Gossip

“ඉස්සර මම හිතුවා සංස්කෘතියට නොගැලපෙන දේවල් කරලා හිට් වෙන්න පුළුවන් කියලා.. දැන් මට හිතෙනවා ඒක කොච්චර පහත් වැඩක්ද කියලා”

පියුමි ශ්‍රී නායක කියන නම පසුගිය දවස්වල ලොකු කතාබහක් ඇති කළා.

ඒකට හේතුව තමයි ඇය රඟපෑ අඩ නිරුවත් මියුසික් වීඩියෝ නිසා.

නමුත් දැන් ඇය ඒ සියලු දෙයින් ඈත් වෙලා වෙනත්ම පාරක ගමන් කරනවා කියලා ඇය කියනවා.
කළින් කරපු දේවල් ගැලපෙන්නේ නෑ කියලා දැන් ඇයට හිතෙනවලු.
ඒ ගැන ඇය මේ විදිහට සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

මියුසික් වීඩියෝවල සරාගී ලෙස දැකපු පියුමි දැන් පුංචි තිරයේ වෙනස් වෙනස් විදියට දකින්න ලැබෙනවා.?
ඔව්. මම දැන් රාවණා ටෙලි නාට්‍යයේ ‘ජම්බාලා’ගේ චරිතයට රංගන දායකත්වය ලබාදෙනවා.. ඒ චරිතය හාත්පසින්ම වෙනස් චරිතයක්.
රාවණා නිසා පියුමිට හුරුපුරුදු සීමාවෙන් එළියට පනින්නත් පුළුවන් වුණා නේද?
තුෂාර තෙන්නකෝන් මහත්මයා මාව රාවණා ටෙලි නාට්‍යයට සම්බන්ධ කරගත්තා. කුවේරගේ බිසව විදියට තමයි මම රඟපාන්නේ. මාව ගොඩක් දැකලා තිබ්බේ වෙස්ටන් චරිතවලින්. මට මේ චරිතයෙන් වෙනස් වෙන්න ලැබුණා.
මට ඉසුරු ලොකුහෙට්ටි එක්ක තමයි රඟපාන්න ලැබුණේ. ඉසුරු අයියාගෙන් මට ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුණා.

මියුසික් වීඩියෝවලට වඩා පියුමිට පුංචි තිරයේ වෙනසක් කරන්න පුළුවන් වුණා කියලා හිතනවද?
මියුසික් වීඩියෝවලට වඩා ටෙලි නාට්‍ය කරද්දි හැදෑරීමක් ඇතිව ඒ දේවල් කරන්න ඕන.
ගොඩක් අමාරුයි මේ දේ. නමුත් අභියෝග භාරගෙන වෙනස් වෙනස් චරිතවලින් පුංචි තිරයේ පේන්න ඉන්න මම උත්සාහ කරනවා. මට තවත් ඉගෙනගන්න බොහෝ දේවල් තියෙනවා.

පුංචි තිරයේ ලැබෙන ඕනම චරිතයක අභියෝගයක් පියුමි භාර ගන්නවද?
මම මට කරන්න පුළුවන්ද බලලා හොඳ දෙයක් නම් මම සම්බන්ධ වෙනවා. කොහොමත් මම එක රාමුවකට කොටු වෙන්න කැමැති නැහැ.
අසාර්ථක නොවී කරන්න පුළුවන් නම් මට ලැබෙන දේ ගොඩදාන්න මට පුළුවන් නම් මම ඒකට අනිවාර්යයෙන් සම්බන්ධ වෙනවා.

දැන් පියුමිගේ ජීවිතේ වාරණ තියෙනවද?
මියුසික් වීඩියෝ කරද්දී ඒ ලැබිච්ච ප්‍රතිචාර හොඳ දේවල් නෙවෙයි. සංස්කෘතියට ගැළපෙන්නේ නැති නිර්මාණවලින් තමයි මාව දකින්න ලැබුණේ.
මම හිතුවේ ඒක තමයි ට්‍රෙන්ඩ් එක කියලා. ඒවායෙන් හිට් වෙන්න පුළුවන් කියලා තමයි මම ඉස්සර හිතුවේ.
දැන් මට හිතෙනවා ඒක කොච්චර පහත් වැඩක්ද කියලා. සංස්කෘතියට පටහැනි දේවල් කරද්දී ප්‍රේක්ෂකයෝ අපිව භාරගන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ සංස්කෘතියට ගැළපෙන ප්‍රේක්ෂකයෝ භාරගන්න දේවල් කරන්න දැන් මම කැමැතියි.

