Gossip

“මම සිවුරක් ඇඳගෙන හිටපු කතාව ඇත්ත. හැබැයි මගේ පාඩුවේ තමයි මම හිටියේ” – දවස් 14 ක් කූඩුවේ ඉඳලා එළියට ආපු දමිත් අසංක පළමුවරට සියල්ල හෙළි කරයි

ගායන ශිල්පී දමිත් අංසක බන්ධනාගාර ගත කරලා කියන පුවතට තටු ලැබිලා එය රටේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගියේ මීට මාස දෙක තුනකට පෙරයි.
රටම කැළඹූ මේ සිදුවීම ගැන විවිධ අය විවිධාකාරයේ මත පළ කළා.
ඒ සමහර ආරංචිවලින් කියැවුණේ දමිත් දැන් මානසික ව්‍යාකූලතාවකින් පෙළෙන බවයි.
ඊට බල පෑ හේතු විදිහටත් විවිධ හේතු ජනතාව අතරේ පැතිර ගියා. බන්ධනාගාරයෙන් නිදහස් වූ දමිත් මේ හැම ප්‍රතිචාරයකටම මුහුණ දෙමින් මෙතෙක් කලක් නිහඬව සිටියා.
තමන් මුහුණ දුන් අමිහිරි සිදුවීම් පෙළ ගැන ඇත්තම කතාව සතිඅන්ත පුවත්පතකට දමිත් අසංක මේ විදිහට හෙළි කරලා තිබුණා.

මුළු රටේම කතා බහට ලක් වූ සිදුවීමකට පස්සේ රක්ෂිත බන්ධනාගාර ගත වෙලා හිටපු දමිත් අසංක නිදහස් වෙලා එළියට ආපු බව පසුගිය දවස්වල මාධ්‍ය හරහා ප්‍රචාරය වුණා. මේ දවස්වල ඔබ කොහේද ඉන්නේ?
ඔය කියන දවසේ මට ඇප දෙන්න ආවේ මගේ මාමා කෙනෙක්.
බන්ධනාගාරයෙන් පිට වෙලා ඒ මාමාගේ ගෙදර ගිහින් විනාඩි 10ක් විතර එහේ ඉඳලා මම ආපහු ඇතිලිවැව ගමේ තියෙන මගේ ගෙදරට ගියා.

ඔබව බන්ධනාගාරගත කළේ ඇයි කියන කාරණය අදටත් බොහෝ දෙනා හරියටම දන්නේ නැහැ. අපි කැමතියි ඔබගෙන්ම ඒ ගැන ඇත්ත දැන ගන්න…?
ඒ ගැන අදටත් විවිධ අය විවිධාකාර කතා කියනවා. ඒ හුඟක් ඒවා බොරු කතා.
මට කියන්න තියෙන්නේ මගේ පාඩුවේ හිටපු මාව නොකළ වරදකට හිරේ දැම්මා කියන එක විතරයි.

දමිත් අසංක බන්ධනාගාර ගත වෙන්නේ සිවුරකුත් ඇඳගෙන ගමේ අයට හිරිහැර වෙන විදිහට හැසිරෙමින් සිටි නිසාය කියන කතාව ඇත්තක්ද?
මම සිවුරක් ඇඳගෙන හිටපු කතාව ඇත්ත. හැබැයි මගේ පාඩුවේ තමයි මම හිටියේ.
ඒ වෙද්දී මම එක්තරා ආධ්‍යාත්මික මාර්ගයක යමින් හිටියා. එහෙම ඉද්දී තමයි මගේ ඥාති වෙන පිරිසකුත් එක්ක 10-15විතර හිටිහැටියේ කඩා වැදිලා මාව ‍පොලීසියට අරගෙන ගියේ.
එහෙම අරගෙන ගිහින් සිවුරක් හොරකම් කළා කියලා බොරු චෝදනාවක් දාල මාව හොරක් බවටත් පත් කළා. අන්තිමේදී මට දවස් 14ක් හිරේ ඉන්න සිද්ධ වුණා.

ඇයි ළඟම ඥාතීන් පවා ඔබේ ගමනට එරෙහි වුණේ?
මම යන ගමන වැරදියි කියලයි ඒ අය කිව්වේ. ඇත්තටම මගේ රසිකයන්ට වගේම මගේ ඥාතීන්ටත් ඕනෑ වුණේ මම හැමදාම ගීත ගායනා කරමින් ඉන්නවා දකින්නයි.

