Gossip

“සහරාන් මාව වැලඳගෙන හැඬුවා – ළමයින් හොඳින් බලාගන්න, අපි අල්ලාහ් ළඟට යනවා කියලා කිව්වා -මම දුවව අරගෙන නාන කාමරයට ගියා- ඒත් එක්කම තමයි ගේ ඇතුළේ ලොකු පිපිරීමක් ඇහුණේ – සහරාන්ගේ බිරිඳ කිව්ව කතාව

කල්මුණේ සයින්දුමරුදු බෝම්බ පිපිරුමෙන් දිවි ගලවාගත් සහරාන්ගේ බිරිය අබ්දුල් කාදර් ෆාතිමා කාදියා තවමත් සිටින්නේ අම්පාර රෝහලේය. ඒ පොලිස් අත්අඩංගුවේය. මාස තුනක් ඇයව පොලිස් අත්අඩංගුවේ රඳවාගන්නට අධිකරණ නියෝගයක් පොලිසිය ලබාගත්තේය. ඒ සහරාන්ගේ රහස් ගබඩාව ඇය සතුව ඇති බැවිනි. දැඩි ආරක්ෂාවක් යටතේ සිටින ඇය හැම විටම උත්සාහ ගන්නේ සහරාන් කළ කී දෑ තමන් නොදැන සිටි බව ඒත්තු ගන්වන්නටය.

ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසන්නේ සිය සැමියා අන්තවාදයට යොමු කළේ නෞෆර් මව්ලවි නැමැත්තෙකු බවය. ඔහු සෞදියේ කාලයක් රැදී සිටි අයෙකි. කාතන්කුඩියේ වැසියෙකු වන ඔහු කුරුණෑගල සහ නාරම්මල පැත්තේ පදිංචිව සිට ඇති බව සඳහන්ය. මේ වන විට ඔහු සිටින්නේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේය.

සහරාන්ගේ මුල් සැලසුම වී තිබුණේ රටපුරාම ප්‍රහාර මාලාවක් එකවර එල්ල කරන්නටය. එකී සැලසුම් ව්‍යර්ථ වන්නේ නෞෆර් මවුලවි නිසාය. ඒ සහරාන්ගේ දේශනා මෙන්ම සිය පවුලට සහරාන් විශේෂත්වයකින් සැලකීමට එරෙහිව ඔහු කැරලි ගසන්නට වූ බැවිනි. ඒත් එක්කම සහරාන්ගේ කල්ලිය දෙකට කැඩිණි. නෞෆර් මව්ලවි එක් කණ්ඩායමක නායකයා බවට පත් විය. සහරාන්ගේ සියලු සැලසුම් ඒත් එක්කම බිද වැටෙයි. පළාත් නවයේම අවම වශයෙන් ප්‍රහාර විස්සක්වත් එල්ල කරන්නට සූදානම් වූ සහරාන්ට ඒ සදහා මරාගෙන මැරෙන්නට සිටි සාමාජිකයන් අහිමි විය. එබැවින් ඔහුට සිදු වන්නේ දේවස්ථාන තුනකටත් සංචාරක හෝටල් තුනකටත් පමණක් ප්‍රහාර එල්ල කරන්නටය. ඒ ඔහුද මරාගෙන මැරෙමිනි.

“සහරාන්ට නිසි ප්‍රතිපත්තියක් නැහැ. මරපන් කපපන් කොටපන් කියලයි හැම තිස්සෙම කියන්නේ.

පුතාවත් එයා හැදුවේ ඒ විදිහට. පුතාත් එයා වගේම දරුණු පුද්ගලයෙක්. පුතාගේ ළමා මනස එයා එහෙම පිටින්ම වෙනස් කළා. මරාගෙන මැරෙන අයෙකු ලෙස. ඒකට එයා දක්ෂයි. එයාගේ වැඩ ගැන පුතා ගොඩක් දේවල් දන්නවා. පුතාගෙන් ඇහුවොත් එයා ඔක්කොම දේවල් කියයි.“ ඇය එසේ පවසන්නේ සයින්දමරුදු පිපිරීමෙන් අට හැවිරිදි වැඩිමහල් පුතා මියගොස් ඇති බව නොදැනය.

