තරු හුට පට

මෙගා බයිට් උසාවියට දක්කන මිහිර….

පෞද්ගලික මාධ්‍ය ආයතනයක් මගින්  ප්‍රචාරය කරනු ලබන “මෙගා බයිට්” නම්  වූ වැඩසටහනකින් ජනප්‍රිය නළුවෙකු වන මිහිර  සිරිතිලක මහතාට අඩත්තේට්ටම් හා මානසික හිරිහැර කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් ගන්නා වූ ඉදිරි ක්‍රියාමාර්ගයන් මොනවාදැයි අපි විමසා සිටියෙමු.

එවිට මිහිර පවසා සිටියේ එම ප්‍රසිද්ධ නාලිකාවත් සමඟ සාකච්ඡාවක් ආරම්භ කරන බවත්, එහීදී  ඔවුන්ට තමන් විසින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන බවත් එවාට එකඟ නොවන්නේ නම් මානව හිමිකම් පිළිබඳව නඩුවකට යෑමට සුදානම් වන බවත්ය.

ප්‍රසිද්ධ නළු මිහිර සිරිතිලක විසින් එම මාධ්‍ය ආයතන සඳහා ඉදිරිපත් කරනු ලබන යෝජනා මෙසේය.

1. ප්‍රසිද්ධියේ තමාගෙන් සමාව ගත යුතුයි
2.එම වැඩ සටහන නැවැත්විය යුතුයි
3.තමාගෙන් සමාව ගත් බව පවසා එම ආයතනයේ ප්‍රධාන ප්‍රවෘත්තියේ පළකළ යුතුයි‍

තමන් හට සිදු වූ මෙම බාල ක්‍රියාව සම්බන්ධයෙන් ලංකාවේ සිටින සියලුම කලාකරුවන් එකතු වී සිටින බවද මිහිර අපත් සමඟ ප්‍රකාශ කළ සිටියේය.

කෙසේ වෙතත් තමන්ට සිදුකළ ශාරීරික හා මානසික පීඩා සම්බන්ධයෙන් මිහිර සිරිතිලක මහතා විසින් කොච්චිකඩේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙන අතර පොලිසිය මේ වනවිට පරික්ෂණ ආරම්භ කර ඇති බවද පැවසේ.

සිද්ධියට සම්බන්ධ යැයි කියන මෙම කණ්ඩායමට සැප්තැම්බර්  5 වන දින කොච්චිකඩේ පොලීසිය හමුවෙහි පෙනී සිටි ලෙස පොලිසිය නියෝග කර ඇති බවද මිහිර අපත් සමඟ කිවේය.

පසුගිය 1 වන දින මිහිර සිරිතිලක මහතාට සිදු වූ අඩත්තේට්ටම පිළිබඳවා අත්දැකීම ‍මෙසේ අපත් සමඟ පැවසුවේය.

පසුගිය පළමු වන දින ජනප්‍රිය ගායකයකු වන ඔවින් රාජපක්ෂගේ ගීතයකට ලියැවුණු තිරනාටකයට අදාළ දර්ශන රූපගත කරන්න මාව කොච්චිකඩේ ප්‍ර‍දේශයේ පිහිටි ‍හෝටලයකට රැගෙන ගියා.

ඒ රූප රාමුවල  ප්‍රධාන චරිතය රඟපැවේ මමයි.

මාත් සමග ගායක ඔවින් රාජපක්ෂ, අධ්‍යක්ෂ චාමර වීරසිංහ  ඇතුලු කණ්ඩායමක් සිටියා. අපි කොච්චිකඩේ පිහිටි අදාල  හෝටලය වෙත ගියේ වෑන් රියකින්.

එදින සවස 4.00ට පමණ රූපගත කිරීම් අවසන් වුණා. ඊට පසු අප කණ්ඩායම වෑන් රථයට නැගල  කොළඹ බලා එන අදහසින් හෝටලයෙන් පිටත් වුණා.

නමුත් එම හෝටලය පිහිටි වෙරළ තීරය පසුකරන්නවත් අපේ වෑන් රථයට පුළුවන් වුණේ නැහැ.

එක්වරම තනි කලු පැහැති, වීදුරුත් කලු පාට ලෑන්ඩ් කෲෂර් වර්ගයේ  සුපෝපභෝගී රථයක් පැමිණ අපේ රථයට අවහිර වන විදිහට නතර කළා.

