Gossip

රටම කැළඹූ මාතර සිද්ධියේ පොලිස් වෙඩි පහර කා මියගිය සැකකරුගේ අපරාධ රැසක් හෙළි වෙයි – සියලු තොරතුරු මෙන්න – වීඩියෝ

මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු සැකකරු වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නමැත්තා අද(23) පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වුණා.

ඒ ඔහු විසින් පොලීසිය වෙත අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කළ අවස්ථාවේ පොලීසිය සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන්.

මෙලෙස ජීවිතක්ෂයට පත් චාමර ඉන්ද්‍රජිත් සහ දැනට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන කොස්ගොඩ තාරක නමැත්තා පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන් ඝාතන රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි පුද්ගලයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මාතර ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකෑමට පැමිණි සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් සහ පොලිස් නිලධාරීන් අතර එම අලෙවිසල ඉදිරිපිට මහාමාර්ගයේ වෙඩිහුවමාරුවක් සිදු වූ අතර එම සිදුවීමට අදාළව ආරක්ෂිත කැමරාවල සටහන් වූ තවත් දර්ශන මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

මේ අතර මෙම කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු සැකකරු වන වේයන්ගොඩ පදිංචි තලුක්කුවේ කම්කානම්ගේ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නමැත්තා සිදුවීමෙන් පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගැනුණේ හුණුකොටුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීය.

ඔහු මාතර පොලිස් ස්ථානය වෙත රැගෙන යාමෙන් අනතුරුව, අදාළ කොල්ලකෑමට රැගෙන පැමිණි ඇඳුම් බෑගයක් පෙන්වීම සඳහා අද පෙරවරු 7.15 ට පමණ පොලිස් නිලධාරීන් ද සමඟ ගොස් තිබුණේ මාතර කිරලකැලේ ප්‍රදේශයටයි.

සඟවා තිබූ එම ඇඳුම් බෑගය ගත් සැකකරු එය පොලිස් නිලධාරීන්ට පෙන්වීමට යන අවස්ථාවේ බෑගය විවෘත කර එකවරම ඒ තුළ තිබූ අත්බෝම්බයක් ගත් ඔහු පොලිස් නිලධාරීන් වෙත එල්ල කිරීමට සූදානම් වී තිබුණි.

එහිදී වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි පහරක් අපරාධකරුට එල්ල කර තිබුණි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සැකකරු මාතර රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මෙලෙස මියගිය චාමර ඉන්ද්‍රජිත් නමැත්තා අපරාධ රැසකට අදාළව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සොයමින් සිටි අයෙකු වන අතර නඩු රැසක විත්තිකරුවකු ද වෙයි.

2016 වසරේ දෙසැම්බර් 24 වනදා වේයන්ගොඩදී පාතාල නායකයෙකු වූ උදම්මිට සමරේ නමැත්තා වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා ද වන්නේ මෙම චාමර ඉන්ද්‍රජිත් නමැත්තාය.

එමෙන්ම ඔහු මේ වසරේ අප්‍රේල් 21 වනදා අත්තනගල්ල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුරදී වෙඩි තබා අයෙකු ඝාතනය කර ගැබිණි කාන්තාවක් ද ඇතුළු සිව්දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියේ ද ප්‍රධාන සැකකරු වෙයි.

එමෙන්ම ඉකුත් මැයි 21 වනදා නිට්ටඹුවේදී 54 හැවිරිදි කාන්තාවකට වෙඩි තබා ඝාතනය කර ඇගේ පුත්‍රයාට ද වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු ද වන්නේ මොහුයි.

මේ අතර කොල්ලකෑමට පැමිණ පොලිස් වෙඩි පහරින් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වූ සෙසු සැකකරුවන් තිදෙනා තවදුරටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඒ අතර කොස්ගොඩ පදිංචි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක,ඔහුගේ සහෝදරයා වන මධුක නිර්මාල් පෙරේරා සහ දුටුවැව පදිංචි අතුල කිත්සිරි කුමාර යන අය වෙයි

මේ අතරින් කොස්ගොඩ තාරක නමැත්තා අපරාධ රැසකට පොලීසියට අවශ්‍යව සිටි පාතාල ක්‍රියාකාරිකයෙකු වන බව පොලීසිය පවසයි.

2017 වසරේ ඔක්තෝම්බර් 29 වනදා කොස්ගොඩ ලෑලිහේතුව ප්‍රදේශයේ නිවසකදී පියෙකු සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීම ,එදිනම ප්‍රදේශයේ තවත් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම හා එදිනම තවත් නිවසක පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම යන සිදුවීම්වල ප්‍රධානම සැකකරු වන්නේ ද මෙම කොස්ගොඩ තාරකයි.

මීට අමතරව අත්තිඩිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියෙකුට වෙඩිතබා ඝාතනය කර මුදල් කොල්ලකෑම මෙන්ම අලුත්ගම,තංගල්ල හා පානදුර ඇතුළු ප්‍රදේශ රැසක සිදු වු බැංකු කොල්ලකෑම්වල ප්‍රධානීයා වන්නේ ද කොස්ගොඩ තාරක නමැත්තා බවයි පොලීසිය සඳහන් කළේය.

මේ අතර කොල්ලකෑමට උපයෝගී කරගත් එක් යතුරුපැදියක් කොස්ගොඩ තාරකගේ මව වන ජානකී ප්‍රියන්ති සොයිසාගේ නමින් ලියාපදිංචි කර ඇති අතර ඇයව ද කොස්ගොඩ පොලිසීය මඟින් අත්අඩංගුවට ගැනුණි.

ඇයගේ නිවසේ තිබී මිලිමීටර 09 පතොරම් භාවිත කරන ගල්කටස් වර්ගයේ අවියක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

කොල්ලකරුවන් පැමිණි යතුරුපැදි 02 පොලිස් භාරයට ගෙන ඇති අතර එම යතුරුපැදිවල අංක තහඩු ක්ෂණිකව වෙනස් කළ හැකි බව පොලීසිය සඳහන් කළේය.

කොල්ලකරුවන් සමඟ වෙඩිහුවමාරුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා සහ සිවිල් පුද්ගලයින් දෙදෙනා තවදුරටත් මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය්.

මේ අතර කොල්ලකරුවන් සමඟ ගැටුමට මැදිහත්ව දිවි පිදූ 33 හැවිරිදි පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ දේහය මාතර ගොඩගම ප්‍රදේශයේ පිහිටි නිවස වෙත ඊයේ රාත්‍රියේ රැගෙන ආවේය.

දෙදරු පියෙකු වන ඔහු මෙම සිදුවීමෙන් පසු පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුර දක්වා උසස් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර ඊට අදාළ පදක්කම පැළඳවීම දකුණ හා සබරගමුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෆ්‍රෑන්ක්ලින් ප්‍රනාන්දු මහතා විසින් අද සිදු කරනු ලැබුවේය.

වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ද අද දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවේය.

මේ අතර දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මියගිය පොලිස් නිලධාරියාගේ දේහයට අද අවසන් ගෞරව දැක්වා තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!