Gossip

“සුවිශේෂී කෙනෙක් හමුවුණොත් මගේ හිත වුණත් වෙනස් වෙන්න පුළුවන්” – නිරෝෂා ගිහි ජීවිතය අතහරීද..? – අධ්‍යාත්මික ජීවිතයකට හුරුවුණු නිරෝෂාගේ කතාව මෙන්න

අපි ගොඩක් වෙලාවට ජනප්‍රිය චරිත ගැන ප්‍රතිරූප මවාගන්නේ ඒ අයගේ බාහිර පෙනුම වගේම ඒ අය කලාව තුළ කරන කියන දේවල් දිහා බලලා.
ඒත් එතැනින් එහා බොහෝ දේවල් ඔවුන්ගේ ජීවිත තුළ තියෙන්න පුළුවන්.
කාලෙකට පස්සේ නිරෝෂා පෙරේරා සමග කතා බහ කරද්දී ඇයත් ඇගේ ජීවිතය පිළිබඳ අපි නොදන්නා කරුණු කාරණා බොහොමයක් හෙළි කළා.
මේ දවස්වල නිරෝෂාව වැඩිය දකින්නට නැත්තේ ඇයි කියලා හොයන රසික පිරිස වගේම, ඇගේ ජීවිතය ගැන මතෛක් නොකී කතා දැන ගන්න කැමති රසික පිරිස වෙනුවෙන් තමයි මේ තොරතුරු.
ඇය සතිඅන්ත පුවත්පතකට මේ විදිහට ඇගේ තොරතුරු කියලා තිබුණා.

නිරෝෂාගේ කිසිම සද්දයක් දැන් නෑ. මොකෝ මේ නිහැඩියාවට හේතුව?
මේ නිරෝෂා පෙරේරා සද්දෙ දාගෙන වැඩ කරන්නේ නෑනේ.
කන්දක් සේමා චිත්‍රපටය රූගත කරලා ඉවරයි.
මේ චිත්‍රපටය හරහා මම ආයෙමත් ප්‍රේක්ෂකයන් අතරට එනවා. අලුත් නිර්මාණ කිහිපයකටත් ආරාධනා ලැබුණා.
මේ දවස්වල මම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙත් නැහැ. මගේ රූපය නොපෙනෙන නිසා වෙන්න ඇති මම නිහඬයි කියලා ඔය විදියට හිතෙනවා ඇත්තේ.

එතකොට නිරෝෂාගේ පවු‍ලේ ව්‍යාපාර කටයුතු?
ඔය කියන ව්‍යාපාර කටයුතු හින්දා පසුගිය දවස්වල රටවල් කිහිපයකටම ගියා. ව්‍යාපාර පරිපාලන කටයුතු කරන්නේ නම් මගේ නංගී ඉරෝෂා.
මම එයත් එක්ක තමයි රටවල් කීපයකට ගියේ. හැබැයි ඉතින් මේ ගමන්වලදී මම නම් හරිම නිදහසින් හිටියේ. නංගී තමයි ව්‍යාපාර කටයුතු ගැන සොයා බැලුවේ.

ඒ කියන්නේ නිරෝෂා නංගිට තනි රකිනවා විතරයි?
නැහැ. නැහැ. මගේ වැඩ කටයුතු කිහිපයකුත් තියෙනවා. ඒවා කලාවටත් සම්පූර්ණ පරිබාහිර කටයුතු හින්දා තමයි ඒ ගැන මාධ්‍යයට කියන්න ඒ තරම් උනන්දු වුණේ නැත්තේ.

මොනවද ඒ?
මම ලංකාවේ ස්ථාපිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාල කිහිපයක බාහිර කථිකාචාර්යවරියක් විදියට කටයුතු කරනවා. international business, personal and international business, personal and professional Development Business planing කියන කාරණා මා එහිදී උගන්වනවා. ව්‍යාපාර ක්ෂේත්‍රයට හා වෙළෙඳ කරණයට පිවිසෙන වෘත්තිකයන්ගේ පෞරුෂ හා මානසික සංවර්ධනය සම්බන්ධව තමයි එහිදී පුහුණුව ලබා දෙන්නේ.

පෞරුෂ සංවර්ධනය ගැන උපදෙස් දෙන්න යොමු වුණේ මනෝ චිකිත්සක උපදේශනයට යොමු වූ හින්දද?
මම මනෝ චිකිත්සක උපදේශන කටයුතුවල යෙදෙන්නේ වසර කිහිපයක ඉඳලා.
ඒකත් මම ප්‍රසිද්ධියට පත් කළේ නැහැ. හැබැයි දැන් ගොඩක් දෙනෙක් දන්නවා මම මනෝ චිකිත්සක උපදේශනය කරන බව.

