Gossip

“මේ තරම් රැවටීමක්, මේ තරම් වේදනාකාරී අත්දැකීමක් මීට කලින් ආදරය හින්දා විඳලාම නැහැ. දසුන් සියදිවි නසාගත්තේ මගේ දුරස්වීමට නම් එය සිදුවිය යුත්තේ ඊට මාස දෙකකට කලින්”

ශලනි තාරකා ගැන පසුගිය කාලේ පුරාම විවිධ කතා හුවමාරු වුණා.
ඇයට දෝෂාරෝපන වගේම මඩ ප්‍රහාරත් පසුගිය කාලේ හොද හැටියට ලැබුණා.
ඒ හැමදේම විඳගෙන ආපු ශලනි පසුගියදා පැවැත්වුණු සුමති සම්මාන උළෙලේදී ජනප්‍රියම නිළිය සම්මානයත් හිමිකරගත්තා.
ඒ ගැනත් දසුන්ගේ වියෝව ගැනත් ශලනි සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

මෙවර ජනප්‍රිය නිළි කිරුළ ඔබ අපේක්ෂා කළ දෙයක්ද?
මම රඟපාන්න ඇවිල්ලා අවුරුදු 10යි. නව වතාවක් ජනප්‍රිය නිළිය ලැයිස්තුවේ අවසන් දස දෙනා අතර සිටියා.
පැමිණි මුල්ම කාලයේ නම් ජනප්‍රිය නිළි කිරුළ ගැන පුංචි උනන්දුවක් තිබුණා. දැන් නම් ජනප්‍රියත්වය පසුපස හඹා යාමේ දැඩි උනන්දුවක් මට නැහැ.

සුමති සම්මාන උළෙ‍ලේ ප්‍රතිඵල නිකුත් වෙන්නත් කලින් අන්තර්ජාලය තුළ ජනප්‍රිය කිරුළ සඳහා විශාල තරගයක් ඇති වී තිබුණා නේද?
ඒ තරගය නළු නිළියන් අතර ‍නෙවෙයි ඇති වී තිබුණේ. අපට ආදරේ කරන රසික පිරිස් අතරයි.
තමන් ප්‍රිය කරන කෙනා උඩින් ඔසවා තබන ගමන් ඒ කෙනාට අභියෝගයක් වන අයට මඩ ගසන එක තමයි එතනදී සිද්ධ වුණේ. FaceBook සමාජ ජාල හරහා අතර තමයි මේ මඩ ගැසීම දරුණු ලෙස සිදු වුණේ.

අද රටේම ජනප්‍රිය නිළිය ලෙස ඔබව ඉහළට ඔසවා තබන්න ජනතාව පෙළ ගැසුණා. හැබැයි මීට මාස කිහිපයකට පෙර යොවුන් නළු දසුන්ගේ සිය දිවි නසා ගැනීමට සම්බන්ධ චෝදනා එල්ල කරමින් ඔබට ගල් ගසන්න පෙළගැසුණු පිරිසකුත් හිටියා?

ඒ සිද්ධිය මගේ ජීවිතයට පාඩම් රැසක් ඉගැන්වූ සිදුවීමක්.
පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ කියන දේ සත්‍යය බව මම හොඳින් වටහාගත්තා.
මේ ලෝකේ මට ඇත්තටම හිතවත් අය කවුද කියලා තවත් හොඳින් තේරුම් ගත්තා. මට දොස් නගන අයගේ චෝදනා නිහඬව විඳ දරා ගත්තා.
මම වැටුණු වෙලාවේ මට ළං වෙලා මගේ දුක සැප අහලා මාත් එක්ක හිටපු අය වගේම මා වෙනුවෙන් පෙනී හිටපු අයත් මා දැක්කා.
මේ හැම දේකින්ම ජීවිතය ගැන පුදුමාකාර පන්නරයක් මම ලැබුවා. මම හිතන්නේ ආයෙමත් මාව වට්ටන්න පුළුවන් මරණයට විතරයි. වෙන කිසිම දේකින් මම වැටෙන එකක් නැහැ.

දසුන්ගේ මරණය මාධ්‍යය ආන්දෝලනාත්මක පුවතක් වෙද්දී ඔබ ගැනත් එක එක විදියේ කතා ප්‍රචාරය වෙද්දී ඇයි ඔබ නිහඬව මාධ්‍යයෙන් වසන්වී සිටියේ?
මම පවුලක් කැඩුවේ නැහැ. කාවවත් රැවට්ටුවේ නැහැ. මම කාට හරි ආදරය කළා නම් ඒ අවංකවමයි.
එතැනදී මාව රැවටීමට ලක් වුණා. මම එතැනින් මිදුණා. ඒ ඔය සිදුවීමට මාස දෙකකට කලින්. දසුන් සියදිවි නසාගත්තේ මගේ දුරස්වීමට නම් එය සිදුවිය යුත්තේ ඊට මාස දෙකකට කලින්. ඒ මරණයට හේතුව හරියටම දන්නේ දසුන් විතරයි.
මේ සිදුවීම ඒ වගේ සංකීර්ණ ප්‍රශ්න අතර තියෙන එක දෙයක්. ඔය හැමදේම කතා කරනවා නම් මට ගොඩාක් දේවල් කතා කරන්න තිබුණා. ඔය කතාවට සම්බන්ධ පාර්ශ්ව තුනෙන් එක් අයෙක් අද ජීවතුන් අතර නැහැ. තවත් පාර්ශ්වයක් නිහඬයි. ඉතින් මා විතරක් කතා කිරීමෙන් තේරුමක් නැහැ.
මගේ හෘද සාක්ෂිය දන්නවා මම නිර්දෝෂියි කියලා.

ආදරය කියන වචනය ශලනිගේ ජීවිතයට ඉදිරියේදී මොන විදිහට ළං වෙයිද?
මම ආදරය කරලා තියෙනවා. ඒ තුළින් වේදනා විඳලත් තියෙනවා. හැබැයි මේ තරම් රැවටීමක්, මේ තරම් වේදනාකාරී අත්දැකීමක් මීට කලින් ආදරය හින්දා විඳලාම නැහැ. දැන් මට ආදරය කරන්න ලොකු බයක් තියෙනවා. මම හිතන්නේ නැහැ මම ආයේ කිසිම කෙනෙක් විශ්වාස කරයි කියලා.
කවදා හරි කවුරුහරි මගේ විශ්වාසය දිනා ගත්තොත් මම විවාහ වේවි. නැතිනම් සදාකාලිකවම තනිකඩව හිඳීවි.

ආරියවංශ කුලතිලක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!