ඒ කියන්නේ පියුමි විවේචනවලට බය වුණා?
ඇත්තටම මම විවේචනවලට බය වුණා. මට සමහර අධ්‍යක්ෂවරු ටෙලි නාට්‍යවලට කතා කළාම චැනල් හෙඩ්ලා මාව නාට්‍යවලට ගන්න එපා කියලා රිජෙක්ට් කරලා තිබ්බා. මගේ දක්ෂතාව දැකපු අධ්‍යක්ෂවරු මට අවස්ථා දුන්නා. ඒ අයට මම පොරොන්දු වුණා ඒ වගේ වැරැදි ආයෙත් කරන්නේ නෑ කියලා.

පියුමිට ඒ අහිමි වුණු දේවල් ගැන අද මොකද හිතෙන්නේ?
මට හොඳ චරිතවලට ආරාධනා ලැබිලා ඒවා මිස් වුණා. අපේ ජීවිතවල හැම දේම ලැබෙන්නෙ නෑනේ.
අද මම ඒ නොලැබුණු දේවල් ගැන අසතුටු වෙන්නේ නෑ. දෙයක් අහිමි වෙන්නේ තවත් හොඳ දෙයක් ලැබෙන්නනේ කියලා මම හිත හදාගෙන වැඩ කරනවා.

දැන් එතකොට පියුමි හරි පාරට වැටිලා?
ඔව්. මම දැන් තමයි හරි ට්‍රැක් එකට වැටිලා තියෙන්නේ. හැබැයි එහෙන් මෙහෙන් මම මෝඩ වැඩක් කරන්න යද්දි මට කවුරු හෝ හරි දේ කියලා දෙනවා.
මම මියුසික් වීඩියෝ කරන කාලේ ප්‍රවීණයන් ආශ්‍රය කරලා තිබ්බේ නෑ. හරි දේ කියලා දෙන්න කවුරුත් හිටියේ නැති නිසා තනි මතයට වැඩ කළා.
ඒත් දැන් ප්‍රවීණයන් හැම දේම මට කියලා දෙනවා. නිළියක් වුණාම අපි කරන පුංචි දෙයකින් හරි මිනිස්සු අපි විනිශ්චය කරනවා.
ඒ නිසා දැන් හැම දේම ගැන හිතලා වැඩ කරන්නේ.

මියුසික් වීඩියෝවල පියුමිගේ රංගනය දැකලා බැන බැන හිටපු ප්‍රේක්ෂකයෝ දැන් පියුමිගේ රංගනයන් දැකලා මොන වගේ ප්‍රතිචාරද ලබා දෙන්නේ?
මගේ වාසනාවට මම මේ දවස්වල සම්බන්ධ වෙන නාට්‍ය තුනම ජනප්‍රියම නාට්‍ය. ඒ නාට්‍ය තුනම ප්‍රේක්ෂකයෝ බලනවා. ඒ නාට්‍ය තුනේම චරිතවලට මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

සමහර අය කියනවා හැඳුනුම්කම්වලින් සහ විවිධ ක්‍රමවලින් ක්ෂේත්‍රයේ අවස්ථා ලබා ගන්න පුළුවන් කියලා. පියුමිටත් එහෙම දැනිලා තියෙනවද?
නරකට ගොඩක් කල් යන්න බෑ. ෆොටෝ ෂූට් එකක් කරලා ඇක්ට්‍රස් කෙනෙක්, මොඩ්ල් කෙනෙක් කියලා කියාගන්න අය මේ ක්ෂේත්‍රයේ ඉන්නවා.
එයාලා ප්‍රසිද්ධයි. හැබැයි ජනප්‍රිය නෑ. අවස්ථා ගත්තත් ඒ අයට පැවැත්මක් නෑ. ඒ වගේ ප්‍රසිද්ධ අයට කියන කතන්දර අපිට ඇහිලා තියෙනවා. මේ ක්ෂේත්‍රයේ පවතින්න නම් දක්ෂතාවක්, හොඳ හැදෑරීමක්, හැදියාවක්, නිහතමානීකමක්, එකිනෙකාට ගරු කිරීම කියන දේවල් තියෙන්න ඕන.

