Gossip

“වොෂින් මැෂින් එකේ තිබිලා ඒ ගෑණු කෙනාගේ ඇඳුම් හොයාගත්තා. ඒවයේ ලේ පැල්ලම් තිබුණා”

අනියම් පෙම, ජීවිත කිහිපයක් මෙලොවින් තුරන් කිරීමට මඟ පාදන එක් සාධකයකි.
මේ තත්ත්වය අද වන විට සමාජය පුරා ඔඩු දිවූ මහා පිළිලයක් තරමටම පත්ව තිබීම කනගාටුවට කරුණකි. එකම බත්පත බෙදා හදා ගනිමින් ජීවිතයද බෙදාහදා ගත් අඹුසැමියන් මේ ආකාරයට අතිශය රුදුරු ලෙස එකිනෙකා අතින් මරුමුවට පත්වන්නේ ඉතා ශෝචනීය පුවත් ඉතිරි කර තබාය.
ඒ කතා බොහෝමයකින් කියැවෙන්නේ අනියම් සබඳතාවල තොරතුරුය.
“සර්.. එදා අපේ ගෙදර වතුර කපලා. මම ළමයි තුන්දෙනාවත් අරගෙන පාදුක්කෙ අරුක්වත්තෙ ගනේගොඩ අපේ මහ ගෙදරට ගියා.
පහුවදා උදේ දරුවන් ඉස්කෝලේ යවලා මම එයාට කෝල් එකක් ගත්තා.
කිසිම උත්තරයක් නැහැ. බැරිම තැන මං එයාව හොයාගෙන ගෙදරට ගියා. එතකොට තමයි මම දැක්කෙ එයාව මරලා දාලා තියෙනවා.”
තම සැමියාගේ ඝාතනය පිළිබඳ 31 හැවිරිදි තරුණ කතක් පාදුක්ක පොලිසියේ නිලධාරීන් ඉදිරියේ ඒ අනුවේදනීය සිදුවීම සටහන් කළේ එලෙසය.
පොලිස් නිලධාරීහු ඇගේ කතාවෙන් යම් තිගැස්මකට ලක්වුහ. ඇය කී කතාව හොඳින් අවධානයට ලක් කළ ඔවුන් ඇගෙන් තව දුරටත් ප්‍රශ්න කළේය. ඇගේ මුහුණේ ද සීරිම් තුවාලයක් දක්නට තිබු අතර ඇය එය ඔවුන්ගෙන් වසංකොට තබා ගැනීමට උත්සාහ කරන බවක් පෙනුණත් පොලිසිය එය එතරම් ගණන්ගත් බවක් පෙනෙන්නට ඉඩ හැරියේ නැත. පාදුක්ක පොලිස් ස්ථානාධිපති ගුණරත්න අපරාධ විමර්ශන අංශය භාර සුබසිංහ ඇතුළු නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට ගියේ ඉන් පසුවය.
මිය ගිය පුද්ගලයා අරුක්වත්ත ප්‍රදේශයේ අමරසිංහ මාවතේ ජීවත් වූ කඹුරුගොඩ ගමගේ ඩෙන්සිල් පුෂ්පකුමාර නමැති 36 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
තිදරු පියකු වූ ඔහු කඩකාමර කිහිපයක් ඇති ස්ථානයක් සිය නිවෙස ලෙස තෝරාගෙන තිබු අතර එහි ලී බඩු විකිණීම ද කරගෙන ගියේය.
ඊට අමතරව තවත් කොටසක ත්‍රිරෝද රථ අමතර කොටස් අලෙවි සලක් පවත්වාගෙන ගිය අතර කුලී පදනම මත සීට්ටු ක්‍රමයට ද ඔහු භාණ්ඩ අලෙවි කළේය. ඔහුගේ බිරිය වූ චතුරිකා 31 හැවිරිදි වියේ පසු වූ තිදරු මවක වුවාය. ඇය රැකියාවක් කළේ නැත.
සිද්ධිය වූ ස්ථානයට ගිය නිලධාරින්ට කඩසාප්පුවත් ගොඩනැඟිල්ලත් අතර දමා තිබු ඔහුගේ මළ සිරුර හමුවිය.
සිද්ධිය වූ ස්ථානයට මහේස්ත්‍රාත්වරයා කැඳ වූ ස්ථානාධිපතිවරයා මිරිහාන සොකෝ අංශය බාර ස්ථානාධිපති කාරියවසම් මහතාට මෙය දැනුම් දුන්නේය.
