Gossip

“වීදුරු ජනේලයක් පුපුරා යමක් ඇතුළට වැටෙනවා වගේ ශබ්දයක් ඇහුණා” – වෛද්‍යවරියට මරු කැඳවූ ගින්නේ පරීක්ෂණ කටයුතු වෙනත් පැත්තකට

දෙහිවල බෙල්ලන්විල ප්‍රදේශයේ වෛද්‍යවරියකට මරු කැඳවමින් වෛද්‍ය සැමියා හා දරුවා තුවාලයට පත් කරමින් පසුගියදා නිවසක ඇතිවූ අභිරහස් ගින්න සම්බන්ධ පොලිස් පරීක්ෂණ හා රස පරීක්ෂණ වාර්තාවට අදාළ කරුණු සොයා බැලීම පසුගියදා සිදුවූ අතර පහත මාලය මුළුමනින්ම අළුවී යන්නට තරම් ප්‍රබලවූ මෙම ගින්න ඇතිවූ ආකාරය පිළිබඳ කරුණු රැස්කිරීම ඒ අනුව සිදුවිය.

මූලික පොලිස් පරීක්ෂණ අනුවද තහවුරු වූයේ පහළ මාලයේ සිට ඉහළ මාලයට ගින්න පැතිරී ගිය බවය. එම ගින්න හටගැනීමට හේතුව ගෑස් කාන්දුවක් බවට සැකයක් පොලිසිය මතු කළ නමුත් රස පරීක්ෂණ වාර්තා අනුව ගෑස් සිලින්ඩර නිරුපද්‍රිතව තිබූ ආකාරය එය ගින්න හා සම්බන්ධ වූ ආකාරයක් හෙළිනොවීම නිසා එම සැකය ඉවතලන්නට පරීක්ෂණ නිලධාරීන් කටයුතු කර තිබුණි.

මෙම ගින්න සිදුවන අවස්ථාවේ තුවාල ලද වෛද්‍යවරයාගේ 63 හැවිරිදි මව පහළ මාලයේ පිහිටි ඇගේ කාමරයේ සිට ඇත. ඉහළ මාලයේ නිදන කාමරයේ ගැබිණි වෛද්‍ය ලේලියත් වෛද්‍ය පුතුත්‍ ඔවුන්ගේ දරුවාත් දහවල් නින්දේ පසුවූ බවත් තමා කාමරයේ අවදියෙන් සිටියදී එක්වරම සාලය තුළ පිහිටුවා ඇති වීදුරු ජනේලයක් පුපුරා යමක් ඇතුළට වැටෙනවා වැනි ශබ්දයක් ඇසුණ බව මව සාක්ෂි සපයා ඇත.

ඒ අනුව ඒ කුමක්දැයි බලන්නට ඇය වහාම කාමරයෙන් එලියට ආ බවත් එම අවස්ථාවේ සාලය මැද විශාල ගිනි ජාලාවක් නැගෙමින් තිබෙනු දුටු බවත් ඇය පවසා ඇත. එම ගින්න මැදින් ගමන් කරන්නට අපහසු තත්වයක් තිබුණ බවත් සාලයේ හැම අතටම දුම් දමමින් තිබූ බවත් පැවසූ ඇය ගින්න ගැන කෑ මොරදී පුතාව දැනුවත් කරන්ට උත්සාහ කළමුත් පුතා එක්වරම අවදිවී නො ආ බවත් ටික වේලාවකින් එද්දී ගින්න තවත් පැතිර තිබූ බවත් ඇය පවසා ඇත.

ඉහළ සිටි පුතා ගින්නට හසුවූ මව දැක පවසා ඇත්තේ අම්මා ඉක්මණට උඩට එන්න ලෙසිනි. නමුත් තමා වම් පසට ගමන් කර පඩිපෙළ දිගේ උඩට ඒම මගින් ගින්නට හසුවීමේ අවදානමක් දැනුණ නිසා පුතා කී දෙය එක්වරම කරන්නට බැරි බව වැටහුණෙන් අනෙක් පැත්තෙන් එළියට යන මාර්ගයක් සොයාගත් බවද ඇය පවසා ඇත.