හැබැයි තනිවම සිවුරක් ඇඳගෙන පැවිද්දෙක් වගේ හැසිරෙන එකම වැරදියි නේද?
බුදුරජාණන් වහන්සේත් දේශනා කරලා තියෙනවා අත්තාහි අත්තනෝ නාථො කියලා. කෙනෙකුට පැවිදි වෙන්න ඕනෑ නම් අවුරුද්දක් විතර පන්සලක නැවතිලා ඉඳලා තවත් හාමුදුරු කෙනෙක් යටතේ ඒ දේ කරන්න ඕනෑ කියන කතාව මම පිළිගන්නේ නැහැ.
සිවුරක් දරාගත්තාම කෙනෙකුගේ හිතට එන සිතුවිලි හුඟක් වෙනස්.
මට මානසික ආබාධයක් තියෙනවා කියලා ඒ වෙලාවේ පෙනුණා නම් කරන්න තිබුණේ මාව මානසික වෛද්‍යවරයෙක් ළඟට යොමු කරලා ප්‍රතිකාර ලබා දෙන එකයි.
හැබැයි මෙතනදී සිද්ධ වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

ඒ වෙද්දී දමිත් ජීවිතය ගැන කලකිරිලාද හිටියේ?
මට දැන් අවුරුදු 33යි. එහෙම කලකිරෙනවා නම් කලකිරෙන්න ඕනෑ තරම් දේවල් මගේ ජීවිතයේ සිද්ධ වෙලා තියෙනවා.
මට පුංචි කා‍ලේ ඉඳන් හොඳට දුක් ගැහැට විඳලා පුරුදුයි. මගේ අයියා කෙනෙක් මැරුණා. සීයා මැරුණා. දැන් සමාජය දිහා බලද්දී දකින දේවල් වලිනුත් කලකිරීමක් තමයි දැනෙන්නේ.

මම බුදු වෙලා කියලා දමිත් කිව්වා කියලත් සමහරු කියනවා. ඇත්තද ඒ කතාව?
මිනිස්සු මා ගැන විවිධ කතා හදනවා. බුදු වෙන්න නම් සාරාසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්න ඕනෑ. මම සිවුර ඇඳගෙන හිටියේ දවස් 1 1/2යි. හැබැයි බුදු කෙනෙකුට විඳින්න වෙන විදිහේ හැම කරදරයකටම මටත් ජීවිතයේ මුහුණ දෙන්න සිද්ධ වුණා.
අන්තිමේදී බොරු චෝදනාවකට දවස් 14ක් හිරේ ලගින්නත් සිද්ධ වුණා. මට තේරුම් ගන්න බෑ මේ මිනිස්සු මේ වගේ දෙයක් මට කළේ ඇයි කියලා.

ඔබ ගැන පැතිරුණු තවත් ආරංචියක් තමයි, රහත් යැයි කියාගන්නා ස්වාමින් වහන්සේ නමකගෙන් බණ අහලා මනස විකෘති වූ නිසයි ඔබ මේ විදිහට හැසිරුණේ කියන එක. ඔබට ඒකට පිළිතුරක් දෙන්න පුළුවන්ද?
ඒක බොරුවක්. මමත් හොඳට බණ අහපු කෙනෙක් තමයි. සමන්තභද්‍ර හාමුදුරුවෝ වේවා, ඥානානන්ද හාමුදුරුවෝ හෝ වේවා, වෙනත් ඕනෑම ස්වාමින් වහන්සේ නමක් හෝ වේවා හිත පහදවාගන්න බණ කියනවා නම් ඊට ඇහුම් කන් දෙන එකයි වැදගත්.
අනික ඔය දේවල් කියන අය කොහොමද තවත් කෙනෙක් රහත් වෙලාද නැද්ද කියලා හොයාගන්නේ?

බන්ධනාගාර ගත කරන්න තරම් වරදක් ඔබේ අතින් සිද්ධ වුණේ නෑ කියලද ඔබ කියන්නේ?
ඔව්. සිවුරක් හොරකම් කළා කියන චෝදනාව නිසා මට ලොකුම අසාධාරණයක් තමයි සිද්ධ වුණේ.
හොරකම් කළාය කියන සිවුර මම මගේ ගීත නිර්මාණයක් සඳහා මාස 1 1/2කට විතර කලින් පන්ස‍ලේ ලොකු හාමුදුරුවන්ගෙන් ඉල්ලා ගත්තු එකක්.

ඔබට දැන් ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
සමහරු මගෙන් අහන්නේ දැන් ඔයාට සනීපද කියලයි. ඔය කියන විදිහේ මානසික රෝගයක් මට නැහැ.
මා ගැන මුළු රටම දන්නවා. මිනිස්සු දන්නවා පසුගිය අවුරුදු 14පුරා දමිත් අසංක මොනවාද කළේ කියලා. ප්‍රසිද්ධ නැති කෙනෙකුට නම් මේක ඒ තරම් ප්‍රශ්නයක් ‍නෙවෙයි.
හැබැයි මට එහෙම ‍නෙවෙයි. මට දැන් මිනිස්සුන්ට මුහුණ දෙන්නත් අමාරුයි. සමහරු කෝටි ගණන් මට පාඩු කරද්දිත් මම නිහඬව හිටපු කෙනෙක්. ඇත්තටම මම මෙහෙම වෙන්න ඕන කෙනෙක්ද කියලයි මම අහන්නේ.

