Gossip

“මුලින්ම පෙම්වතිය වෙනකොට නම් මට ඒ අත්දැකීම හරිම නුහුරුයි.ඒ ගැන හිතනකොට ලොකු අසීරුවක් දැනුණා”

හොඳම නිළිය සම්මානයෙන්ද පිදුම් ලැබූ ඇය කවුරුත් දන්න කවුරුත් ආදරය කරන ජනප්‍රිය නිළියක්.

ඇය තමයි තිසුරි යුවනිකා.

මේ ඇය ගැන සතිඅන්ත පුවත්පතක ලියවුණු අපූරු ලිපියක්.

ධර්ම යුද්ධය චිත්‍රපටයෙන් පස්සේ දකින්න ලැබුණේ හරි අඩුවෙන්නේ?
ධර්ම යුද්ධය චිත්‍රපටයෙන් පස්සෙත් මම නිර්මාණ කිහිපයක්ම කළා. නමුත් තවම ඒවා විකාශනය වුණේ නැහැ. මම කොහොමත් ලැබෙන හොඳ නිර්මාණයන්ට විතරයි මගේ රංගනය ලබාදෙන්නේ. මට ගැළපෙන්නේ නැති නම් මම ඒ නිර්මාණ භාරගන්නේ නැහැ.

මොකද හිතෙන්නේ ධර්ම යුද්ධය චිත්‍රපටයේ ඔබේ චරිතයට ලැබුණ ප්‍රතිචාර ගැන?
ධර්ම යුද්ධය චිත්‍රපටයේ මගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර මට ලැබුණා සහ තවමත් ලැබෙනවා. ඉතින් ගොඩක් ප්‍රේක්ෂකයන් ආදරයෙන් ඒ චරිතය වැලඳ ගත්තා වගේම ගොඩක් දෙනා අතරේ ඒ චරිතය ජනප්‍රිය වුණා. ධර්ම යුද්ධය ප්‍රතිනිර්මාණයක් වුනත් බොහෝමයක් දෙනා ධර්ම යුද්ධය වටා එක් වුණා. ඉතින් වුණු මහන්සියට හොඳ වටිනා ප්‍රතිචාර ලැබුණා. කලාකරුවෙක්ගේ සතුට, සාර්ථකත්වය තියෙන්නේ ඒ ලැබෙන ප්‍රතිචාර තුළ.

ඔබ විවිධ චරිත හරහා රංගනයේ යෙදෙන කෙනෙක්. ඒකට හේතුව ඔබේ තෝරාගැනීම ද?
ඔව්, මම චරිත තෝරා ගැනීමේදීත් ලැබෙන චරිතය ගැන සැළකිලිමත් වෙනවා. ඒ වගේම මට ලැබෙන චරිතත් විවිධයි. ඉතින් මම ඒකාකාරී චරිතත් කරලා තියෙනවා. ඒ අතරේ විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයන් අතරට යන්නත් මට අවස්ථාව ලැබෙනවා. මම හිතනවා මම වාසනාවන්තයි කියලා. මොකද තවත් මම රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිත තියෙනවා. නමුත් මේ වෙනකම් කරපු චරිත ගැන මට ගොඩක් සතුටු වෙන්න පුළුවන්.

අම්මා හින්දද ඔබ ජනප්‍රිය වුණේ? නැත්නම් මේ ඔබ තනියම ගොඩනගාගත් නමක් ද?
රංගනය තෝරා ගන්න නොහිතපු මට රංගනයට එන්න පුළුවන්කමක් ලැබුණේ අම්මා නිසයි. අම්මා වගේම තාත්තත් යෝධ සෙවණැල්ලක් වෙලා හැමදාම මාත් එක්ක ඉන්නවා. ඒ දෙන්නගේ උපදෙස්, මග පෙන්වීම මත මම තිසුරි යුවනිකා නමින් ගමනක් ආවා. නමුත් අදටත් මම කැමති මාව සුසන්තා චන්ද්‍රමාලිගේ දුව කියලා හඳුන්වනවට.