ඒ සමග එම රථයෙන් දොරවල් හැර ගෙන පිටතට ආවේ උස, මහත මම කිසිදාක දැක නැති තරුණයින් කීප දෙනෙක්.

“අපි ෆිනෑන්ස් එකෙන්” එක් තරුණයෙක් රියදුරාට පැවසුවා.“අපි ෆිනෑන්ස් හිඟ තියලා නැහැ. ඔක්කොම ගෙවලයි තියෙන්නේ” කියා රියදුරා කිවේය.

“කවුද ඇතුලේ ඉන්න කට්ටිය.” තවත් තරුණයෙක් රියදුරාගෙන් ඇසුවා.එතකොට රියදුරා කිව්ව “ අපි ෂූටින් එකක් ඉවර කරලා කොළඹ යනවා. ඇතුලේ ඉන්නේ නළුවෝ” කියලා.

එවිට එක් පුද්ගලයෙක් වෑන් රියේ පැති දොර විවර කළා. විවර කරපු පැති ‍දොරෙන් හිස ඇතුළට දමා මගේ දිහා බලලා “ මූද නළුවා” කියා ප්‍රශ්න කළා.

“එකෙක්වත් හෙල්ලෙන්න එපා. දඟලන්න එපා” කියා චාමරට සහ ඔවින්ට තර්ජනය කළ තරුණයා, මාව සගයන්ට පෙන්වා පැවසුවා. “මූව දාපං ජිප් එකට.” කියලා.

“මාව මොකටද ගෙනියන්නේ ? මාව ගෙනියන්න එපා” කියලා මම ඔවුන්ට පිංසෙන්ඩු වුණා.“වැඩිය දඟලන්න එපා. දැඟලුවොත් තොට කරන දේ අපි දන්නවා.” කියා තර්ජනය කළ තරුණ පිරිස මාව ඔවුන්ගේ රථයට දමා ගන්න සැරසුණා.

එම අවස්ථාවේ තවත් පුද්ගලයෙක් අපි පැමිණි වාහනයේ රියදුරා බෙල්ලෙන් අල්ලා පැත්තකට තල්ලු කර එම වාහනයේ රියදුරු අසුනේ හිඳ ගත්තා.

මාව ඔවුන්ගේ රථයට දමා ගත් පිරිස “ගනින් උඹ ළඟ තියෙන සල්ලි” කියා තර්ජනය කළා.

“මගේ ළඟ දැන් සල්ලි නෑ. ෂූටින් එකකටයි ආවේ.” කියා මම පැවසුවා.“අඩෝ බොරු කියන්න එපා ඩෝ දීපිය සල්ලි” කියා යළිත් මට තර්ජනය කළා.

“අනේ මගේ ළඟ සල්ලි නැහැ. මට යන්න දෙන්න” කියා මම බැගෑපත් වුණා. මේ වෙලාවේ ඔවුන් දැක්කා මගේ ළඟ ජංගම දුරකතන දෙකක් තිබන බව.

“දීපං ඩෝ මොබයිල්” කියා ඔවුන් මගේ ජංගම දුරකතන දෙක උදුරා ගත්තා.ඊට පස්සේ මට තර්ජනය කළා “ගෑණිට කතා කරල සල්ලි ඉල්ලපං” කියලා. මම කිව්වා “මගේ වයිෆ් ළඟ සල්ලි නැහැ. මට යන්න දෙන්න.” කියලා.

“එහෙම හරියන්නේ නෑ ඩෝ. කියපං ගෙදර ටෙලිෆෝන් නොම්මරේ.” ඔවුන් නියෝග කළා.මම කිව්වා “ වයිෆ්ව බය කරන්න එපා. එයා අසනීපයෙන් ඉන්නේ මේ දවස්වල” කියලා.

ඒත් ඔවුන් එක පිළිගත්තේ නැහැ. මොවුන්ගෙන් ගැලවුමක් නැති බව තේරුණ නිසා මම බිරිඳගේ  දුරකතන අංකය දුන්නා.