ඇය පවසන්නේ පාස්කු බොම්බ ප්‍රහාරයට මාසයකට පමණ පෙර පාණදුර සරික්කමුල්ලේ පිහිටි කුලී නිවසට සහරාන් ඔහුගේ පවුලේ සියලු දෙනා කැඳවා සාදයක් පැවැත්වූ බවය. සහරාන්ගේ මවුපියන් ඇතුළු සහෝදර සහෝදරියන්ද ඔවුන් විවාහ වී සිටින්නන්ද ඊට සහභාගි වූ බව ඇය කියයි. නැවතත් ඔහු පවුලේ සාමාජිකයන් සියලු දෙනාම එසේ කැඳවමින් අප්‍රේල් 17 වැනිදාද සාදයක් පවත්වා තිබේ. එසේ සාදයක් පවත්වන ලද්දේ පාස්කු ඉරිදා ප්‍රහාර නිසා වන්නට ඇතැයි ඇය කීවාය.

පාස්කු ප්‍රහාරයට දින දෙකකට පෙර දරු දෙදෙනා සමඟ තමන් සරික්කමුල්ලේ නවාතැන් ගෙන සිටි නිවසින් සමන්තුරේට පිටත් කළ බවද ඇය කියයි. එදා තමන් සමඟ සමන්තුරේ යන්නට සාරා සහ ෆෙරෝෂා එක් වී සිටි බව ඇය කියයි. සාරා යනු කටානේ කටුවපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් හස්තූන්ගේ බිරිය වන පුලස්තිනී රාජේන්ද්‍රන්ය. ඇය දෙමළ කාන්තාවකි. මුස්ලිම් ආගම වැලඳ ගන්නේ හස්තූන් සමග සිදු වන විවාහයත් සමඟිනි. ෆෙරෝෂා යනු මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කල මොහාමඩ් නසාර් මොහොමඩ් අසාද් ගේ බිරියය. එදා සරික්කමුල්ලේ නිවසේ කටුවපිටිය බෝම්බකරු සහ මඩකලපුවේ බොම්බකරු රැඳී සිට ඇත්තේ සිය බිරින්දෑවරුන්ට සමුදෙන්නටය.

“ මම හිටියේ සහරාන්ගෙන් වෙන් වෙන්න බලාගෙනයි. ඒකට කවදාවත්ම මට සහරාන් ඉඩ දුන්නේ නැහැ. අපි එකට මැරෙනවා කියලා තමයි ඔහු නිතර මට කීවේ. එදා සහරාන් වෙනදාට වඩා වෙනස් පුද්ගලයෙකු හැටියටයි මම දැක්කේ. එයා තරමක් තැති ගැන්මකට ලක් වෙලයි හිටියේ. මාව වැලඳගෙන හැඬුවා. එයා අඬනවා මම කවදාවත් දැකලා නැහැ. අපි ආයිත් හම්බවෙන්නේ නැහැ. ළමයින් හොඳින් බලාගන්න. අපි අල්ලාහ් ළඟට යනවා, කියලා එයා කිව්වා.“ සහරාන්ගේ බිරිය ෆාතිමා පවසන්නීය.

“සහරාන් නිතරම කිව්ව දෙයක් තමයි, මුස්ලිම්වරුන්ට වෙනම රාජ්‍යයක් ඕනේ කියල. එයා අන්තවාදයේත් අන්තයට ගිහිල්ලයි හිටියේ. මට ටී.වී බලන්න පවා ඉඩ දුන්නේ නැහැ. හැබැයි හෑන්ඩ් ෆෝන් එකක් අරන් දීලා තියෙනවා. ඒකේන් ෆේස් බුක් , යූ ටියුබ් බලන්න තහනම්. ඒ සියල්ලක්ම බ්ලොක් කරලයි මට දුන්නේ. හැබැයි එයාගේ දේශන නම් ඇති තරම් ෆෝන් එකේ තිබුණා.“ යැයිද ඇය කියන්නීය.

