Gossip

මුඛවාඩම් පැළදීමෙන් වෛරසයක් පැතිරීම පාලනය කළ හැකි ද ?

ඕනෑ ම වෛරස් වසංගත තත්ත්වයකදී බොහෝ විට දක්නට ලැබෙන්නේ, ශල්‍ය වෙස් මුහුණු පැළඳ සිටින පුද්ගලයින්ය.
වෛරස් ආසාදනය වී වැළැක්වීම සඳහා ලොව පුරා බොහෝ රටවල් ඒවා භාවිත කරයි.
විශේෂයෙන් ම චීනය පරිසර දූෂණයෙන් බේරී සිටීමට මෙන් ම නව කොරෝනාවෛරසයෙන් බේරීමට ද මුඛවාඩම් පැළඳ සිටිනු දැකිය හැකි විය.
කෙසේ වෙතත්, වෛරස් පිළිබඳ විද්‍යාඥයින් වාතය මගින් පැතිරෙන වෛරස්වලට එරෙහිව මුඛවාඩම්වල කාර්යක්ෂමතාව පිළිබඳව සැක පළ කරති.
එහෙත්, මුඛවාඩම් මගින් අත මගින් මුඛය වෙත වෛරස් සම්ප්‍රේෂණය වීම වළක්වා ගත හැකි බවට සාක්ෂි කිහිපයක් තිබේ.
ශල්‍ය මුව ආවරණ පළමු වරට රෝහල් සදහා හදුන්වා දෙන ලද්දේ, 18 වන ශත වර්ෂයේ අග භාගයේදීය. එහෙත්, 1919 වසරේදී ඇති වූ ස්පාඤ්ඤ උණ වසංගතයෙන් මිලියන 50කට අධික පිරිසක් මිය යන තුරු ඒවා මහජන භාවිතයට පැමිණියේ නැත.
ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඩේවිඩ් කැරිංටන් පවසන්නේ, “සාමාන්‍ය ශල්‍ය මුඛවාඩම් පැළදීම වාතයේ සැරිසරන වෛරස් හෝ බැක්ටීරියාවලින් ආරක්ෂා වීමට ඵලදායී ක්‍රියාමාර්ගයක් නොවන,” බවය.
එම මුඛවාඩම් ලිහිල් වීමත් (එමගින් ලිහිල් තැන්වලින් වෛරස්වලට ගමන් කළ හැක), වායු පෙරණයක් (air filter) නොතිබීමත්, ඇස් නිරාවරණය වී තිබීමත් නිසා “බොහෝ වෛරස්” ශරීරගත වීම සිදුවන බව ඔහු පවසයි.
චීන නව වෛරසය නිසා මරණ 26ක්
කෙසේ වෙතත් චීනයෙන් මතු වූ නව කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව සිකුරාදා (ජන: 24) වන විට 26 දක්වා ඉහළ ගොස් ඇතැයි චීන බලධාරීහු පවසති.
ඊට අමතරව වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයින් ගණන 830 දෙනෙකි.
මේ වන විට මධ්‍යම චීනයේ නගර 10ක සංචාරක සීමා පනවා ඇතැයි වාර්තා වේ.
මෙම වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා චීනය සහ හොංකොං මේ වන විට ජනතාව වැඩි වශයෙන් එක්රැස් වන උත්සව සහ රැස්වීම් අවලංගු කර තිබේ.
කෙසේ වෙතත්, මෙම වෛරසය “ජාත්‍යන්තර හදිසි තත්ත්වයක්” ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
ඊට එක් හේතුවක් වී ඇත්තේ, විදෙස් රටවලින් ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් වාර්තා නොවීමය. කෙසේ වෙතත්, මේ වන විට විදෙස් රටවලින් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 13 දෙනෙකි.
මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය දා පැවසුවේ, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් රට තුළට පැමිණෙන්නේ ද යන්න පිළිබඳව දැඩි අවධානයකින් පසුවන ලෙස ගුවන් තොටුපොළ සෞඛ්‍ය ඒකකයට දැනුම් දී ඇති බවය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!