Gossip

මීරිගම රූපලාවන්‍යාගාරය තුළ මියගිය තරුණියට ඇත්තටම සිදුවුණේ කුමක්ද?

පසුගියදා රූපලාවන්‍යාගාරයක් තුළදී මියගිය සුරූපි තරුණියගේ මරණය පිළිබඳ සමාජජාල මාධ්‍යවල වගේම බොහෝ කතාබහට ලක්වුණු මාතෘකාවක් වුණා. එහිදි දිනේෂා චතුරංගනීගේ මරණය විදුලිසැර වැදීමකින් සිදුවූ බවටත් වාර්තා වුණා. නමුත් මෙම මරණයට සැබෑ හේතුව මෙතෙක් නිශ්චිතව හෙළි කර ගැනීමට තවමත් හැකියාවක් ලැබී නැහැ. කෙසේවෙතත් දිනේෂාගේ මරණය සම්බන්ධයෙන් අන්තර්ජාලයේ මෙන්ම පුවත්පත්වලද වාර්තා පළ වුණා. මේ එම වාර්තාවක්.

ඇය ගුරුවරියකි. ඇය සේවය කරනු ලබන්නේ මීරිගම ඩී.එස්. සේනානායක විද්‍යාලයේය. විවාහ මංගල උත්සවයකට සහභාගි වීමට යෑමට ඇති නිසා ඇය පාසල නිමවී ලහිලහියේ පැමිණියේ මීරිගම නගරයේ පිහිටි රූපලාවණ්‍යාගාරයකටය. තෙමහල් ගොඩනැඟිල්ලක පළමු මහලෙහි මෙම රූපලාවණ්‍යාගාරය පිහිටා තිබිණි. තෙමහල් ගොඩනැඟිල්ලෙහි පියගැටපෙළ පියනඟිමින් පැමිණි ගුරුවරිය රූපලාවණ්‍යාගාරය තුළට ඇතුළු වූවාය. රූපලාවණ්‍යාගාරය තුළ ඇස් වූ අදහාගත නොහැකි දර්ශනයකින් ඇය නැවත ආපසු හැරී තෙමහල් ගොඩනැඟිල්ලෙහි බිම් මහලෙහි පවත්වාගෙන යන වෙළෙඳසලක් වෙත දිව ගියාය. තමන් දුටු දර්ශනය එහි සේවිකාවකට පැවසුවාය.

එම පුවතින් කලබල වූ සේවිකාවද, ගුරුවරියද නැවත රූපලාවණ්‍යාගාරය තුළට දිව ගියහ. “මේ ඉන්නේ සැලොන් එකේ නංගී” සේවිකාව ගුරුවරියට පැවැසුවාය ‘‘මේ දරුවා මැරිලා“ගුරුවරිය කම්පනයට පත් වෙමින් මිමිනුවාය. ඇය සිටියේ රූපලාවණ්‍යාගාරයේ රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිත කරන හාන්සි පුටුවක උඩුබැලි අතට වැටීය. ඇයගේ හිස තිබුණේ රූපලාවණ්‍යාගාරය තුළ කොණ්ඩය සේදීමට සවි කර තිබූ ජල බේසම තුළය.

ජල බේසමෙහි සවි කර ඇති ජල කරාමයද විවෘත කර තිබූ හෙයින් ජල බේසම ජලයෙන් පිරී ඉතිරෙමින් ඉන් දොරේ ගලනා ජලයෙන් මුළු රූපලාවණ්‍යාගාරයද තෙමී ගොසිනි. ජල බේසම තුළ වූයේ විදුලි පේනුවකි. එහි කෙළවර කොටස විදුලිය හා සම්බන්ධ කර තිබිණි. මෙම ආරංචියට තෙමහල් ගොඩනැඟිල්ලෙහි සිටින තවත් බොහෝ පිරිසක් රූපලාවණ්‍යාගාරය තුළට පැමිණියහ.

