Gossip

මොන තරම් කටුකද කියලා තේරෙන්නේ අද – වෙන කෙනෙක් තුළ ඒක හොයන්න යන එකයි අපි කරන ලොකුම වරද – ළඟදි විවාහ වෙන්න හදන මාධවී කියපු කතාව

කොහොමද ජීවිතේ?
ජීවිතේ කියන්නේ සංසාරෙන් පුංචිම කොටසකට. ජීවත් වෙනවා කියන්නේ ගනුදෙනුවක්. ඇයි හොදැයියක්, ඉවසීමක්, ටීම් වර්ක් එකක්. සතුට, දුක, කරදර, ලැබීම්, නොලැබීම් හැම එකක්ම උපේක්‍ෂාවෙන් දකිමින් ඉවසමින් මමත් ජීවත් වෙනවා. මම දුකට වැඩිය සතුටට බයයි. ඒ සතුට අහිමිවීමේ බිය නිසා. නමුත් හිනාවෙන හැම වෙලාවකම අඬන්නත් වෙලාවක් එන බව දැනගෙන මම හිනාවෙලා ඉන්නවා. මොකද මගේ ජීවිතේ හුඟක් කාලෙකට පස්සේ දැන් මම ආයෙත් සතුටින්. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා දෙවියන්ට.

සතුටින් ඉන්නේ ජීවිතයට මුණගැහිලා ඉන්න විශේෂ කෙනා නිසාද?
සතුට තියෙන්නේ අපි තුළ. වෙන කෙනෙක් තුළ ඒක හොයන්න යන එකයි අපි කරන ලොකුම වරද. ඒක මට කියලා දුන්නේ එහෙම විශේෂ කෙනෙක් තමයි. එයා මගේ වටිනාකම මට වටහලා දුන්නා. මටත් අහිමි වෙලා හිටපු මාව සොයා දුන්නා.

ඒ කෙනා කවුද කියලා කියන්න කැමැතිද?
මම කැමැතියි. ඒ නිසාම ලස්සනම විදියට ඒ හඳුන්වාදීම කරන්නයි මම වඩාත් කැමැති.

එතකොට ඔයාගේ ජීවිතේ වෙනසක් වෙන්න යනවා කියන්නේ ඇත්තද?
”කිසිවක් සිදුවී අවසන් වන්නේ නැත. සියල්ලක්ම සිදුවෙමින් පවතී.” කියලා අප්පච්චි කියන්නේ. ඒකත් දිග කතාවක පුංචි පරිච්ඡේදයක්. සංසාර පුරුද්දක්. මම හිතන්නේ වෙන්න යන්නේ වෙනසක් නෙවෙයි. මෙතෙක් සිද්ධ වෙච්ච හැම සිද්ධියක්ම වුණේ මාව මෙතැනට යොමු කරවන්න. මම අවුරුදු ගාණක් උස කන්දක් නැග්ගා හරිම වේදනාවෙන්, තෙහෙට්ටුවෙන්. ඒක මොන තරම් කටුකද කියලා තේරෙන්නේ අද මම බොහොම සැහැල්ලුවෙන් පල්ලමක් බහින නිසා. ආයෙ මට තනියම කඳු නඟින්න වෙන එකක් නෑ.

ජීවිතේ විශේෂම දවස උදාවෙන්නේ කවදාද?
හැම දවසක්ම මට විශේෂයි. ලෝක ධර්මයට අනුව ජීවිතේ සිද්ධි අනුපිළිවෙළින් සැකසෙයි. අපි කැමැතියි ඒ කටයුතු දින වකවානු දැන්වීම් සිරිත් අගයමින් ඉටු කරන්න. නොඉඳුල්ව, සුබම මොහොතින්.

මාධවීව රංගන කටයුතුවල දැක්කේ නෑ?
සමන් කුමාර ලියනගේ මහත්තයාගේ පාලි ටෙලි නාට්‍යයෙන් පස්සේ මට දිලුක ප්‍රසාද් සහෝදරයාගේ පෝ දින චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. ඒ නිර්මාණ බොහෝ රසිකයන් හදවතින්ම වැලඳගත්තා. අවංකවම ඉන් පස්සේ තවමත් හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණේ නෑ. මම සූදානම් ඔවුන් සූදානම් නම්.