එවිට ඔවුන් එම අංකයට කතා කළා. ඔවුන් මගේ බිරිඳට කිව්වා “මිහිර සිරිතිලක දැන් ඉන්නේ අපේ අත්අඩංගුවේ. උඹේ මිනිහාව බේර ගන්න ඕනෑ නම් අපි කියන එකවුන්ට් නම්බර් එකට රුපියල් 25,000/- ක් මේ දැන්ම දාපං” කියලා.

බිරිඳ මොවුන්ට මොනවද කිව්වේ කියලා මම දන්නේ නැහැ.මෙම පුද්ගලයන් අතේ ආයුධ තිබුණේ නැහැ. එහෙත් වාහනය ඇතුලේ අඳුරේ තවත් පුද්ගලයෙක් සිටින බව මම දැක්කා.

ඔහු මොනවාදෝ අතේ තියාගෙන සිටියා. ඊට පස්සේ ජීප් රථය ධාවනය වුණා. අපගේ පිටුපසින් අප පැමිණි වාහනය ධාවනය වුණ ආකාරය මම දැක්කා.වාහනය ඉදිරියට යද්දී ඔවුන් දැක්කා පොලිස් නිලධාරීන් පාරේ සිටිනවා.

“ තෝ කෑ ගහන්නේ නෑ පරයා. එහෙම වුණොත් තෝව මරණවා. අපි කියන විදියට කරපං.” ඔවුන් තර්ජනය කළා. “තොගේ අද රෙදි ගලවනවා. තෝව හෙලුවෙන් පාරේ ඇවිද්දවනවා. තොට සින්දු කියන්න පුලුවන්ද පරයෝ. තෝ ආටිස්ට් කෙනෙක්ද ? අපි ‍තෝව දැකලත් නැහැ.” මේ විදියට ඉතා නින්දිත විදිහට බැන වදිමින්, මට මරණ තර්ජන කරමින් මාව රැගෙන ගිය ඔවුන් වාහනය අතුරු මාර්ගයකට හැරෙව්වා.

ඒ පාරේ ටික දුරක් යද්දී පල්ලියක් තිබුණා. පල්ලියේ සහ පල්ලිය වත්තේ සෙනඟ සිටියා. එම මාර්ගයෙන් මිනිසුන් ගමන් කළා. බයිසිකල්, මෝටර් සයිකල් ආදියෙනුත් මිනිසුන් ගමන් කළා.පාර අයිනේ නැවතූ රථයෙන් මාව බිමට ගත්තා. “දැන් හයියෙන් සින්දුවක් කියපං පරයා” අයෙක් කිව්වා. “මම සින්දු කියන්න දන්නේ නැහැ අයියේ.” මම ඔවුන්ට කිව්වා.

“එහෙම නම් දන ගහපිය පරයා.” කියා තර්ජනය කළා.මේ වනවිට මාව හඳුනාගත් පල්ලිය වත්තේ සහ මහ පාරේ සිටි පිරිස් ටිකෙන් ටික අපට ළං වුණා.

එවිට මෙම පිරිස ඔවුන්‍වත් බැන වැදුණා. “මොනවද තොපි බලන්නේ. පලයව් මෙතැනින්.” ඔවුන් ඒ විදිහට තර්ජනය කරන කොට ජනතාව ටිකක් ඈත් වෙලා සිද්ධ වෙන්නේ මොකක්දැයි බලා සිටියා.

“තොට දන ගහන්න නේද කිව්වේ පරයෝ. දන ගහපිය” ඒ තර්ජනය සමග මම පාරේ දන ගැහුවා.

“අපි මොනතරම් අමාරුවෙන්ද අයියේ මෙතැනට ආවේ. ප්‍රේක්ෂකයෝ කියන්නේ අපේ ආත්මයයි. ඔවුන් ඉදිරිපිට නළුවෙක්ට මහ පාරේ දන ගහන්න සිද්ධ වීම මොන තරම් හිත් වේදනාවක්ද?”‍

මේ ආකාරයට මම විනාඩි පහක් පමණ දන ගහගෙන හිටියා. ඔය අත‍රේ සෙනග අතරේ හිටපු කවුරුන් හෝ පොලිසියට දුරකතන ඇමතුමක් දීලා “මෙතන මොකක්දෝ සිද්ධ වෙනවා” කියලා.

ටික වේලාවකින් පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා සිද්ධිය වූ ස්ථානයට ආවා.

