Gossip

හාඩ්වෙයාර් එකකින් කියත් පටි තුනක් ගත්තා – දළ පූට්ටුවා ඝාතනයේ හෙළි නොවූ සංවේදී කතාව මෙන්න

ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනයත් සමඟ රටම කම්පා වුණා.
ඒ වගේම ඒ පාපතරයින්ට රටම ශාප කළා.
කවුරුත් ආදරය කළ මේ දළ පූට්ටුවාගේ ජීවිතය උදුරාගත් නොමිනිසුන් හොයන්න රහස් පොලිසිය ප්‍රමුඛ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කරලා තියෙනවා.
ඒ පිළිබඳව සති අන්තපුවත්පතක් කළ හෙළිදරව්වයි මේ.
ගල්ගමුවේ දළ පූට්ටුවාගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් වූ මුල්ම සැකය එල්ලවන්නේ පොල්පිතිගම ප්‍රදේශයේ පිහිටි රජමහා විහාරයක් වෙතටය.
එය නමින් “නාගල රජමහා විහාරයයි.” ඉකුත් දිනෙක අපි නාගල රජමහා විහාරස්ථානයට පිවිසියෙමු. විහාරස්ථානයට ඇතුළු වන ඉසව්වේ ඇත්තේ විහාරාධිපති හිමියන්ගේ ආවාස ගෙයයි. ආවාස ගේ ඉදිරිපිට සුඛෝපභෝගී වාහන දෙකක්ද ගාල් කොට ඇති බව අපි දුටුවෙමු. එම සුඛෝපභෝගී වාහන දෙක විහාරාධිපති හිමියන්ගේ බවද කියැවේ.
අවසරයි හාමුදුරුවනේ” තරුණ භික්ෂුන් වහන්සේ නමක් අපට මුණ ගැසුණි.
ලොකු හාමුදුරුවෝ ඉන්නවාද?” අපි විමසුවෙමු.
“ලොකු හාමුදුරුවෝ සතිපිරිතකට වැඩලා” උන්වහන්සේ පිළිතුරු ලබා දුන්හ.
“කොහෙටද, අද වඩිනවාද” ඒ අපගේ ඊළඟ ප්‍රශ්නයය.
“ලොකු හාමුදුරුවෝ කොහෙ යනවාද කියලා අපිට කියලා යන්නේ නැහැ. එන දවසක් දන්නෙත් නැහැ මහත්තයෝ” ඒ උන්වහන්සේගේ පිළිතුරය.
විහාරාධිපති හිමියන් මුණ ගැසීමට විවිධ පළාත්වල පුද්ගලයන් නාගල රජමහා විහාරස්ථානයට නිරන්තරයෙන් පැමිණෙති. වෙදකමටත්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලටත් ප්‍රසිද්ධ විහාරාධිපති හිමියන් මුණ ගැසීමට පැමිණි බව අප එහි වැඩ විසූ විහාරවාසී හිමිවරුන්ට පවසා නැවත පැමිණියේ විහාරාධිපති හිමියන්ගේ ආවාස ගෙටය.
“හා.. හා… මහත්තයෝ, ආවාස ගේ පැත්තට යන්න එපා. ඔය ‍දොරවල් අල්ලන්න එපා. නායක හාමුදුරුවන්ගේ ආවාස ගෙට අපි කවුරුත් යන්නේ නැහැ. ඕකේ ඇතුළේ තියෙන්නේ ජීවම් කරපු නූල්, තෙල්, ඒ නිසා ඔය ‍දොරටවත් අත තියන්නෑ. ඔය ‍දොර ඇල්ලුවොත් පිස්සු හැදෙනවාලු” අප අසලට දුවගෙන පැමිණි සාමණේර හිමිනමක් පැවසීය.
නායක හිමිනම විහාරවාසී සාමණේර හිමිවරුන්ට දන්වා ඇත්තේ එසේද, නැත්නම් සාමණේර හිමිනම අප බිය වැද්දීමට එවැනි දෙයක් පැවසුවේද යන්න අපට දෙගිඩියාවක් ඇති විය.