මේ අතර මීරිගම පොලිසියේ දුරකතනය නාද විය. රූපලාවණ්‍යාගාරයට යාබදව ඇති සතොස වෙළෙඳසලේ සේවකයකු රූපලාවණ්‍යාගාරය තුළ සිදුව ඇති ඛේදවාචකය පොලිස් නිලධාරීන්ට විස්තර කළේය.ඉකුත් නොවැම්බර් 13 වැනි දින පස්වරු 2.45ට පමණ මෙම පණිවුඩය මීරිගම පොලිසියට ලද අතර වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම මීරිගම නගරයේ පිහිටි අදාළ රූපලාවණ්‍යාගාරය තුළට පිවිසුණෝය.

“මේ නැති වෙලා ඉන්නේ මීරිගම පොලිසියේ රාලහාමි මහත්මයෙක්ගේ දුවෙක් “අසල සිටි අයෙක් විමර්ශන කටයුතු සඳහා පැමිණි පොලිස් කණ්ඩායමට කීවේය. මෙලෙස අබිරහස් ලෙස මිය ගොස් සිටියේ දිනේෂා චතුරංගනී අමරතුංග නම් තරුණියය. මිය යන විට ඇයගේ වයස 21කි. ඇය පදිංචිව සිටියේ කිතලවලාන, මුට්ටෑවත්ත ප්‍රදේශයේය. දිනේෂාගේ පියා මීරිගම පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකු ලෙස රාජකාරි කටයුතු සිදු කරයි.

දිනේෂාට තව බාල සහෝදරයකු සිටී. උසස් අධ්‍යාපනයෙන් පසු දිනේෂාට අවශ්‍ය වූයේ රූපලාවණ්‍යාගාරයක හිමිකාරියක් වීමටය. කුඩා කල සිට ඇයගේ ජීවිතයේ වැඩි ඉඩක් වෙන් වූයේ රූපලාවණ්‍ය කටයුතු සඳහාය. තම සිහිනය සැබෑ කර ගැනීමට ඇය උසස් පෙළින් පසු රූපලාවණ්‍ය පාඨමාලාවක්ද හැදෑරීමට කටයුතු කළාය.

රූපලාවණ්‍ය පාඨමාලාව හදාරන අතරමඟ ඇය මීරිගම නගරයේ පිහිටි මෙකී රූපලාවණ්‍යාගාරයට සම්බන්ධ වූවාය. ඒ මීට මාස හයකට පමණ ඉහතදීය. ඉන් ඇයට සරිලන වැටුපක්ද හිමි වූ අතර රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය වූයේද අවිවාහක තැනැත්තියකි. මීට මාස කිහිපයකට පෙර ඇයට රජයෙන් පත්වීමක් ලැබිණි. ඒ පාසල් සංවර්ධන නිලධාරිනි තනතුරය. එම පත්වීමත් සමඟ රූපලාවණ්‍යාගාර හිමිකාරිනිය සතියේ දිනවල රූපලාවණ්‍යාගාරයට පැමිණෙන්නේ පාසල නිම වීමෙන් අනතුරුවය. ඒ වන තෙක් සියලුම කටයුතු බලාකියා ගන්නේ දිනේෂා චතුරංගනීය.

ඉකුත් 13 වැනි දිනද සුපුරුදු පරිදි බත් මුළකුත් බැඳගෙන ඈ සිය රැකියාව සඳහා ගෙදරින් පිටත්වූ බව දිනේෂාගේ මව පොලිසියට පවසා තිබිණි. එදින දිනේෂාගේ පියාද පොලිස් රාජකාරියට ගියේ නැත. ඔහු අනුමත නිවාඩු ලැබ නිවෙසට වී සිටියේය. අපේ දරුවට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඇය ඉතාම සාමාන්‍ය විදියට තමයි හිටියෙ. හරි සතුටින් තමයි රස්සාවට යන්නේ.’ ඒ ඇයගේ මවුපියන් පොලිසියට කී කතාවය.

