Gossip

සනුකගේ “සංසාර සිහිනේ” සිංදුව ලියපු ගුරුවරිය දැන් කියන කතාව මෙන්න

සනුක වික්‍රමසිංහගේ “සංසාර සිහිනේ” ගීතය මෙරට ජනප්‍රියතම ගීත ගොන්නට අතරට එකතුවුනා. තරුණ පරම්පරාව ඉතා ආදරයෙන් වැළඳ ගත් මෙම ගීතයේ පිටුපස බොහොම අපූරු සැඟවුනු කතාවක් තියෙනවා. සනුකගේ ගීත ඇහුවට සනුක ගායනා කරන ගොඩක් ගීත ලියන්නෙ කවුද කියලනම් ඔබ දන්නෙ නැතුව ඇති. කොහොම වුනත් සනුක ගායනා කරන ගොඩක් ගීත ලියපු උදාරි අමරතුංග පසුගිය පුවත් පතකට උදහස් දක්වමින් “සංසාර සිහිනේ” සැඟවුනු ඒ අපූරු කතාව කියලා තිබුණා.

පද රචිකාව විදිහට මේ ගීතය වෙනුවෙන් ඔබටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති නේද ?
ඇත්තටම ක්ෂේත්‍රයේ අයගෙන් වුණත් වෙනස් ගීතයක් කියලා හුඟක් හොඳ ප්‍රතිචාර ලැබුණා. බොහෝ දෙනා කිව්වා මේ ගීතය රැල්ලකට යන්නේ නැතුව කරපු නිර්මාණයක් කියලා. මම සේවය කරන්නේ හොරණ තක්ෂිලා මහා විද්‍යාලයේ උසස් පෙළ තොරතුරු තාක්ෂණය උගන්වන ගුරුවරියක ලෙසයි. මම උගන්වන දරුවෝ ටිකත් අපේ ටීචර් ලියපු ගීතයක්නේ කියලා බොහොම ආඩම්බරයෙන් ඒ ගැන කතා කරනවා.

සංසාර සිහිනේ ගීතයෙන් ඔබ මොන විදිහේ පණිවුඩයක්ද දෙන්න උත්සාහ කළේ?
අද තියෙන්නේ අද දැක්කා හෙට යාළු වුණා අනිද්දට අතහැරියා වගේ කෙටි ප්‍රේම සම්බන්ධතානේ. නමුත් සංසාර සිහිනෙන් කියවෙන්නේ දිගු කාලයක් තිස්සේ තේරුම් ගැනීම හරහා තමන්ගේ ආත්මයන් හඳුනාගෙන පවත්වාගෙන යන්නට හදන ආදර කතාවක් ගැනයි. ඒ වගේම ලිංගිකත්වයට විතරක් බර වෙන්නේ නැතුව හැම පැත්තෙන්ම විවාහ ජීවිතයකට සුදුසු අයුරින් දීර්ඝකාලීන බැඳීමක් ගෙනයාම ගැනත් සංසාර සිහිනේ ගීතයෙන් කියවෙනවා.

‘සංසාර සිහිනේ’ ගීතයට පාදක වුණේ ඔබේම අත්දැකීමක්ද?
නැහැ. ඒක මගේ මිතුරියකගේ අත්දැකීමක්. විශ්වවිද්‍යාලයේ ඉන්න කා‍ලේ දවසක් බස් එකෙන් ගෙදර එන අතරතුර මම ඒ මිතුරියගේ කතාව මට දැනුන විදිහට ටැබ් එකේ ටයිප් කරමින් ආවා. එදා මගේ හිතට ආපු ඒ වචන ටික තමයි අද ලංකාවේ ජනප්‍රියම ගීතයක් බවට පත්වෙලා තියෙන්නේ.