පියුමි හැදෑරීමක් කරලද රංගනයට ආවේ?
මම තාම නාට්‍ය හතරක රඟපාලා තියෙන්නේ. අපිට තව ඉගෙනගන්න බොහෝ දේවල් තියෙනවා.
මම තාමත් අතුල අයියගෙන් වොයිස් ට්‍රේනින් කරනවා. මම ක්ෂේත්‍රයේ අයගෙනුත් බොහෝ දේවල් ඉගෙන ගන්නවා.

ඉස්සරහට එද්දි සමහරුන්ට කැපිලි කෙටිලි එනවලු. පියුමිට ඒ වගේ කැපිලි කෙටිලි ඇවිත් තියෙනවද?
මට නම් මේ වෙනකල් කාගෙන්වත් කැපිලි කෙටිලි ඇවිත් නෑ. මොකද මම මේ වෙනකල් ආශ්‍රය කරපු අය හරිම හොඳයි.

පියුමිට සිනමාවේ අවස්ථා ලැබුණේ නැද්ද?
මට චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. හැබැයි ඒ චිත්‍රපටයේ වැඩකටයුතු නොවැළැක්විය හැකි හේතුවක් නිසා දැනට නතර කරලා තියෙන්නේ.

පියුමි වැඩිපුරම කැමැති පුංචි තිරයේ වැඩවලටද?
ඔව්. මම ටෙලි ඩ්‍රාමාවලට ගොඩක් කැමැතියි. චිත්‍රපටයකට වඩා ටෙලි නාට්‍යවලින් ප්‍රේක්ෂකයන් අතරට යන්න තියෙන ඉඩකඩ වැඩියි.
නමුත් මම සිනමා නිර්මාණ නොකරනවා නෙවෙයි. හොඳ සිනමා නිර්මාණයක් වෙනුවෙන් ආරාධනා ලැබුණොත් සම්බන්ධ වෙනවා.

පියුමි අනෙක් අයගේ උපදෙස් පිට යන රංගන ගමනේදී ජනප්‍රිය සම්මානයටත් ඇහැගහගෙනද ඉන්නේ?
ජනප්‍රිය සම්මානය නම් සල්ලිවලටත් ගන්න පුළුවන් කියලා කතා යනවනේ.
හැබැයි දක්ෂතම සම්මානය අපිට ලැබෙනවා නම් ලැබෙන්නේ විනිශ්චය මණ්ඩලයකින්.
ඒ සම්මානයට නම් මම කැමැතියි. ඒ සම්මානය ගන්න තව මට ගොඩක් දුර යන්න තියෙනවා. දක්ෂතම නිළිය සම්මානය හිතේ තියාගෙන වැඩ කළොත් අඩු ගාණේ රංගනයවත් හොඳ තැනකට ගෙනියන්න පුළුවන්.

ආයෙත් සරාගී රූප රචනාවලට පියුමිට ආරාධනා ලැබුණේ නැද්ද?
මම මියුසික් වීඩියෝවල රඟපාලා ටෙලි නාට්‍යවලට එද්දි සමහරු මගේ දිහා බැලුවේ අමුතු සතෙක් දිහා බලනවා වගේ.
මගේ දක්ෂතාව දැකපු අය මට කිව්ව දේ තමයි ඔයා මියුසික් වීඩියෝවල ඇඟ පෙන්නලා මේ තියෙන තැන විනාශ කරගන්න එපා කියලා.
නාළිකා ප්‍රධානීන් මාව ප්‍රතික්ෂේප කරද්දිත් මම බය වුණා. ඒ නිසා දැන් මියුසික් වීඩියෝ කළත් මට ගැළපෙන හොඳ දෙයකට සම්බන්ධ වෙනවා.

ටෙලි නාට්‍යය හෝ සිනමා නිර්මාණයක සරාගී රංගනයක් පියුමිගෙන් බලාපොරොත්තු වුණොත්?
දැන් නම් මම ඒ වගේ වැඩක් ආවොත් කරන එකක් නෑ. දැන් මම බහුතරයක් කැමැති දෙයට තමයි රංගනයෙන් සම්බන්ධ වෙන්නේ.
බහුතරය අපිව ප්‍රතික්ෂේප කළොත් අපි නිකන්ම වඳ වෙලා යයි.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!