මරණය ආරංචි වූ විගස දිනේෂාගේ මවුපියෝ රූපලාවණ්‍යාගාරයට පිටත් වූහ. “දිනේෂා මිය යන විට රූපලාවණ්‍යාගාරය තුළ කවුරුන්ද සිටියේ?” පොලිස් කණ්ඩායම්වල අවධානය යොමු විය.
රූපලාවණ්‍යාගාර හිමිකාරියද ආගිය අතක් නොමැති බව මුලදී පැවසුවද පසුව දුරකතනය හරහා පොලිස් නිලධාරීහු ඇයව සම්බන්ධ කර ගත්හ.

තමා භාර ගත් විවාහ මංගල්‍යයක ඇඳුම් ආයිත්තම් සකස් කිරීම සඳහා අවශ්‍ය කරන බඩුබාහිර ආදිය ගැනීමට ඇය නුවරට පැමිණ ඇති බවත් රාත්‍රිය එළැඹීමට ප්‍රථමව නැවත රූපලාවණ්‍යාගාරයට පැමිණෙන බවත් ඇය පොලිස් නිලධාරීන්ට කීවාය. එදින සන්ධ්‍යා භාගය වන විට රූපලාවණ්‍යාගාර හිමිකාරිනියද පැමිණියාය. ඒ වන විටත් මෙම අබිරහස් මරණය පරීක්ෂා කිරීම සඳහා පොලිස් අපරාධ ස්ථාන නිලධාරීන් ඇඟිලි සලකුණු නිලධාරීන් රූපලාවණ්‍යාගාරය තුළට පැමිණ තිබිණි. ඒ අතර මරණය සම්බන්ධයෙන් වූ මහෙස්ත්‍රාත් පරීක්ෂණයද සිදු කෙරිණි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දිනේෂාගේ නිසල දේහය සුදු රෙද්දකින් ඔතා වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන යෑම සඳහා රූපලාවණ්‍යාගාරය තුළින් පිටතට ගනු ලැබුවේ ඇයගේ මවුපියන්, ඥාතීන් සහ මීරිගම වෙළෙඳ ප්‍රජාවද හඬවමිනි. දිනේෂාගේ මරණය සිදුවූ දින මධ්‍යාහ්න 12.00ට පමණ රූපලාවණ්‍යාගාර හිමිකාරියගේ මව රූපලාවණ්‍යාගාරය තුළට පැමිණ තිබිණි. ඇය මීරිගම නගරයට ඇයගේ අවශ්‍යතාවකට පැමිණි මොහොතක එලෙස රූපලාවණ්‍යාගාරයටද ගොඩවී ගොස් තිබුණාය.

ඒ මොහොත වනවිටත් දිනේෂා චතුරංගනී සුපුරුදු පරිදි රූපලාවණ්‍යාගාරය තුළ සිටි බවද තමා සමඟ ඉතා කුලුපඟව වෙනදා සේ කතාබහ කළ බවද රූපලාවණ්‍යාගාර හිමිකාරියගේ මව පොලිසිය වෙත දන්වා තිබුණාය. ඉන් ඉක්බිති දිනේෂාව දැක තිබුණේ පාසල් ගුරුවරිය ය. පාසල් ගුරුවරිය ඇයව දකින විට ඇය මෙලොවින් සමුගෙන ගොස් සිටියාය. එම ගුරුවරිය රූපලාවණ්‍යාගාරය තුළට රූපලාවණ්‍ය කටයුත්තක් සිදුකර ගැනීම සඳහා පැමිණ තිබුණේ පස්වරු 2.45ට ආසන්න වේලාවක් තුළය. මෙම කාලසීමාවන් අනුව පොලිසිය නිගමනය කරනුයේ දිනේෂා චතුරංගනීට කරදරයක් සිදු වන්නට ඇත්තේ මධ්‍යහ්න 12.00ත් පස්වරු 2.45ත් අතර කාලය තුළ බවය.