ඉහළ මාලයේ සිරවූ වෛද්‍ය පුතු හා ලේලිය එම කාමරය තුළටත් ගින්න පැතිර තිබූ නිසා ඔවුන් කුමක් කරනවාදැයි තමන්ට සිතා ගන්නට බැරිව ගිය බවත් එලියට ආ සැණින් අසල්වැසියන්ගේ උදව් මත පොලිසියට දන්වා ගිනි නිවන ඒකක වෙත දන්වා ඔවුන් බේරාදෙන ලෙස ඉල්ලා සිටි බවත් ඇය පවසා ඇත.

මෙම තොරතුරු අනුව පොලිසිය හා ගිනි නිවන සේවා එම ස්ථානයට මිනිත්තු 20 කින් පමණ ළඟාවී තිබෙන අතර ඒ වනවිට පහළ මාලයට කිසිසේත් ගමන් කරන්නට බැරි තත්වයක් මහා ඉහළ මාලයටත් බසින්නට තැනක් නොවූ බවත් අසළ නිවාස වල බැමි දිගේ නැග එම වහළට පමණක් ගමන් කරන්නට අවස්තාව තිබූ බව ගිනි නිවන ඒකක දන්වා ඇත. ඒ අනුව ඉහළ මාලයට නැගගත් ඔවුන් වහලේ සෙවිලි ගලවා ඔවුන් බේරාගැනීමට මාර්ගයක් සොයාගෙන ඇත. ඔවුන් පරීක්ෂා කර බලන විට නිදන කාමරයට පැතිරුණ ගින්න නිසා වෛද්‍ය යුවළ හා දරුවා එයින් ඉවත්ව යාබද නානකාමරයට පැන දිවි බේරාගැනීමෙ උත්සාහයක සිටි බව වාර්තාවේ.

නමුත් උළු ඉවත් කර බලන විට අධික ලෙස විෂ වායු ආඝ්‍රණය නිසාදෝ තිදෙනාම සිහිවිකල්ව එහි වැටී සිට ඇති අතර ජලය කරාමයක් විවෘතව තැබී ඇත. ඉහළ සිට පහළට බැසගත් නිලධාරීන් ඔවුන් බේරාගෙන තිබුනේ එම අවස්ථාවේය.

රෝහලට ඇතුළත් කරන විටත් විදර්ශී ඩයස් (32) වෛද්‍යවරිය මියගොස් සිටි අතර විශේෂඥ අක්ෂි වෛද්‍ය විදුරංග ඩයස් හා පුතු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මියගිය වෛද්‍යවරියගේ දේහය ඇගේ සොයුරා වෙත භාර දෙන්නට රෝහල් බලධාරීන් කටයුතු කරන ලදි. සිද්ධිය පිළිබඳ රස පරීක්ෂක වාර්තා ඉදිරියේදී ඉදිරිපත්වීමට නියමිතය.

ගින්න ගෑස් කාන්දුවකින් නොවූ බවට පරීක්ෂණය තුළදී අනාවරණය වීමත් සාලය තුළ වීදුරු ජනේලයක් පුපුරා යමක් ඇතුළට වැටෙනවා වැනි ශබ්දයක් ඇසුණ පසු සාලය මැද විශාල ගිනි ජාලාවක් නැගෙමින් තිබෙනු දුටු බවට මෙම ගින්න සම්බන්ධයෙන් වෛද්‍යවරයාගේ මව සපයා තිබූ සාක්ෂිය පදනම් කරගෙන මෙය කඩාකප්පල් ක්‍රියාවක ප්‍රතිපලයක්ද යන්න ගැන පරීක්ෂණ සිදු කිරීමට බොරලැස්ගමුව පොලිසිය තවත් සාක්ෂි රැස්කරමින් සිටී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!