ගිරිඋල්ලේ පිහිටි සාප්පුවකට ගොඩවැදී රුපියල් 29000ක සුදු ඇදුම් මිලදී ගන්නේ සමන්තුරේ යන අතර තුරදීය. සරික්කම්මුල්ලේ නිවසේදී රුපියල් 5000ක නෝට්ටු මිටිවලින් පුරවන ලද මල්ලක්ද සහරාන් වෑන් රථයට දැමූ බවද ඇය කියයි. ගිරිඋල්ලේ සාප්පුවෙන් සුදු රෙදි මිලදී ගන්නේ සාරාය.

“සුදු ඇඳුම් ගන්න කොට මම සාරාගෙන් ඇහුවා ඇයි මේ සුදු ඇඳුම් ගන්නේ කියල. ඒ වෙලාවේ එයා මගේ දිහා අමුතු විදිහට බලලා ඇහුවා ඇයි ඔයාට සහරාන් කිව්වේ නැද්ද? කියලා. මම කිව්වා නැහැ කියලා. ඒ වෙලාවේ එයා කිව්වා ඉස්සරහට ඕනෙ වෙයි, ඒකයි ගන්නේ, කියල“ සුදු ඇඳුම් ගැන ඇසූ විට ඇය පවසන්නේ එවැනි කතාවකි.

එම සුදු ඇඳුම්ද රැගෙන ඔවුන් එදා රෑම යන්නේ නින්දවූර් බලාය. ඔවුන් වෙනුවෙන් කුලී නිවසක් ඒ වන විටත් සූදානමින් තිබිණි. මීගමුවෙන් රැගෙන ආ පුපුරන ද්‍රව්‍යවලින් කොටසක්ද තිබෙන්නේ එම නිවසේ සඟවාය.

“ දවස් තුනක් ඒ ගෙදර අපි හිටියා. සහරාන්ගේ අම්මයි තාත්තායි, සහෝදරයන් දෙන්නයි, සහෝදරියයි ඔක්කොමලාම ඒ ගෙදරයි හිටියේ. එදා 21 හවස සහරාන්ගේ මල්ලි රිල්වාන් තවත් අයෙත් එක්ක වෑන් එකකින් කලබලෙන් ආවා. අපිව වෑන් එකේ දාගෙන සයින්දමරුදු ගෙදරට එක්කරගෙන ගියා. පොලිසියයි හමුදාවයි ඉන්න තැත් දැනගෙන පස්සෙ පන්නනවා කියල ඒ අය කිව්වා. පොලිසිය එක්ක සටන් කරන්න ඕනේ කියලත් කතා වුණා. ඔය අතරේ තමයි පොලිසිය ගේ වට කළේ. එළියේ වෙඩි ශබ්දෙ ඇහුණා. සහරාන්ගේ සහෝදරයා රිල්වාන් ආගම කියන්න කියලා අපිට සාලයට එන්න කිව්වා. පුතා හිටියේ සාලේ. සහරාන්ගේ අම්මයි තාත්තයි, මාම කෙනෙකුයි, නංගි හිදායයි, එයාගේ සැමියා රියාදුයි, සහරාන්ගේ අනෙක් මල්ලි සෙයිනුයි ඔක්කොම හිටියේ සාලේ. මම දුවව අරගෙන නාන කාමරයට ගියා. ඒත් එක්කම තමයි ගේ ඇතුළේ ලොකු පිපිරීමක් ඇහුණේ.“ ඇය ඒ බිහිසුණු මොහොත ගැන හඩ අවදිකරන්නේ එසේය.

එම පිපිරුම සිදු වන විට සහරාන් දුන් සල්ලි මල්ල තිබී ඇත්තේද එම නිවසේය. මිලියන ගණනක් එහි තිබිණි. එම මුදල්වලට කුමක් වී දැයි ඇත්තේ ගැටලුවකි.

සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!