එහෙත් ඇයගේ මරණය ඇසින් දුටුවකු නොමැත.රූපලාවණ්‍යාගාර හිමිකාරිය විසින් දිනේෂාටද රූපලාවණ්‍යාගාරයේ යතුරු කැරැල්ලක් දී ඇත. ඒ අනුව සුපුරුදු පරිදි එදිනද දිනේෂා විසින් පෙරවරු 9.00ට පමණ රූපලාවණ්‍යාගාරය විවෘත කරනු ලැබ තිබිණි. එදින දිනේෂා රූපලාවණ්‍ය කටයුතු සඳහා පැමිණි තැනැත්තියන් කී දෙනකුට සිය සේවය ඉටු කර ඇතිද යන්න සොයා ගැනීම පොලිස් කණ්ඩායමේ ඊළඟ කාර්යය විය.

නමුත් පොලිස් විමර්ශකයන් හට එම කරුණ සොයා ගැනීමට නොහැකි වූයේ රූපලාවණ්‍යාගාරයේ ගනුදෙනු සටහන් කිරීමට ඇති පොතෙහි පිටු දින දෙක තුනක පමණ සිට අවසන් වී තිබූ නිසාය. ඒ අනුව දිනේෂා දින දෙක තුනක පමණ සිට ගනුදෙනු සටහන් කර නොමැත. පොලිස් පරීක්ෂණවල සහාය සඳහා අදාළ රූපලාවණ්‍යාගාරයද අධිකරණ නියෝග මත මුද්‍රා තැබීය. පොලිසියේ ඊළඟ අවධානය යොමු වූයේ දිනේෂාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ගැනය. එම මරණ පරීක්ෂණයද ඉකුත් 14 වැනි දින පස්වරුවේ සිට රාත්‍රිය දක්වා රාගම රෝහලේදී පවත්වනු ලැබීය.

අනතුරුව සිදු කළ එම පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව ලබාදුන්නේ විවෘත තීන්දුවක් ලෙසටය. එනම් අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් මරණයට හේතු වූ කරුණු නිශ්චිතව නොදැක්වූ අතර දිනේෂාගේ ඇතැම් ශරීර කොටස් ඉදිරි විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකට යොමු කළේය. මරණයට අදාළ ප්‍රකාශද පොලිස් කණ්ඩායම විසින් සටහන් කරගත් අතර දිනේෂාගේ මව, පියා, අසල්වාසීන්, මිතුරන් ප්‍රකාශ ලබා දෙමින් පවසා සිටියේද ඇයට සිත්තැවුල් වීමට කිසිදු ප්‍රශ්නයක් නොතිබූ බවය.

එසේම දිනේෂාගේ ෆේස්බුක් ගිණුම ගැනද වැඩි අවධානය යොමු කළ පොලිස් නිලධාරීන්ට දැක ගත හැකි වූයේ දිනේෂා තනිවම රූපලාවණ්‍යාගාරයේ සිටින විට ඇය විසින්ම විවිධ රූපලාවණ්‍ය නිර්මාණ කරගෙන එම ඡායාරූප මුහුණු පොතෙහි පළ කර ඇති බවය. ඒ අනුව ඉකුත් 13 වැනි දිනද ඇය විසින් කොණ්ඩය සෝදා ගැනීමක් සිදු කළාද? යන ප්‍රශ්නය පොලිස් කණ්ඩායම හමුවේ ඉතිරි විය. එසේ නම් ජල බේසමට වැටුණු විදුලි පේනුව හරහා ඇයට විදුලි සැර වැදුණාද? යන ප්‍රශ්නයද පොලිස් විමර්ශකයන්ගේ අබිමුව වේ.

නමුත් මේ සියල්ල තවමත් හුදු ප්‍රශ්නාර්ථ පමණි.

මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් කිසිදු සාර්ථක තොරතුරක් හෝ විද්‍යාත්මක සාක්ෂියක් හෙළි කර ගැනීමට නොහැකි වී තිබේ. දිනේෂා චතුරංගනී සැවොම හඬවමින් ඉකුත් 16 වැනි දින අවසන් ගමන් ගියාය.

තවමත් පොලිස් රාජකාරි හමාර නැත. ඉදිරියේදී දිනේෂාගේ මරණයේ අබිරහස විසඳෙනු ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!