සමහරු කියන විදිහට ඔබව මේ තත්ත්වයට පත් කළේ මත්ද්‍රව්‍යවලට ඔබ ඇබ්බැහි වී සිටීම ‍නෙවෙයිද?
ගංජා වලට ඔළුව නරක් වෙනවා නම් මට එහෙම වෙන්න තිබුණේ පුංචි කාලෙදිමයි.
මොකද අපේ ගමේ ඒ කාලෙත් ගංජා තිබුණා. හැබැයි එහෙම වුණා කියලා ගමේදි කවදාවත් මම ඒවා පාවිච්චි කළේ නෑ. ඒවාට මම මුලින්ම පුරුදු වුණේ මීට අවුරුදු 5කට විතර කලින්.
ඒ ජා ඇල ඉන්න මගේ යාළුවෙකුගෙන්. හැබැයි ඒවා හන්දා මට පිස්සු හැදුණා කියන කතාව මම පිළිගන්නේ නැහැ.

මේ සිදුවීමෙන් පස්සේ ඔබේ ජීවන තොරතුරු එළියට එද්දී, ඔබ කලක් ජනප්‍රිය නිළියක් සමග පැවැත්වු සබඳතාවක් නිසා ඔබේ ජීවිතය වෙනස් වුණා කියලත් කියැවුණා?
මගේ පවුල් ජීවිතයේ විවිධාකාර ප්‍රශ්න තිබුණා තමයි. ඒත් දැන් මම මගේ බිරිඳත්, දරුවෝ දෙන්නාත් එක්ක ඉන්නවා. ජීවිතයේ විවිධ කාලවලදී විවිධ සම්බන්ධතා ඇති වුණා. නැති වුණා. ඒත් කිසිම නිළියක් හෝ ගායිකාවක් එක්ක නම් මගේ සම්බන්ධතාවක් තිබුණේ නැහැ.

බන්ධනාගාරයේදී ඔබ මුහුණ දුන්නේ මොන වගේ අත්දැකීම්වලටද?
හිරගෙදරදී මුණගැහිලා මට හොඳට සලකපු අය හිටියා. ඒ වගේම හිරගෙදරදී මට මාරම දුකක් විඳින්නත් සිද්ධ වුණා.
මම දන්නවා මම හිරේ ගියපු බව අහලා සමහරු අඬපු බව. ඒ වගේම මටත් හිර ගෙදරදී ඇඬුණු අවස්ථා තිබුණා. ඒක දැකලා සමහරු කිව්වා උඹ හරියට පුංචි ළමයෙක් වගේනේ අඬන්නේ කියලා.

මේ කලබගෑනිවලින් පස්සේ දමිත් වේදිකාවට ගොඩ වුණේ නැද්ද?
මට ආරංචි වුණා මම ආයෙමත් ප්‍රසංග වේදිකාවට නගිනවා කියලා මගේ නම දාලා සමහරු ප්‍රසංග වෙනුවෙන් ‍පෝස්ටර් පවා ගහලා තියෙන බව.
ඒවා බොරු ප්‍රචාර. හිතේ හරි නිදහසක් නැති නිසා තවම මට ප්‍රසංග වේදිකාවට නගින්න බැරි වුණා.

ඔබේ ඉදිරි ගමන ගැන ඔබේ රසික රසිකාවියන්ට බලා‍පොරොත්තුවක් තබාගන්න පුළුවන් වේවිද?
මේ ඇති වූ සිදුවීම ගැන ලබන 11වැනිදා නඩු විභාගයක් තියෙනවා. ඒකටත් මුහුණ දීලා තමයි මගේ රසිකයන් වෙනුවෙන් මට ඉදිරියේදී මොනවාද කරන්න පුළුවන් කියලා තීරණය කරන්නේ. ඒ කා‍ලේ ඉස්කෝලෙන් ඉවත් වුණාට පස්සේ මම ගොවිතැන් කළා.
අයියාගේ ත්‍රීවීල් එකකුත් එළෙව්වා.
මොකක්දෝ වාසනාවකට ගායන හැකියාවක් තිබිලා යාළුවන්ගේ බලකිරීමට වගේ තමයි මම මේ ගමන පටන් ගත්තේ. ඉදිරි කාලයේදී මාව සංගීත වැඩ වලට සම්බන්ධ කර ගන්නවා නම් මගේ ගෞරවය රැකෙන විදිහට ඒවා කරන්න හැමෝම දැන ගන්න ඕනෑ. එහෙම නොවෙනවා කියලා හිතෙනවා නම් මම ආයෙමත් ගොවිතැන් කරලා හරි ජීවත් වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!