නිර්මාණ තෝරා ගැනීමේදිත් අම්මගෙන් අහනවා ඇති නේද?
නිර්මාණයට තනියම දායක වුණොත් එහෙම නිර්මාණයේ රඟපාන්න කලින් අවශ්‍ය උපදෙස් මග පෙන්වීම් මට අම්මගෙන් වගේම තාත්තගෙනුත් ලැබෙනවා. ඒ උපදෙස් මතයි මම චරිතයට උපරිම සාධාරණය ඉටු කරන්නේ. මොකද ඒ දෙන්නා මට නිතරම කියන්නේ කරන දේ හරියට වගේම අවංකව කරන්න කියලයි.

ඔබ ගොඩක් ප්‍රසිද්ධ සමාජයේ දකින්න ලැබෙන්නේ හරි අඩුවෙන් නේද?
මට ඕන නිදහස. මම කැමති ගෙදරට වෙලා නිදහසේ ඉන්න. එහෙම බලනකොට මගේ වෙනසක් දකිනවා ඇති. යා යුතුම නම් නොගිහින් බැරිකමට ප්‍රිය සම්භාෂණ වගේ දේවල්වලට යනවා. නැත්නම් මම කැමති හැමදාම කාර්යබහුල ජීවිතේ, ලැබෙන පොඩි හරි විවේකය මගේ පවුලේ අය වෙනුවෙන් එයාලා එක්ක ගත කරන්නයි.

දැන් ඉස්සර වගේ ඔබ නිතර නිතර ටෙලි නාට්‍යවලින් දකින්න ලැබෙන්නේ නෑ. ඒ ඇයි?
ඉස්සර ඉඳන්ම මම චරිත තෝරාගැනීමේ දී ටිකක් හොයලා බලලා තමයි ඒ චරිතයට රංගනය ලබා දෙන්නේ. හොඳ චරිත, හොඳ නිර්මාණ ලැබුණොත් මම භාර නොගෙන ඉන්නෙත් නැහැ. ලැබෙන හැම චරිතයම භාර නොගන්නා නිසා වෙන්න ඇති මාව අඩුවෙන් දකින්න ලැබෙන්නේ.

සිනමාවට ආරාධනා ලැබෙන්නේ අඩුවෙන් ද?
සිනමාවේදිත් මම කලින් කියපු විදිහටම චරිත තෝරා ගැනීමේ දී ඒ ගැන සැළකිලිමත් වෙනවා. මම කැමති චරිත නම් මට ලැබෙන්නේ මම ඒ නිර්මාණයට අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා. එහෙම ලැබුණු චරිතයක් තමයි ධර්ම යුද්ධය චිත්‍රපටයේ මගේ චරිතය. ඒ තුළ මට යමක් කරන්න පුළුවන් හැකියාව තිබුණා. ඒ වගේ චරිතය තුළ යමක් කරන්න සමාජයට යම් පණිවිඩයක් දෙන්න පුළුවන් නම් මම ඒ චරිත භාර නොගෙන ඉන්නේ නැහැ.

ඔබේ සමකාලීනයන්ට වඩා ඔබ විලාසිතා අතිනුත් හරි සරළ කෙනෙක්. ඒකට හේතුව මොකක් ද?
මම ගොඩක් නිදහසට කැමති කෙනෙක්. විලාසිතා කරද්දි වුණත් අනවශය විදිහට අපහසුවෙන් ඉන්න වෙන විදිහේ විලාසිතා තෝරා ගන්නේ නෑ. ඒ මගේ පෞද්ගලික කැමැත්ත. මම හැමදාම දැක්කේ මගේ අම්මා සරල විදිහට ජීවත්වෙන හැටි. එයා ගමක හැදුණු වැඩුණු කෙනෙක් හැටියට හරි සරළ විදිහට ජීවත් වෙන්නේ. ඉතින් ඒ සරළ, චාම් හුරුව මටත් තියෙනවා. මම හිතන්නේ චාම් බව ඇතුළෙ තමයි ලස්සන තියෙන්නේ. හැබැයි විලාසිතා කරනවා කියන්නෙ වැරදි දෙයක් නෙවෙයි.