අප කතා නායකයා වන ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඇත් දළ යුගල අලෙවි කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දස දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
ඉන් ප්‍රධාන සැකකරු වන්නේ හේරත්ගම ග්‍රාම නිලධාරිවරයාය. රාජපක්ෂ මුදියන්සේලාගේ අසංක සෙනරත් බණ්ඩාර නමැති ඔහු 32 හැවිරිදි වියෙහි පසුවෙයි.
නිකවැව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු කලා විෂය හදාරා අ.පො.ස උසස් පෙළ සමත් විය.
ගෙදර බඩපිස්සා වූ අසංකට වැඩිමහල් සහෝදරයකු සහ සහෝදරියක සිටිති.
වැඩිමහල් සොහොයුරා වාරි ඉන්ජිනේරුවරයකු වන අතර වැඩිමහල් සහෝදරියද ග්‍රාම නිලධාරිනියකි.
වැඩිමහල් සොහොයුරියද ග්‍රාම නිලධාරිනියක වන්නේ නාගල රජමහා විහාරාධිපතිගේ සහායත් ලබමින් බව ගම්මු පවසති.
මෙම තුන් සොහොයුරු සොහොයුරියන්ගේ නිවාසද පිහිටා ඇත්තේ එකම ඉසව්වකය.
මොරගොල්ලාගම ගමේ කරක් ගැසූ අපට ප්‍රථමව හමු වූයේ අසංකගේ බිරියගේ මහ ගෙදරය. එම නිවෙස පිහිටි ඉඩමේ අසංක විසින් කඩ පේළියක් සාදමින් සිටින බවද ගම්මු පවසති.
අසංක ජීවත් වන්නේ ඔහුගේ මහ ගෙදරය. එම මහ ගෙදරද දෙමහල් නිවෙසකි. එම නිවසද සුපිරි නිවෙසක් දක්වා ගොඩ නඟා ඇත්තේ අසංක විසිනි.
ඊට යාබදව ඇත්තේ අසංකගේ සොහොයුරාගේ නිවෙසය. එයද ඉදිවෙමින් පවතින සුවිසල් දෙමහල් නිවෙසකි.
මොරගොල්ලාගම ප්‍රදේශයේ ඇති සුපිරි නිවාසද ඇත්තේ අසංකගේ පවුලේ උදවියටය. මෙවැනි සුපිරි නිවාස සාදා සුපිරි වාහන පදිමින් අසංක සුපිරි ජීවිතයක් ගත කරන්නේ ඔහු ලබන ග්‍රාම සේවක පඩියෙන්ද යන්න ප්‍රශ්නාර්ථයක් ගම්මුන්ට නැගී තිබේ. මන්ද ග්‍රාම සේවක වැටුපකින් පමණක් මෙවැනි වූ සුපිරි ජීවිතයක් ගත කිරීමට නොහැකි බව ගම්මු දනිති.
නාගල රජමහා විහාරයේ නායක හිමි සමඟ සමීප ඇසුරක් පවත්වන අසංක ග්‍රාම නිලධාරි තනතුර හිමි වීමට ප්‍රථමව එම හිමියන්ගේ රියැදුරු ලෙස කටයුතු කර ඇති බව ගම්මු පවසති.
එම හිමියන් වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන නිසා පළාතේ විවිධ දේශපාලනඥයෝද නිතර නිතර විහාරස්ථානයට පැමිණෙති.
නායක හිමිනම සමඟ කිට්ටු ඇසුරක් පවත්වන දේශපාලනඥයකුගේ ආධාර අනුබල ඇතිව වර්ෂ 2009දී අසංක ග්‍රාම නිලධාරිවරයකු වන්නේය.
පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ඇති අංක 342 දරන හේරත්ගම ග්‍රාම නිලධාරිවරයා ලෙස කටයුතු කරමින් සිටි අසංක සෙනරත් බණ්ඩාර විවාහ වන්නේ වර්ෂ 2014 දීය.
ඔහුගේ බිරියද පොල්පිතිගම රෝහලේ හෙද නිලධාරිනියකි. අසංකගේ මවද නිකවැව රෝහලේ හිටපු සාත්තු සේවිකාවකි. නමුත් ඔහුගේ පියා ගැන ගම්මු වැඩි තොරතුරක් නොදනිති.
