබෙන මුදලින් කොටසක් කැසට් සමාගමට යෑමය. දමිත් මේ සියල්ල විඳ දරා ගත්තේය. හොඳම හිතවතෙකුට පවා මේ බවක් නොකියන්නට තරම් ඔහු නිහතමානි විය. ඔහු ප‍්‍රසංග පවා මග හැරියේය. ඒ අනුන් වෙනුවෙන් හම්බකරදීම පලක් නොවන නිසාය.

දමිත් ගමේ පාසල් ප්‍රේමය විවාහය කරගත්තේය. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඇතැම් විට ජනප‍්‍රියත්වය වැඩිවන්නට වැඩිවන්නට ඔහුගේ විවාහ ජීවිතය අවුල්වන්නට ඇත. ප‍්‍රසිද්ධ මාධ්‍යයක් හරහා එය හාරා ඇවිස්සීමද ඔහුට කරනා අසාධාරණයකි. එහෙත් ඔහු හා සම්බන්ධ ලංකාවේ ජනප‍්‍රිය නිළියක් සම්බන්ධයෙන්ද කට කතා පැතිර තිබිණි. ටෙලිනාට්‍යවලට වඩා ගීත රූප රචනා හරහා ජනප‍්‍රිය වූ එම නිළිය නිසා දමිත්ගේ බාහිර ස්වරූපය පවා වෙනස් වූ බවට කතා පැතිර යන්නේය. දමිත්ගේ මනස අවුල්වීමට ඇය බලපෑ බවටද වටින්ගොඩින් ආරංචිද එන්නේය. අපි හරි ආකාරයෙන් එහි සුලමුල නොදත්තේය. එය ඇත්ත වන්නටද පුළුවන. බොරු වන්නටද පුළුවන. එහෙත් ඒ ඔහුගේ පෞද්ගලික ජීවිතයය. එය කලාකරුවෙකු සේ ඔහු දකින අපිට වැදගත් නැත.

දමිත් බුදු දහමට ඉතාම ගරු කළ අයෙකි. ඔහු අවසන් කාලයේ වැඩිපුරම සිටියේද පන්සලේය. ඔහු ප‍්‍රසංග වේදිකාවට වඩා ආදරේ කළේ බුදු දහමටය. ‘මගේ හොඳම යාලුවා තමයි ගෞතම බුදුරජාණන් වහනසේ… මම මොන වැරැද්ද කෙරුවත් මා එක්ක තරහා නොවන එකම කෙනා එයා’. මේ දමිත්ගේ වචනය. ප‍්‍රසිද්ධ මාධ්‍යය වැඩසටහනකදී පවා ඔහු වැඩිපුර ගැයුවේ බුදුගුණ ගීතය.

මධුමාධව අරවින්ද, කීර්ති පැස්කුවෙල්, රොමේෂ් සුගතපාල, ලක්‍ෂ්මන් හිල්මි, මෝක්‍ෂ ප‍්‍රසාද් වැනි කලා කරුවෝ අද දමිත් වෙනුවෙන් පෙනී සිටිති.

‘මට හොඳට මතකයි. මගේ මුල්ම සීඩී එක ගහන වෙලාවේ දමිත් මට එයාගේ වාහනේ දුන්නා සීඩි එකේ වැඩවලට. පස්සේ කාලෙක මට වාහනයක් ගන්න විදිහක් නැතිව ඉන්නකොට දමිත් තමයි අත්සන් කරලා මට වාහනේ ගන්න උදව් කළේ. ඒ විතරක් නෙමෙයි මම ආපු මුල් කාලේ මම ගැන ප‍්‍රසංග සංවිධායකයින්ට කියලා මට ප‍්‍රසංග අරන් දුන්නේ දමිත්. ඒ දවස්වල දමිත් එක දවසට ප‍්‍රසංග පහ හයකට වඩා යන දවස් තිබුණා. ඔහු මම ගොඩක් ආදරේ කරන චරිතයක්. දවසක් මගේ වාහනෙන් යද්දි මම දකිනවා දමිත් ගහක් යට වාඩිවෙලා ඉන්නවා. එදා වාහන ගන්න මට අත දීපු එකා අද පාරේ ඉන්නව දැක්කම මට මාර දුකක් දැණුනා. අන්තිම කාලේ දමිත් අපිටවත් වැඩිය මුහුණ දුන්නේ නැහැ. මම කෝල් කළාට ෆෝන් එකවත් ගත්තේ නැහැ. ඔහු හිටියේ හැම දෙයකින්ම ඈත් වෙලා… කළකිරිලා වගේ.’ ඒ රොමේෂ් සුගතපාල දමිත් ගැන කියූ දේවල්ය.

කවදත් කලාකරුවන් වෙනුවෙන් කට අරින මධුමාධව පවා කතා කළේද හිතේ අමාරුවෙනි. ‘අමාරුවෙන් නම හදාගත්තු කලාකරුවෙකුට මහා අපකීර්තියක් වුණා මේ ෆේස්බුක් සහ පොලිසිය නිසා. ගෙදර සිද්ධවුණු ආරවුලක් මහා ලොකු දෙයක් වගේ දැකලා පොලිසිය තමන්ගේ කුහක කම ප‍්‍රදර්ශනය කරලා ලෝකේ ඉන්න භයානකම පුද්ගලයා දමිත් වගේ ඔහුව අත් අඩංගුවට ගත්තා. මේ රටේ ඉන්න කුඩ්ඩෝ ඕනතරම් ඇමතිලා එක්ක ගමන් බිමන් යනවා ඩීල් කරනවා නමුත් කිසි වරදක් නොකරපු මේ ගමේ දුප්පත් කලා කරුවාව අරන් ගිහින් කූඩුවේ දැම්මා මහ හොරෙක් වගේ. පොලිසිය ඔහුගේ මුළු ජීවිතයම විනාශ කළා. දමිත්ට සිද්ධ වුණු අපකීර්තියට පොලිසිය වග කියන්න ඕනේ.’

දමිත්ට ආදරය කරන ලක්‍ෂ සංඛ්‍යාත රසිකයෝ අද දමිත් වෙනුවෙන් වැලපෙති. ඔහුට ඉක්මන් සුවය පතති. ඉඳුනිල් අන්දරමානලා, ස්මෝකියෝලා වැනි ගායකයෝ තමන් වැරදි කළ බව රටට ප‍්‍රසිද්ධියේ කීහ. අද ඔවුහු තම වැරදි නිවැරදි කර ගනිමින් සමාජයේ හොඳ මිනිසුන්වී කලාවේ ගෞරවය රකිති. අද අන්දරමානලාද, චාමර වීරසිංහලාද දමිත් වෙනුවෙන් පෙනී සිටිති. නිදහස්වී එන දමිත්ට නැවත ප‍්‍රසංග දීමට ප‍්‍රසංග සංවිධායකයෝ සූදානම්ව සිටිති. අලූත් ගීත නිර්මාණ කරන්නට සංගීතවේදියෝ පෙළගැසී සිටිති. එළැඹෙන 9 වැනිදා වැල්ලවාය උසාවියේදී මේ සියලූ දේට පිළිතුරු ලැබෙනු නොඅනුමානය.

දමිත්ගේ රසිකයකු දමිත් වෙනුවෙන් තම ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් තබා තිබිණි.

‘‘හිතවත් දමිත්, ඉක්මනින් එන්න. හිතේ පෙම්පුරෝගෙන බාගෙට සැලූන්දොරින් රිංගා මේ අනන්ත රාත්‍රියේ ගයන්නට නුඹ නැවත එනතුරු අපි බලා සිටිමු.’’

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!