රංගනය, නිවේදනය, වැනි කටයුතුවලට වඩා සම්පූර්ණයෙන් වෙනස් පැත්තකට යොමු වුණේ ඇයි?
ඒක සිදු වුණේ මෙහෙමයි. මීට වසර කිහිපයකට පෙර මට හිතුණා බෞද්ධ දර්ශනය හදාරන්න. මම ඒ ගැන හදාරද්දී ‍පොත පත කියවද්දී මට දැනුනා මිනිස් සිත ගැන කොයි තරම් ගැඹුරු විග්‍රහයන් එහි තියෙනවද කියලා. ඒ ඔස්සේ තමයි මනෝ විද්‍යාව, මනෝ චිකිත්සාව වැඩිදුරටත් හදාරන්න හිතුවේ.

අපි දන්න නිරෝෂා හරිම සැහැල්ලු විනෝදකාමී චරිතයක්. දැන් ඒ නිරෝෂා සහමුලින්ම වෙනස් චරිතයක් වෙලාද?
බෞද්ධයන් විදියට බොහෝ අය කරන්නේ ආමිස පූජාවයි. මේ නිසා බොහෝ දෙනෙක් සුදු ඇඳගෙන මල් වට්ටි අරගෙන විවිධාකාර ආගමික වැඩසටහන්වල නිරත වෙනවා.
සමහරු ඒවා photo ගහලා fb එකෙත් දානවා. පන්සල් හදන්න, විවිධ පින් අතේ වැඩ වලට මුදල් පරිත්‍යාග කරලා ඒවාටත් පුළුල් ප්‍රචාර ලබා දෙනවා.
ඒ විදියේ බෞද්ධයන් අතර නම් මම නැහැ. කන බොන විදිය, අඳින පළඳින විදිය, හැසිරෙන විදිය, ගත්තම මම තවමත් පරණ නිරෝෂාමයි. හැබැයි බෞද්ධ දර්ශනය ගැඹුරින් වටහා ගන්න ඒ ප්‍රතිපත්ති ජීවිතයට එකතු කරගන්න මම හැම වෙලාවේම උත්සාහ කරනවා.

බෞද්ධ දර්ශනය, බුදු දහම ගැන ඔය විදියට කතා කළාට ඔබ ගෙවන්නේ බොහොම සැහැල්ලු ජීවිතයක්. ඇඳුමින් පැළඳුමින් පවා ඒ දේ පේනවා. ඒ නිසා ඔබ ගැන කොහොමද ඔය කියන කාරණා වලින් පමණක් නිසි අවබෝධයක් ලබාගන්නේ?
අපිට රූපය, ධනය, බලය, සැප සම්පත් ලැබෙන්නේ පෙර පින් අනුවයි. මට ඒ හැම දේම ලැබිලා තියෙනවා. මම ගෙවන්නේ සුඛේපභෝගී දිවියක් කියන එක ඇත්ත.
හැබැයි මේ දේවල් ඊළඟ භවයෙත් ලැබේවා කියලා මම පතන්නේ නැහැ. මේ දේවල් තව දියුණු කරගන්න උත්සාහ කරන්නෙත් නැහැ. මම මගේ මුලින් කී වෘත්තිය කටයුතු සැහැල්ලු වුණත් කිව්වේ මගෙන් අහපු හින්දා.
මාධ්‍යයට ඒවා කියලා ප්‍රචාරය ලබාගෙන ජනප්‍රිය වෙන්න මට ඕන කමක් නැහැ. මේ භවයෙදීම තෘෂ්ණාව නැති කරලා නිවන් දකින්න මට බැහැ. හැබැයි තෘෂ්ණාව අඩු කරන්න පුළුවන්. මම අද කරන්නේ ඒක. එහෙම බලද්දී සුඛෝපභෝගී ජීවිතයක් ලැබුණත් මම මධ්‍යම ප්‍රතිපදාව තුළයි ජීවත් වෙන්නේ.

එතකොට විවාහය?
විවාහය ගැන හිතද්දී මට නැගෙන ප්‍රශ්නය තමයි ඇයි මිනිස්සු විවාහ වෙන්නේ කියන එක. ඇත්තටම බැලුවොත් මිනිස්සු විවාහ වෙන්නේ බෙදා ගන්න කෙනෙක් අවශ්‍ය හින්දා.
මට එහෙම කෙනෙක් අවශ්‍ය නැහැ. මගේ ජීවිතේ කොටසක් තව කෙනෙකුට බෙදලා දෙන්නත් මට බැහැ. මට හිතෙන්නේ මම ඉපදිලා තියෙන්නේ විවාහ නොවී ඉන්න අයගේ ගොඩට අයත්ව කියලා. හැබැයි ඉතින් නොසිතූ විදියට මුළු ජීවිතේම වුණත් භාර දෙන්න පුළුවන් සුවිශේෂී කෙනෙක් හමුවුණොත් මගේ හිත වුණත් වෙනස් වෙන්න පුළුවන්. දැනට නම් එහෙම කෙනෙක් පෙනෙනතෙක් මානයක නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!