එසේම අසංකගේ සහෝදරයාගේ බිරියද හෙදියකි. අසංක මේ වනවිට දෙදරු පියෙකි. මේ අසංකගේ පවුලේ තොරතුරුය.
ඇත් දළ ජාවාරම සම්බන්ධයෙන් අසංකගේ වැඩිමහල් සහෝදරියගේ ස්වාමිපුරුෂයාද අත්අඩංගුවට පත්විය. විතානලාගේ චමින්ද තිලකරත්න ධනංජය ලාල් වන ඔහු සන්තකයේ ඇත් දළවලින් සාදන ලද පෙන්ඩන්ට් කොටස් 5ක් සහ ගජ මුතුවක් තිබී සොයාගෙන තිබිණි.
අසංකගේ මස්සිනා වෘත්තියෙන් මුරුක්කු පැකට් නිෂ්පාදනය කරන්නෙකි. අසංකගේ මහගෙදරට යාබදව ඇති සුපිරි දෙමහල් නිවෙසද මෙම මස්සිනාගේය. මුරුක්කු නිෂ්පාදනය කර මෙවැනි සුවිසල් මන්දිරයක් තැනීමට නොහැකි බවද ගම්මු පවසති.
ඝාතනය කරන ලද ඇත් රජුන්ගේ දළ කපා ගැනීමට කැලයට ගිය පුද්ගලයන් හතර දෙනකුද නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඉකුත් නොවැම්බර් 30 වැනි දින අත්අඩංගුවට ගනු ලැබීය.
අජන්ත අමරජීව, නිලන්ත පුෂ්පකුමාර, මංජුල ප්‍රදීප් ජයසිංහ, අරවින්ද බණ්ඩා යන සැකකරුවෝ සිවුදෙනා මීට මාසයකට පමණ ඉහත දිනක පස්වරු 3.00ට පමණ දළ පූට්ටුවාගේ ඇත් දළ කපා ගැනීම සඳහා කැලයට පිටත්ව ගියහ.
ඒ මොරගොල්ලාගම ප්‍රදේශයේ හාඩ්වෙයාර් එකකින් කියත් පටි තුනක්ද මිලදී ගෙනය.
එම කියත් තල දැමීමට අවශ්‍ය අත් කියතද නිලන්ත සතුව තිබී ඇත.
ඇත් රජුගේ ඇත් දළ යුගල කපා ගත් මෙම පිරිස රාත්‍රි නවයට පමණ නැවත මොරගොල්ලාගම, සියඹලාව ප්‍රදේශයේ සිටි නිලන්තගේ නිවෙසට පැමිණෙති.
නිලන්තගේ නිවෙසට පැමිණි ඔවුහු ඇඟපත සෝදාගෙන තේ කහට බී මංජුලගේ ත්‍රිරෝද රථයේ නැඟී අජන්තගේ නිවෙසට පැමිණියහ.
ඇත් රජුගේ දළ දෙකද ත්‍රිරෝද රථයේ සඟවාගෙන පැමිණි ඔවුහු අජන්තගේ නිවෙස පිටුපස ඇත් දළ යුගල සඟවා පිටත් වූහ.
පසුව අජන්ත රෑ බෝවී ඇත් දළ යුගල ඔහුගේ නිදන කාමරයට ගත්තේය.
ඉන්පසු හේරත්ගම ග්‍රාමසේවකවරයා වූ අසංකද සිය මිතුරා වූ අජන්තගේ කාමරයට පැමිණ ඇත් දළ යුගලෙහි ඡායාරූප ගත්තේය.
දළ පූට්ටුවකුගේ ඇත් දළ අධික මිලැති බව වටහා ගත් අසංක ඉන් තව තවත් පොහොසත් වීමට සිතා දළ යුගල අලෙවි කිරීමට සැලසුම් දියත් කළේය.
මෙම කාලය තුළ ඇත් දළ ජාවාරම්කරුවන් කිහිපදෙනකුද අජන්තගේ නිවෙසට නිතර නිතර පැමිණ ගොස් ඇති බවටද පොලිස් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.