ඒ අනුව සොකෝ නිලධාරීන් ද “පාරා” නම් නිල සුනඛයා ද අපරාධ ස්ථානයට පැමිණියේ විමර්ශන කඩිනම් කෙරෙමින් තිබියදීය.
අපරාධය සිදු වූ ව්‍යාපාරික ස්ථානය වෙත ගිය සොකෝ නිලධාරීන් සිය පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී ඔවුණට කිසියම් සැකයක් මතුවිය.
ඒ මියගිය පුද්ගලයා වෙනත් තැනක මරා මෙතැනට ගෙනැත් දමා ඇති බවය. ඒ අනුව සොකෝ නිලධාරීන් මියගිය පුද්ගලයා ගේ නිවෙස සෝදිසියට ලක් කළේය.
ඔවුන් විසින් ගෙනෙන ලද රසායනික ද්‍රව්‍යයක් නිවෙස පුරා ඇතිරිමත් සමඟ නිවෙසේ බිම තිබී සෝදා ඇති බව අනාවරණය විය.
පැමිණිල්ල කිරීමට ආ මියගිය අයගේ බිරිය ගේ මුහුණේ තිබූ තුවාලයත් ඇගේ සෙරෙප්පුවක තිබූ ලේ පැල්ලමත් ගැන ස්ථානාධිපතිවරයාගේ මතකයට නැගෙන්නේ මේ මොහොතේය.
මේ අතර ඇය පෙරදින රාත්‍රියෙහි තම මවගේ නිවෙසෙහි ගත කළ බව පැවසීම නිසා ඇයගේ මවගෙන් ද ප්‍රකාශ සටහන් කිරීමට දෙදෙනාම පොලිසියට කැඳවා තිබිණි.
“අපි ඒ දෙන්නව පොලිසියේ රඳවා ගත්තා. ඒ අතරතුර අපිට ඕන වුණා. ඒ ගෑනු කෙනා එදා රෑ නතර වුණු මහගෙදර සෝදිසි කරන්න. අපි අරුක්වත්තට ගියා.
ගෙදර දොර ඇරගන්න අවශ්‍ය නිසා පොලිසියේ හිටපු කාන්තාවගේ මවත් අපි අරගෙන ගියා.
ගෙදර සෝදිසි කරද්දී ගේ පිටුපස රෙදි කැබලි වගයක් පුලුස්සන්න හදලා තියෙන බව දැනගත්තා.
තව දුරටත් සෝදිසි කරද්දී වොෂින් මැෂින් එකේ තිබිලා ඒ ගැනු කෙනාගේ ඇඳුම් හොයාගත්තා. ඒවයේ ලේ පැල්ලම් තිබුණා.”
සිද්ධිය පිළිබඳ අපරාධ විමර්ශන අංශය බාර ස්ථානාධිපතිවරයා කියන්නට විය. ඒ අනුව ඩෙන්සිල් ගේ ඝාතනයට ඔහුගේ බිරිය සම්බන්ධ බවට කරුණු කාරණා තහවුරු විය.
ඉන් අනතුරුව පොලිසිය සැකකාර කාන්තාවගේ මවගෙන් ප්‍රශ්න කරන්නට විය.
බොරු කීවොත් තමාද අමාරුවේ වැටෙනු ඇතිබව ස්ථානාධිපතිවරයා ඇයට පෙන්වා දුන්නේය.
ඉන් අනතුරුව ඇය ඇත්ත කියන්නට වූවාය.
“දුව මට ඇවිත් කිව්වා. එයා මහත්තයාව මැරුවා කියලා.” ඇගේ ප්‍රකාශය මත තවදුරටත් කරුණු කාරණා විමසද්දී ඩෙන්සිල් ඝාතනය කිරීමට යොදාගත් පිහි දෙක නිවෙසේ අල්මාරිය යට තිබී සොයා ගැනීමට පොලිසියට හැකිවිය.
ඉන් අනතුරුව නිලධාරීන් සැකකාර කාන්තාවගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය.
එහිදී අනාවරණය වුයේ ඩෙන්සිල්ට පිහියෙන් ඇන්නේ ඇගේ අනියම් පෙම්වතා බවය.
21 හැවිරිදි ඔහු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය උපක්‍රමශීලිව කටයුතු කළේය.
ඇගේ දුරකථනයෙන් ඔහුට ඇමතුමක් ලබා දීමෙන් පසු තරුණයා මඟට ගෙන්වා ගැනීමට පොලිසියට හැකිවිය.