මේ වයසට සම්මානනීය නිළියක්වීමට ලැබිම ගැන මොකද හිතෙන්නේ?
සම්මාන බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි, හැබැයි කරන දේ හරියට කරන්න කියන දේ මගේ අම්මා මට කියපු දෙයක්. ඕනම කෙනෙක්ට තමන් කරන ක්ෂේත්‍රයෙන් ඉහළට යන්න හීනයක් තියෙනවනේ. ඉතින් මගෙත් හීනය වුණේ කවදා හරි හොඳම නිළිය කියන ඇගයීම ලබා ගැනීම. ඉතින් අඩු වයසකින් වසර දෙකක් මට හොඳම නිළියවීමේ භාග්‍යය උදා වුණා. ඒ ගැන කියලා නිම කළ නොහැකි සතුටක් තියෙන්නේ. අපි චරිතයක් වෙනුවෙන් දරන මහන්සියට මේ ලැබෙන සම්මාන වගේම මිනිස්සුන්ගෙන් ලබන ආදරය, ප්‍රතිචාරත් ලොකු සතුටක්.

මුලින්ම තිරයේ පෙම්වතිය වුණු දවස මතක ද?
මුලින්ම තිරයේ පෙම්වතිය වෙනකොට නම් මට ඒ අත්දැකීම හරිම නුහුරුයි. පෙම්වතියගේ චරිතයට ආරාධනා ලැබුණු මොහොතෙත් මට ඒ ගැන හිතනකොට ලොකු අසීරුවක් දැනුණා. නමුත් දැන් තිරයේ පෙම්වතිය හැටියට රඟපානවා කියන කාරණාව හරි සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙන්නේ. කාලයත් එක්ක දැන් ඒ ඒ චරිතවලට අසීරුවකින් තොරව රංගනයේ යෙදෙන්න හැකියාව ලැබිලයි තියෙන්නේ.

ක්ෂේත්‍රය තුළ ඔබට තියෙන පිළිගැනීම ගැන මොකද හිතෙන්නේ?
සුසන්තා චන්ද්‍රමාලිගේ දුව හැටියට ගොඩක් දෙනා මාව පොඩි කාලේ ඉඳලා දන්නවා. ඉතින් අදටත් වයසින් කෙතරම් මුහුකුරා ගියත් අර පොඩි දවස්වල අම්මත් එක්ක ෂූටින් ආපු මට ලැබුණ ප්‍රතිචාරමයි බොහෝවිට අදටත් ලැබෙන්නේ. අම්මා නිසා මාව ඒ විදිහට හඳුනාගත් අය අදටත් මාව දකින්නේ ඒ පොඩිකාලේ හිටිය තිසුරි යුවනිකා හැටියටමයි.

ආදරය සහ විවාහය ගැන කතා කළොත්?
ආදරය සහ විවාහය කියන්නේ අත්‍යාවශ්‍යම කාරණාවක්නේ. ජීවිතේ ඒ ඒ කාලවල දී අපි ගන්න තීරණවලට අනුව ආදරේ කරන්න විවාහ වෙන්න සුදුසු පුද්ගලයන් අපට මුණ ගැහෙනවා. ඉතින් හොඳට හිතලා බලලා නිවැරදි තීරණ ගත්තොත් ආදරයයි විවාහයයි එක්ක ජීවිතේ තවත් සුන්දර වෙයි.

ඉදිරියේ දී මොනවද අපට දකින්න ලැබෙන නිර්මාණ?
නිර්මාණ නම් ගොඩක් තියෙනවා තවම විකාශනය නොවුණු. මොකද දැන් මේ තියෙන ඉන්දියන් රැල්ලත් එක්ක අපේ නිර්මාණවලට ලැබෙන අවස්ථා අඩුවෙලා. ඉතින් කරපු නිර්මාණ රැසක පෙළගැස්මක් තියෙනවා. ඒවා එකින් එක ඉදිරියේ දී දැකගන්න අවස්ථාව ලැබේවි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!