ගල්ගමුවේ ඇත් රජාණන්ගේ ශරීරයෙන් කපා වෙන්කර ගත් ඇත් දළ යුගල පරීක්ෂා කිරීම සඳහා එක්තරා චීවරධාරියකු ද අජන්තගේ නිවෙසට පැමිණ ඇති බවටද බුද්ධි අංශ වෙත මේ වනවිට තොරතුරු ලැබී තිබේ.
ඒ අනුව ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඇත් දළ ජාවාරමට චීවරධාරියකු සම්බන්ධ බවට සාධාරණ සැකයක්ද පොලිස් පරීක්ෂණ කණ්ඩායම් වෙත මතුවී ඇත.
අජන්තගේ නිවෙසට කිහිපවතාවක්ම පැමිණි ග්‍රාම සේවක අසංකද අජන්තගේ ඇඳ මත තබා ඇත් දළ යුගලයෙහි ඡායාරූප ගෙන තිබේ.
අසංක සමඟ වලාන දූෂණ මර්දන ඒකකය මඟින් අත්අඩංගුවට ගැනුණු හිටපු පොලිස් සහායකයකු වූ ඉන්දික බණ්ඩාරනායක අසංකගේ නිවෙසට පැමිණෙන්නේ ඇත් දළ ගනුදෙනුවට සති දෙකකට පමණ ඉහතදීය.
ඉන්දික බණ්ඩාරනායක යනු අසංකගේ ලොකු තාත්තාගේ දියණිය විවාහ කරගත් පුද්ගලයාය.
පොලිස් සහායකයකු ලෙස කටයුතු කළ ඔහු වර්ෂ 1999දී පමණ වැඩ තහනමකට ලක්වේ.
ඉන්පසු අසංකගේ සබඳතා මත ඉන්දික කුරුණෑගල ප්‍රදේශයේ දේශපාලනඥයකුගේද පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කර ඇත.
ඔහු අසංකගේ නිවසට පැමිණෙන්නේ බැංකු ණය මුදලකට ඇපකරුවෙකු ලෙස අසංකව යොදා ගැනීමට කැමැත්ත ඇසීමටයි.
තම ඥාතියාට අසංක ඉන් පසු ඔහුගේ ජංගම දුරකතනය දී ඇත්දළ කිහිපයක ඡායාරූප පෙන්වීය.
මෙම ඇත්දළ ගල්ගමුව දළ පූට්ටුවාගේ බවත් මෙය අලෙවි කිරීමට කුමන හෝ තැනැත්තෙකු සොයන ලෙසටත් අසංක ඉන්දිකට දන්වයි.
ඒ අනුව ඉන්දික රුපියල් ලක්ෂ 20 ක මුදලකට ඇත් දළ යුගල අලෙවි කිරීමට ව්‍යාපාරිකයෙකු මුණ ගැසුණු බව අසංක ඊට දින කිහිපයකට පසු පවසනු ලබයි.
නමුත් මේ අහුවුණේ වලා දූෂණ මර්දන ඒකකයේ ඇමකට බව තේරුම් නොගත් අසංක සහ ඉන්දික යන නෑදෑයන් දෙදෙනා අජන්තගේ නිවසේ සඟවා තිබූ ගල්ගමුවේ ඇත් රජුගේ ශරීරයෙන් වෙන් කළ ඇත් දළ යුගලද රැගෙන නාගල රජමහා විහාරයට ගියහ. ඒ අසංකගේ මෝටර් රථයේ පිටුපස කොටසේ ඇත්දළ යුගල සඟවාගෙනය.
අසංක අජන්තගේ නිවසින් ඇත් දළ යුගල වාහනයට පටවාගෙන එන විට අජන්තට පවසා ඇත්තේ ගනුදෙනුව සිදුවුවහොත් ලක්ෂ 5 ක මුදලක දෙන බවටය.
ඉකුත් නොවැම්බර් 23 වැනි දින රුපියල් ලක්ෂ 20 කට ගණුදෙනුව සිදුවූයේ නාගල රජමහා විහාර භූමිය තුළය. එදින විහාරාධිපති හිමියන් විහාරස්ථානයේ සිටියේ නැත.
එදින විහාරාධිපති හිමියන් ආදාහන උළෙලකට වැඩසිටි බවට විහාරවාසි හිමිවරු පවසති.
