Gossip

“ජීවිතේ ගොඩක්ම විශ්වාස කරපු අය දාලා යනවා – ආදරේ කියන වචනෙටත් දැන් මම ගොඩක් බයයි “- අවසන් වුණ ප්‍රේමය ගැන උදාරි කිව්ව කතාව

කලා ක්ෂේත්‍රයේ පසුගිය දිනවල නිතරම කියැවුණු නමක් තමයි උදාරි කෞශල්‍යා කියන්නේ. ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක් වන ඇය නැවතත් කලාවට අවතීර්ණ වෙලා ඉන්නවා. ඒ ගැන වගේම සිය පෞද්ගලික ජීවිතේ ගැන පුවත්පතක් හමුවේ කියා තිබුණේ මෙහෙමයි.

නැවතත් උදාරි කලාවට අවතීර්ණ වෙලා ඉන්නවා නේද?
ඔව්. අලුතින් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී එහි වැඩ කටයුතු ආරම්භ වීමට නියමිතයි. ඒ වගේම රූප රචනා කිහිපයකටත් සම්බන්ධ වෙලා වැඩ කළා. ඒවා තමයි ඉතින් අලුත් විස්තර.

පසුගිය කා‍ලේ මොකද වෙලා හිටියේ?
පෞද්ගලික හේතුවක් මතයි කලාවට ‍පොඩි විරාමයක් තියන්න සිද්ධ වුණේ. දැන් ආයෙම ක්ෂේත්‍රයට එකතුවෙලා සුපුරුදු වැඩ ටික කරගෙන හොඳ නිර්මාණ සඳහා මගේ රංගනය ලබාදෙනවා.

එක පාරටම නැවත රංගනයට යොමුවෙන්න හිතුවේ ඇයි?
පසුගිය ටිකේ රංගන ජීවිතේට ‍පොඩි විරාමයක් තියලයි තිබුණේ. දැන් ආයෙම හොඳ නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. ඉතින් ඒ නිසාම ආයෙත් රංගනයට යොමුවන්න කාලය ඇවිත් කියලා හිතුණ හින්දා ඒ ආරාධනා පිළිගත්තා.

ගොසිප්වලින් ඔබ ගැන කියන දේවල්වලට ඔබට මොනවද කියන්න තියෙන්නේ?
ගිනිගන්න හිතකට හදවතකට ඒ ගින්න නිවාගන්න හයියක් වෙන්න කවුරුත් නැති වුණාට තවත් ඒ ගින්න හතර වටින්ම අවුළුවන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. ඉතින් ඒ එන හැම දෙයක්ම මම සතුටින් භාරගන්නවා.

උදාරි කියන්නේ ‍ලේසියෙන් වට්ටන්න පුළුවන් කෙනෙක්ද?
වැටිලා, කලකිරිලා, පසුබාලා, ජීවිතේ එපාවෙලා ඉන්න චරිතයක් ‍නෙවෙයි මම. ලැබෙන හැම අත්දැකීමක්ම ජීවිතේට හොඳ පන්නරයක් කරගෙන අනාගතේ ගැන බලා‍පොරොත්තු ඇතුව සතුටින් සැහැල්ලුවෙන් ඒ වගේම ‍පොළොවේ පය ගහලා ජීවත්වෙන චරිතයක් තමයි උදාරි කියන්නේ.

විරහව කොහොමද ඔබට දැනෙන්නේ?
විරහව ජීවිතේට තියෙන තවත් එක පුංචි බාධාවක්. ඒ ඒ බාධක එක්ක ප්‍රශ්න එක්ක ජීවිතේ හැප්පි හැප්පී ඉස්සරයට යනකොට තමයි දැනෙන්නේ ජීවත්වෙනවා කියලා. ඉතින් ඒ හැම අත්දැකීමක්ම ජීවිතේට දවසක හොඳ පාඩමක් වෙනවා අනිවාර්යයෙන්ම.

හැමදාම ළඟ ඉන්න ආපු අය අතරමගදී මගහැරෙනකොට මොකද ඒ ගැන හිතෙන්නේ?
මම නම් ඇත්තටම පණ තියෙන දේවල්වලට ගොඩක් බයයි, පණ නැති දේවල්වලට වඩා. ජීවිතේ ගොඩක්ම විශ්වාස කරපු අය දාලා යනවා. ඒ බාධක මැදින් උත්සාහය, කැපවීම මත මම සතුටින් සහ සැහැල්ලුවෙන් මගේ ජීවිතේ ඉදිරියට ගොඩ නගාගෙන මගේ ගමන යනවා නොනැවතීම.

ආයෙම එහෙම කෙනෙක්ව මුණගැහුණොත් පිළිගන්න ඔබ සූදානම්ද?
හීනෙකින්වත් එහෙම බලා‍පොරොත්තුවක් දැන් මට නෑ. ආදරේ කියන වචනෙටත් දැන් මම ගොඩක් බයයි. ළඟම ඉන්න, මගේම කියන, ආදරේ කරපු, හොඳයි කියලා අපි හිතන මේ හැම කෙනෙක්ම වෙනස් වෙනවා. ඉතින් ආයෙමත් ආදරයක් ගැන නම් හීනයක්වත් නෑ මගේ ජීවිතේ.

සංගීත ක්ෂේත්‍රයටත් යොමුවෙලා නේද ඔබ ඉන්නේ?
ගායනය කියන්නේ මම ගොඩක් කැමති ක්ෂේත්‍රයක්. සංගීතය ඉදිරියටම හදාරන්නත් මගේ බලා‍පොරොත්තුවක් තියෙනවා. ඉතින් සමාජ මාධ්‍ය හරහා මට ලැබෙන ප්‍රතිචාර සහ ඉල්ලීම් එක්ක ඉදිරියේදී මගේ ගීතයක් හැමෝටම රස විඳින්න අවස්ථාව ලැබෙයි.

ඇයි හිතුණේ මේ ක්ෂේත්‍රයටත් යොමුවෙන්න අවශ්‍යයි කියලා?
රංගනය, ගායනය, නිවේදනය, නර්තනය කියන අංශ හතර ගැනම මට අත්දැකීම් තියෙනවා. ඉතින් බහුතර ඉල්ලීම් මත තමයි ගීතයක් කරන්න ඕන කියලා මම හිතුවේ. බලමු ඉස්සරහට කොහොම ප්‍රතිචාර ලැබෙයිද කියලා ඉතින්.

උදාරි කියන්නේ කොහොම චරිතයක්ද?
මම ගොඩක් සැහැල්ලුවෙන්, සතුටින් ඉන්න චරිතයක්. යාළුවෝ එක්ක එහේ මෙහේ යන්න, සුරතල් සතුන් ඇති කරන්න, සින්දු කියන්න මේ දේවල්වලට මං හරි කැමතියි. ඒ දේවල් එක්ක ජීවිතේ විඳින්න ජීවිතේට ආදරේ කරන්න කැමති කෙනෙක් මම.

ඉදිරි වෘත්තීය සැලසුම් ගැනත් කියමු?
කරන සහ ලැබෙන නිර්මාණවලට උපරිම සහයෝගයක් දෙමින්, මගේ උපරිමය ඒ නිර්මාණ සාර්ථකත්වය සඳහා යෙදවීම තමයි වෘත්තීය ජීවිතේ ගැන තියෙන එකම සැලසුම. ඒත් එක්කම කාටවත් මගෙන් කරදරයක් නොවෙන විදිහට මගේ ගමන යාමයි තියෙන අරමුණ.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!