සංසාර සිහිනේට පෙරත් ඔබ අතින් ගීත ලියැවී තිබෙනවා නේද?
ඔව්. මම ගීත හුඟක් ලියලා තියෙනවා. ඒත් තවම ඒවා ගීත විදිහට එළිදැක්වුණේ සනුකගේ හඬින් විතරයි. මගේ පළවෙනි ගීත රචනය වන “ඔබ දකින්න බැහැ” කියන ගීතයත් ජනතාව අතරට ගෙනිච්චේ සනුක. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ ‘සංසාර සිහිනය’ කියන ගීතය තේමා කරගෙන ලියන නවකතාවක පරිච්ජේද කිහිපයක්ම මම මේ වනවිටත් අවසන් කරලා තියෙනවා. මේ කතාව සම්පූර්ණ කරලා මගේ ප්‍රථම නවකතාව විදිහට එළිදක්වන්නත් මම බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.

ඔබේ ගීතවල සාර්ථකත්වය ගැන කියන්න ඔබට විශේෂ කාරණයකුත් තිබෙනවා?
ඔව්. හුඟක් අය කියනවා අද කා‍ලේ ගීතයක් ජනප්‍රිය කර ගන්න විෂුවල් ඕනෑමයි කියලා. ඒත් මම කියලා සනුකගේ හඬින් ගැයුණු ගීත දෙකටම විෂුවල් නැහැ. ඒත් ඒ ගීත දෙකම ගීත ලෝලීන් හුඟක් ආදරයෙන් වැලඳ ගත්තා. මම නම් හිතන්නේ ගීතයකට මුලින්ම විෂුවල් එකක් නිර්මාණය කරලා මේකයි විෂුවල් එක කියලා එළියට දාන්නේ නැතුව යම් ගීතයක් ජනප්‍රිය වෙනවා නම් ඒක තමයි මම දකින විදිහට සාර්ථකම ගීත රචනාව.

නමුත් අද කා‍ලේ හැටියට මියුසික් වීඩියෝවක් නැතුව ගීතයක් ජනප්‍රිය කර ගැනීම තරමක් දුරට අභියෝගයක් නේද ?
අද මිනිස්සු ගොඩාක් කාර්යබහුල නිසා බොහෝ දෙනා ක්ෂණික දේවල්වලට තමයි හුරු වෙලා ඉන්නේ. මිනිස්සු යාන්ත්‍රික වෙලා නිසා ඔවුන් ඉක්මනට විෂුවල් වලට ඇදිලා යනවා. සමහර විට ගීතයෙන් කියවෙන්නේ මොනවගේ අර්ථයක්ද, විෂුවල් එක ගීතයේ පද රචනයට ගැළපෙනවද කියලා වත් දන්නේ නැහැ. නමුත් ඇත්තටම සංසාර සිහිනේ ජනප්‍රිය වෙන්නේත් ඒකට විෂුවල් එකක් නැති හින්දමයි. මොකද රසිකයෝ මේ ගීතයෙන් කියවෙන්නේ මොකක්ද කියලා පුළුල්ව හිතන්න පටන් ගත්තා.

භාෂාව පිළිබඳ කිසිදු හැදෑරීමක් නොමැතිව ගීත ලියනවා කියන චෝදනාව නව පරපුරේ බොහෝ ගී පද රචක රචිකාවන්ට එල්ලවෙනවා. ඒ චෝදනාව ඔබ දකින්නේ මොන විදිහටද?
මම නම් හිතන්නේ හොද ගීත ලියන්න නම් හොඳට කියවලා තියෙන්නත් ඕනෑ කියලයි. මගේ භාෂා භාවිතයට මට ලැබුණ හොඳම ශක්තිය තමයි ‍පොත් කියවීම. අපිට හොඳ ගීතයක් රචනා කරන්නට නම් භාෂාව ගැන වෙනමම හැදෑරීමක් කිරීම අවශ්‍ය නැහැ. නමුත් භාෂාව ගැන යම් පරාසයක අවබෝධයක් තිබිම හරිම වටිනවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!