Gossip

සුජීවාගේ ළමයි කණ්ඩායමට සම්බන්ධ වුණේ මගේ කීමටයි – මගේ තනි තීරණයට මම ඔවුන් අයින් කළා – අජිත් මුතුකුමාරණ

සකුරා රේන්ජ් කියූ සැණින් මතකයට එන්නේ එක නමයි ඒ අජිත් මුතුකුමාරණ. ජනප්‍රිය ගායිකා සුජීවා එක්ක යළි විවාහ ජීවිතය ආරම්භ කළ අජිත් ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තා. කෙසේවෙතත් මේ දිනවල සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම විසුරුවා හැරලා කියලා තමයි ආරංචි වුණේ. මේ ඒ ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්

සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම විසුරුවා හැරියාද?
හරියටම කිව්වොත් සියලු ශිල්පීන් සහ කළමනාකරු ඉවත් කළා. සංගීත කණ්ඩායමේ තනි අයිතිය තියෙන්නේ මටයි. සංගීත කණ්ඩායම තවමත් සක්‍රීයයි. මට කාගෙවත් උපදෙස් අරගන්න අවශ්‍ය නැහැ. මේ සංගීත කණ්ඩායම කරගෙන යන්න බැරි තැනක මම නැහැ.

මේ වගේ දැඩි තීරණයකට එන්න හේතු මොනවාද?
කළමනාකාරීත්වයේ දුර්වලතා තිබුණා, ඒ වගේම පුහුණුවීම්වලට වෙන් කරන කාලය, වෙලාවට වැඩක් නොකිරීම, වේදිකාවක් උඩ හැසිරීම, ඇඳුම් පැළඳුම් පිළිබඳ සැලකිලිමත් නොවීම වගේ කරුණු කාරණා රැසක් මේ තීරණයට බලපෑවා.

සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම පිළිබඳ විවිධ කටකතා මේ දවස්වල ක්ෂේත්‍රයේ පැතිර යනවා නේද?
සංගීත කණ්ඩායම පිළිබඳ මම ප්‍රකාශයක් කරලා තිබෙනවා. තවමත් වැඩිදුර තොරතුරු හුඟක් අය දන්නේ නැහැ. මේක සංගීත කණ්ඩායමක් විතරයි. රණ්ඩු වෙන්න, ප්‍රශ්න ඇතිකර ගන්න අවශ්‍ය නැහැ. මේ හැමෝම යාළුවෝ. සකුරා රේන්ජ් කියන්නේ ආයතනයක්. එහි අයිතිකරුට වගකීමක් තිබෙනවා තමන්ගේ ආයතනය රැක ගැනීමට.

සකුරා රේන්ජ්වලට සහ අජිත් මුතුකුමාරණ කියන ඔබේ ඉදිරි ගමන මොන වගේ වෙයිද?
මම හැමදාම ලංකාවේ කිසි කෙනෙක් නොකරපු දේවල් කරපු කෙනෙක්. දැනටමත් අලුත් ශිල්පීන් පිරිසක් තෝරාගෙන තිබෙන්නේ. මම හැමදාම තෝරාගත්තේ හොඳ ශිල්පීන්. නමුත් ‍පොඩි ‍පොඩි වැරදි කරපු අය යාළුකම නිසාම අයින් කරගන්න බැරුවයි මම හිටියේ. හැමදාම සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමේ හිටියේ දක්ෂයෝ තමයි.

අලුත් සාමාජිකයන්ගෙන් පරණ වැරදි සිදු නොවෙයි කියා ඔබ බලා‍පොරොත්තු වෙනවාද?
සකුරා රේන්ජ් මම පවත්වාගෙන යන්නේ ආයතනයක් විදිහටයි. ඒ නිසාම ඉදිරියේදීත් ඕනෑම අවස්ථාවක මේ වගේ දැඩි තීරණවලට යන්න මම පැකිළෙන්නේ නැහැ.

සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම සමග ඉදිරි සැලසුම් මොනවාද?
සකුරා රේන්ජ් හැමදාම වෙනස්කම් සමග අභියෝග ජයගනිමින් පැමිණි සංගීත කණ්ඩායමක්. මේ තිබෙන ගැටලුත් එක්ක තවම ප්‍රසංග භාර අරන් නැහැ. නමුත් මම බලා‍පොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් අලුත් ආරම්භයක් එක්ක වැඩ පටන් ගන්න. දැනට ඒ පිළිබඳ සැලසුම් කරමින් ඉන්නවා.

පුහුණු දක්ෂ සාමාජිකයන් සියලු දෙනා ඉවත් කිරීම සකුරා රේන්ජ්වල ඉදිරි ගමනට බාධාවක් නොවේද?
කොහෙත්ම නැහැ. සංගීත කණ්ඩායම් ඕන තරම් කැඩෙනවා, හැදෙනවා. සකුරා රේන්ජ්වලින් බිඳිලා ගිහින් දැනට තවත් සංගීත කණ්ඩායම් තුනක් හැදිලා තිබෙනවා. පර්පල් රේන්ජ්, හික්කඩුව ශයිනි. පවර් පැක් කියන්නේ මගෙන් ඉවත්වුණ සංගීත ශිල්පීන් හදාගත්ත සංගීත කණ්ඩායම්. කිහිප දෙනෙක් ඉවත් වුණා කියලා සංගීත කණ්ඩායමක් වැටෙන්නේ නැහැ.

මේ අර්බුදකාරී වෙලාවේ සුජීවාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
එයාගෙන් උපරිම සහයෝගයක් ලැබෙනවා. ඕනම ප්‍රශ්නෙකදි එයා මට ලොකු හයියක් වෙලා ඉන්නවා. මේ ප්‍රශ්නවලදී එයා මට කිසිම බලපෑමක් එල්ල කරන්නේ නැහැ.

කණ්ඩායමේ ප්‍රශ්න ඇතිවෙන්න සුජීවා හේතුවක් වුණාද?
ඇත්තටම නැහැ. එයාට සින්දු කියන්න කිව්වේ මම. නැතුව එයා බලහත්කාරයෙන් කණ්ඩායමේ සින්දු කියන්න ආවේ නැහැ. සුජීවාගේ ළමයි කණ්ඩායමට සම්බන්ධ වුණේ මගේ කීමටයි. වේදිකාවේ දක්ෂකම් පෙන්වන කලාකරුවන් හතර දෙනෙක් ඉන්න එකම පවුල අපියි.

ඉවත් කළ ශිල්පීන් ඔබට අභියෝගයක් වුණාද?
කොහෙත්ම නැහැ. හුඟක් අය ඉවත් කළාට පස්සේ කියන්නේ අස්වුණා කියලයි. මම ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා. මගේ තනි තීරණයට මම ඔවුන් අයින් කළා. ඔවුන්ගෙන් මට අභියෝගයක් නැහැ. ඔවුන් මේ ක්ෂේත්‍රයේ ‍පොඩි ළමයි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!