ඉන්පසු අවස්ථා කිහිපයකදී විහාරස්ථානයේ වැඩසිටි නාගල රජමහා විහාරාධිපති මේ වන විට ආගිය අතක් නැතැයි වාර්තා වේ.
දළ පූට්ටුවා නම් මෙම තේජාන්විත ඇත් රජුගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනාගෙන් ප්‍රධාන සැකකරු වන හේරත්ගම ග්‍රාම නිලධාරීවරයා වූ අසංක බණ්ඩාර සෙනරත් එම විහාරාධිපති හිමිගේ සමීප හිතවෙතෙකි.
ගණුදෙනුවට ප්‍රථම ඇත්දළ යුගල නිවසේ තමා නිදා ගන්නා කාමරයේ ඇඳ යට සඟවා තබා සිටි අජන්තද විහාරාධිපති හිමිගේ නිත්‍ය රියදුරා වේ.
ඇත්දළ ගණුදෙනුව සිදුවන්නේද නාගල රජමහා විහාර භූමියේදීය.
මෙකී කරුණු කාරණා පදනම් කර ගනිමින් ගල්ගමුවේ ඇත් රජුගේ ඝාතනය සම්බන්ධයෙන් නාගල රජ මහා විහරාධිපති හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමටද සැරසී සිටී.
නමුත් එම ප්‍රශ්න කිරීම තවත් ප්‍රමාද වී ඇත්තේ විහාරාධිපති හිමියන් ආගිය අතක් නොදන්නා නිසාය.
පොලිසිය සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.
එසේම ඉකුත් දෙසැම්බර් මස 2 වැනි දින නිකවැරටිය කොට්ඨාස බුද්ධි අංශය විසින් ඇත්දළ රන් කොපු යොදා සකස් කළ පෙන්ඩන්ට් 3 ක් සන්තකයේ තබාගෙන සිටි මකුලුපොත ග්‍රාම නිලධාරී චමින්ද ආරියරත්න සහ දොරපේරුව ග්‍රාම නිලධාරී ඉන්දික සේනාධීර යන දෙදෙනාද අත්අඩංගුවට ගනු ලැබිණි.
එම ග්‍රාම නිලධාරීන් දෙදෙනාටම එම පෙන්ඩන්ට් මීට මාස කිහිපයකට පමණ ඉහතදී අලෙවි කර ඇත්තේ ඔවුන්ගේ මිතුරෙකු වූ හේරත්ගම ග්‍රාම නිලධාරී අසංක සෙනරත් බණ්ඩාර බවට අනාවරණ විය.
රුපියල් එක්ලක්ෂ 45,000 ක මුදලකට එම පෙන්ඩන්ට් ගණුදෙනුව සිදුව ඇති බවද පොලිස් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.
මේ වන විට ඇත්දළ ජාවරම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීන් තිදෙනෙකුම බන්ධනාගාරගතව ඇත.
එසේම ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනය සමග ගල්ගමුව කේන්ද්‍ර කර ගනිමින් සිදුවූ මහා පරිමාණ ඇත්දළ ජාවාරමක් ගැනද අනාවරණ වෙමින් පවතී.
ඒ අනූව ඉදිරියේදී අලි හොරුන් අනාවරණ වීමට නියමිතය.
අලි හොරුන්ට අලි දඬුවම් ලබා දිය යුතු බවද අලි ඇත් පරපුරට ආදරය කරන මිනිසුන්ගේ එකම ප්‍රාර්ථනයයි.
පාපතර සමාජයේ ගොදුරක් වූගල්ගමුවේ ඇත් රජුනි, නුඹ වෙනුවෙන් මුළු මහත් සමාජයක්ම හඬ නගා ඇති බව පෙනේ. නුඹට සිදුවූ අසාධාරණයෙන්වත් නිදා සිටින වනජීවි දෙපාර්තමේන්තුව අවදි වේවා යැයි අපි විශ්වාස කරමු. මන්ද ඊළඟට මෙවැනි ගොදුරක් වන්නේ නුඹගේ රැහේම ඇත් රජෙකු නිසාය. යළි යළිත් ඇත් රජුනි පතනවා නුඹට නිවන් සුව..!

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!