ඔබ රංගන කටයුතුවලදි තෝරා ගැනීම් කරනවාද?
ඔව්, ඒත් බොහෝ දෙනෙක් හිතන තරම් දක්‍ෂතා හිර කරන්නේ නැහැ. සමහරු කියනවා රඟපෑම කියන්නේ රඟ නොපා සිටීමට කියලා. ඒත් අප්පච්චි කියලා දුන්නු විදියට රඟපෑම කියන්නේ හැඟීම් ඉවසීමට. මම ඒ මාත්‍රාව අල්ලා ගත්තා. ඒත් මම හිතන්නේ මගේ පෙනුම සුරංගනා වෙසකට වඩා සාමාන්‍ය ගැහැනියකගේ වගෙයි. ඒ නිසා එවැනි චරිත මට ගැළපෙයි. වෙනස් චරිතවලට පණ පොවන්න, කැපවෙන්න ආසාවෙන් ඉන්නවා. මගෙත් එක්ක වැඩ කරපු ක්‍ෂේත්‍රයේ අය දන්නවා මම කවුද කියලා. ඒ හැමෝම මට හරිම ළෙන්ගතුයි, හිතවත්. නිහතමානීකම මගේ ලේවල තියෙනවා. මම හැමෝගෙම වෘත්තියට ගරු කරනවා. ඒක සෙට් එකක ටී බෝයි සිට අධ්‍යක්‍ෂතුමා දක්වා හැමෝම දන්නවා. බොහෝ අය හිතනවා අප්පච්චි, අම්මා නිසා අපිට අවස්ථා නිකම්ම ලැබෙනවා කියලා. නමුත් ඇත්ත නම් එහෙම හිතලාම බොහෝ අය නොවිමසාම පසුබහින එකයි. මගේ අම්මාවත් අප්පච්චිවත් අපිට කවදාවත් බලපෑම් කරලා නෑ. ආරක්‍ෂිත සීමාවේ දිගේලි කරලා තිබ්බට.

අප්පච්චි ලංකාවෙන් පිටට තමන්ගේ හැකියාව අරන් ගියා. ඔයාටත් ඔයාගේ හැකියාව එළියට අරන් යන්න පුළුවන්ද?
ඔව්, පුළුවන්. ඒකට අපි මුලින් අපේකම හරිහැටි දැනගෙන ඉන්න ඕනෙ. විශ්ව ගම්මානයේ ‘පිනා’ වෙලා අනුන්ගෙන් ඉල්ලන් කන්න වෙන්නේ නැතිව ආඩම්බරෙන් ස්වයංපෝෂිත අර්ථක්‍රමයට දායක වෙන්න නම් අපි හැකියාවෙන් සන්නද්ධ වෙන්න ඕනේ. ඒත් අපේ ජීවිතවල හැම තීරණයක්ම අපි ගැන විතරක් හිතලා ගන්න බැහැ. විශේෂයෙන්ම මම නියෝජනය කරන්නේ විශේෂ පවුලක් නිසා. ඒ අයගේ සීමාවන් සලකමින්, අවශ්‍යතා වැදගත්කමේ අනුපිළිවෙළින් කැප වෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ.

රංගනය, නිවේදනය, ගායනය, තුනෙන් වැඩි බර දෙන්න කැමැති?
මම කැමැති ගායනයට. රංගනයට මගේ කැමැත්ත තීරණය වෙන්නේ ඒ චරිතය කොයි තරම් මට තේරුම් යනවාද, දැනෙනවාද, කියන එක මත. නමුත් මම වැඩියෙන් වෙලාව වෙන් කරලා තියෙන්නේ නිවේදනයට. එය දැන් මට වෘත්තියක් වෙලා. ඊට අමතරව මම කථිකාචාර්යවරියක් ලෙස ඉගැන්වීම් කටයුතු කරනවා සංචාරක කර්මාන්තය පිළිබඳව. මේ හැම දෙයක් එක්කම මගේ ආශාව පසුබැහැලා.

මල්ලිලා දෙන්නා රියැලිටිවලට ඉදිරිපත් වෙනවා. මාධවී ඉදිරිපත් නොවන්නේ ඇයි?
ඒකත් අර වෘත්තීය නිල වාරණ හේතුවෙන් මට අහිමි වුණු අවස්ථාවක්. මෙතෙක් පැවැති බොහෝ රියැලිටි වැඩසටහන්වලට මට ආරාධනා ලැබුණත්, වෘත්තීය ගැටලුවක් නිසාත්, අප්පච්චි සහ මල්ලීගේ දින ගැටලු නිසාත් සහභාගි වෙන්නට නොහැකි වුණා. මම කැමැතියි මගේ හැකියාවන් රියැලිටි වේදිකාවකට ගේන්න. බලමු.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!