දුරදීම ඔහුව දැක්ක මේ පිරිස මට නැගිටින්න නියෝග කරලා ඕ.අයි.සී. ගාවට ගියා. ගිහින් ඒ මහත්තයාට ඔවුන්ගේ අයිඩෙන්ටි කාඩ් පෙන්නුවා. ඊට පස්සේ  ඕ.අයි.සී. මහත්තයා ඒ අවට තිබුණ වාහනවල අංක ලියා ගෙන යන්න ගියා.

ඒ වේලාවේදී තමයි මම දැක්කෙ ෂූටින් ඉවර වෙලා අපි ආපු වෑන් එක වගේම තවත් වාහන තුනක් තැනින් තැන නවතා තිබෙන අන්දම. ඕ.අයි.සී. යනවාත් එක්කම පුද්ගලයෙක් කඬුවක් අමෝරා ගෙන මගේ දිශාවට දුවගෙන එනවා දැක්කා. මම හිතුවා ඒ තමයි මගේ අවසානය කියා. එම පුද්ගලයා කෑ ගහගෙනයි ආවේ.

“ අඩෝ.. අපේ එකෙක්ට චන්ඩි පාට් දාන උඹලා කවුද ඩෝ.” කියා ගෙනයි ආවේ. මම හිටියේ මර බයේ. ළඟටම ආපුවාමයි මම හඳුනා ගත්තේ එම පුද්ගලයා.

ඔහු පුද්ගලික රූපවාහිනී නාලිකාවක ‘මෙගාබයිට්’ නැමැති වැඩ සටහනේ නිවේදකයා වන සනෝජ් නැමැත්තා බව මම දැක්කා.

මගේ ළඟට ආපු ඔහු අවට සිටි අයට ඇසේන්නට මෙහෙම කිව්වා. “මෙගාබයිට් වැඩ සටහන යටතේ මේ පාර බයිට් වුණේ ඔබලාගේ ආදරණීය නළු මිහිර සිරිතිලක.” කියලා.

මේ වගේ පාහර වැඩක් සුප්‍රසිද්ධ නාලිකාවකින් සිදුවීම මට අදහා‍ ගන්න බැරි වුණා.

“ඇයි සනෝජ් මෙහෙම කළේ . මාව මහ පාරේ දන ගස්වලා මල්ලිලා ලබන වින්දනයටද “මෙගා බයිට්” කියන්නේ.

අසනීප වී සිටින මගේ බිරිඳ හෝ මගේ අම්මා තමන්ගේ දරුවා පැහැරගත් පුවත අහලා මේ වෙනකොට ඒ දෙන්නට මොනවද වෙලා තියෙන්නෙ කියලා කියන්න ඔයාල දන්නවාද? ඒ දෙන්නට කරදරයක් වෙලා තිබුණොත් ඔයාලවත් මරාගෙන මටත් මැරෙන්න නේද සිද්ධ වෙන්නේ ?” කියා මම ඇසුවා.

මොවුන් කණ්ඩායම බොහොම හයියෙන් සිනහ වෙලා වීර ක්‍රියාවක් කළ පිරිසක් විදිහට පිටත් වී ගියා.

මම වෑන් එකෙන් මීගමුව පොලිසියට ගිහින් සිද්ධිය ගැන පැවසුවා.

මීගමුව පොලිසිය කිව්වා අදාළ ප්‍රදේශය අයත් වන්නේ කොච්චිකඩයට නිසා කොච්චිකඩේ පොලිසියට ගිහින් වහාම පැමිණිලි කරන්න කියලා.

මම මගට එද්දී සහකාර පොලිස් අධිකාරිවරයකු වන අල්විස් මහතා මුණ ගැසුණා.

ඔහු ඇසුවා “මොකක්ද මල්ලි ප්‍රශ්නය” කියලා. මම සිද්ධිය කිව්වාම ඔහු බොහෝ කම්පාවට පත් වී මාත් සමග කොච්චිකඩේ පොලීසියට ගියා.

එතැන දී කොච්චිකඩේ පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා ඇතුළු සියලුම පොලිස් නිලධාරිනුත් මට බොහෝ උදවු කළා.

පැමිණිල්ලට අදාළව අවශ්‍ය සියලුම තොරතුරු සහ වාහනවල අංක ඕ.අයි.සී මහත්තයා විසින් ලබා දුන්නා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!