ඉන්පසු ඝාතනය පිළිබඳ තොරතුරු ටිකෙන් ටික අනාවරණය විය. 21 හැවිිරිදි තරුණයා මීට මාස කිහිපයකට පෙර මියගිය අයෙග් ත්‍රිරෝද රථ අමතර කොටස් ව්‍යාපාරික ආයතනයේ සේවයට පැමිණි අයකු විය. ඔහු හා ඝාතනය වූ පුද්ගලයාගේ බිරිය අතර අනියම් සබඳතාවක් ගොඩනැඟී යන්නේ සැමියාට හොර රහසේය.
ඔහුගෙන් ලබාගන්නා ලද ප්‍රකාශ අනුව දෙදෙනාම එකතු වී මේ ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය තහවුරු කර ගත්තේය.
කලෙක පටන් සිය සැමියාත් සමඟ ඇති වූ හැලහැප්පීම් නිසා පවුලේ ආරවුල් පැවති බව බිරිය අනියම් සැමියාට පවසා ඇති බව ද හෙළි විය.
එහිදී ඔහු පවසා ඇත්තේ එසේ නම් සැමියා ඝාතනය කළ යුතු බවය.
දෙදෙනා විසින් සැලසුමක් සකස් කර ගත්හ. ඉන්පසු තම අනියම් සැමියා නුගේගොඩ ප්‍රදේශයේ සිට පාදුක්ක ප්‍රදේශයට ගෙන්වාගත් ඇය රාත්‍රියේ නිවෙසට පැමිණ ඇත්තේ තම අරමුණ ඉටුකර ගැනීමේ සාහසික චේතානාවෙන් යුතුවය.
පළමුවෙන්ම සැකකාර කාන්තාව නිවෙසට ඇතුළු වී සිය සැමියා සමඟ ඉතා සමීපව සුහද සිතින් කටයුතු කර ඇති අතර ඔහුට සැක නොසිතෙන පරිදි ඔහු බදාගෙන ආදරයෙන් වෙලී ඇත. ඇය සිය සැමියා වැළඳගෙන සිටියදී පිටුපසින් පැමිණි අනියම් පුරුෂයා ඇගේ සැමියාගේ ගෙල පසාරු වී යනසේ පිහි පහරක් එල්ල කොට ඇති අතර එයින් ඔහු අඩපණ වී බිම වැටී ඇත. ඉන් පසුව දෙදෙනාම එක්ව ඔහුට පිහි පහර එල්ලකොට ඇත.
පිහි දෙකක් යොදා ගනිමින් මාරාන්තික තුවාල සිදුකොට ඔහුව ඝාතනය කෙරෙන්නේ ඒ රාත්‍රියේ දීමය.
ව්‍යාපාරිකයා ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ ලේ තැවරුණු සිරුර ව්‍යාපාරික ස්ථානයෙන් පිටත තිබු පියගැට පෙළක් යටට ඇද දමා එය තුළ වැගිරී තිබුණු ලේ පැල්ලම් සෝදා දැමු බව තව දුරටත් ඇය හෙළි දරව් කළාය.
තම සැමියාගේ ව්‍යාපාරික ස්ථානයෙහි සේවය කළ 21 හැවිරිදි සේවකයකු සමඟ ඇති කරගත් අනියම් සබඳතාවක් මුලික කර ගනිමින් තම සැමියා ඝාතනය කිරීමට මේ තිදරු මව පියවර ගෙන තිබුණු බව ඉන් තහවුරු විය.
තම සැමියා මෙලෙස අති බිහිසුණු ලෙස, සැලසුම් සහගත ලෙස නොඑන ගමන් යැවූ පසු කිසිවක් නොදන්නා ලෙස ඇය කටයුතු කළාය.
තම සැමියා කිසිවකු විසින් ඝාතනය කර ඇති බවට ඇය පාදුක්ක පොලිසියට ගොස් පැමිණිලි කළේ ඉන් පසුවය. දරුවන් තිදෙනකු ලැබෙන තුරත් ඔහු හා යුග දිවිය ගත කළ මේ සාහසික බිරිය කිසිදු අනුකම්පාවක්, සංවේදීබවක් නොමැතිව සියතින්ම පිහිපහර දී ඝාතනය කළේ ඒ දරුවන්ගේ උරුමකරුවාය.
මිය ගිය අයගේ මරණ පරීක්ෂණය නුගේගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකරනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකාරිය හා ඇගේ අනියම් පුරුෂයා බව කියු තරුණයා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!