Gossip

“මම මගේ පණටත් වඩා එතුමාට ආදරේ කරනවා. මම හැමදාම මිල්ටන් අයියගේ ෆොටෝ එකට හඳුන්කූරු එහෙම පත්තු කරනවා” – Derana 60 Plus කිරුළ දිනූ ප්‍රේමරත්න කියපු කතාව

රූපවාහිනී නාළිකා පසුගිය කාලේ පුරාවටම රියැලටි තරග සඳහා ඉලක්ක කරගත්තේ තරුණ ප්‍රජාවයි.
නමුත් පසුගියදා නිමාවට පත්වුණු Dilog ප්‍රශංසා Derana 60 Plus‘ රියැලිටි තරගය මෙයින් වෙනස්ම වූවක් ලෙස ඉතිහාසයට එක්වුණා.
මේ සඳහා එක් වුණේ අපේ රටේ ඉන්න වයස අවුරු 60 ට වැඩි ගායන හැකියාවන්ගෙන් යුතු පිරිමින් සහ කාන්තාවන්.
දහස් සංඛ්‍යාත තරගකරුවන් අතරින් අවසන් වටයට තේරුණු තිදෙනාගෙන් ‘Diolog ප්‍රශංසා Derana 60 Plus කිරුළ හිමිකරගත්තේ මහරගම සිට පැමිණි ජී. ඩී ප්‍රේමරත්න මහතායි..

එක් රැයකින් ජනප්‍රිය වුණ ඔබ ගැන දැනගන්න රටම බලන් ඉන්නවා ?
මගේ නම ජී. ඩී ප්‍රේමරත්න. ජී. ඩී කියන්නේ ගබඩාගේ දොන් කියන එක. මගේ ගම මහරගම. තාත්තා දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ වැඩ කළේ, දැන් ජීවතුන් අතර නැහැ.
අම්මා තාමත් අපිත් එක්ක නිරෝගීව ඉන්නවා. මට මල්ලි කෙනෙක් සහ නංගියෙක් ඉන්නවා. මගේ බිරියගේ නම කාන්තිමාලා ධනපාල. අපිට එක් දුවෙක් ඉන්නවා. ඇය සාවිත්‍රා ධනංජනී.

පාසල් කාලය කොහොමද ?
පාසල් ගියේ මහරගම බුවනක මහා විද්‍යාලයට. මම පාසලේදී කළ එකම දේ තමයි සංගීතය.
ඒ තරමටම මම කුඩා කාලයේ ඉඳලම සංගීතයට පුදුම ආසාවක් ළැදිකමක් දැක්වූයේ. සංගීතය පැත්තෙන් තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ පවා ලබාගෙන තිබෙනවා.

පාසලෙන් ඉවත් වෙලා මොකද කළේ ?
ආර්පිකෝ ආයතනයේ වැඩ කළා. ඒ වැඩ කරද්දිත් සංගීතය නම් අතහැරියේ නැහැ. ගුවන්විදුලියේ, රූපවාහිනියේ සංගීත වැඩසටහන්වලට සහභාගි වෙලා තිබෙනවා.
ඒත් ඉතින් වැඩි දුර යන්න අත දෙන්න ඒ කාලේ කවුරුත් හිටියේ නැහැ. ඒ නිසා සංගීතයෙන් ලොකු ගමනක් යන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ.
හැබැයි මගේ යාළුවෙක් හිටියා ගුවන්විදුලියේ නිශ්ශංක කියලා. ඔහු මාව සරළ ගී වැඩසටහනට ඉදිරිපත් කළා. ඒ අනුව බී ශ්‍රේණියේ ගායකයෙක් වුණා.

එතකොට දෙරණ 60 plus තරගයට යොමු වුණේ කොහොමද ?
අපේ දුව ඉල්ලුම් පත්‍රයක් දැම්මා. ඒ වුණාට කැඳවීමක් වුණේ නැහැ. දෙවැනි සැරේටත් දාල තිබුණා. ඒකට තමයි එන්න කිව්වේ.

ඒ වෙනකොට ඔබ මොනවද කළේ ?
මහරගම පමුණුව රෙදි බිස්නස් එකක් කර කර තමයි හිටියේ.

ඉතින් ඉතින් ඊට පස්සේ?
විහාර මහාදේවී උද්‍යානයට තමයි එන්න කියල තිබුණේ. එතැනදි අපිට අයදුම්පතක් දුන්නා ඒකත් පුරවගෙන පානදුරේ හෝටලයකට එන්න පරීක්ෂණයට කියලා.
එදා විනිශ්චය මණ්ඩලයේ හිටියේ සෝමසිරි මැදගෙදර සහ දයාරත්න පෙරේරා මහත්වරුන්. මම එහිදී ගායනා කළේ මිල්ටන් මල්ලවආරච්චි ගායකයාගේ ගීතයක්. ඉන් පස්සේ ඊළඟ වටයට කැඳෙව්වා. එහි විනිශ්ච මණ්ඩලයේ රෝහණ බෝගොඩ මහත්මය සහ තව කෙනෙක් හිටියා. එකෙන් පස්සේ 96 දෙනා අතරට තේරුණා.

ඇයි ඔබ මිල්ටන් මල්ලවආරච්චි මහත්මයගේම ගීත ගායනා කරන්නේ ?
මගේ ජීවිතේ මම ගොඩාක් ආසා එතුමගේ ගීත කියන්න. මම මගේ පණටත් වඩා එතුමාට ආදරේ කරනවා. මගේ ගෙදර එතුමාගේ අඩි දෙකක පමණ ෆෙටෝ එකක් තිබෙනවා. මම හැමදාම ඒ ෆොටෝ එකට හඳුන්කූරු එහෙම පත්තු කරලා එතුමට හොඳ තැනක ජීවත් වෙන්න ශක්තිය දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

ඔබට මිල්ටන් මල්ලවආරච්චි මහත්මයා මුණ ගැහිලා තිබෙනවද ?
මිල්ටන් මහත්මය හිටියේ අපේ පාරට එහා පැත්තේ. අපේ ගමේ සෑම වසරකම අවුරුදු උත්සවයක් පවත්වනවා.
ඒ උත්සවේ ඉවර වුණාම රෑට සංගීත ප්‍රසංගයක් තිබෙනවා. එහි සංවිධායක මණ්ඩලය මට කියනව මිල්ටන් අයියා එන්න කලින් සිංදු දෙකක් කියන්න එන්න කියලා.
මම එහෙම සිංදු කියද්දි නිවේදක මහත්මයා ඇවිත් කිව්වා මිල්ටන් අයියා එනවා. ඒ නිසා ඉවර කරන්න කියලා. මම දෙවැනි සිංදුව කියන කොට එතුමා ස්ටේජ් එක ළඟ. මම ඒ සිංදුව කියල බහින්න හදනකොටම මිල්ටන් අයියා ඇඟිල්ල පෙන්නල කිව්වා තව එකක් කියන්න කියලා. මට ඒ වෙලේ පුදුම සතුටක් දැනුණේ.

ඊට පස්සේ මිල්ටන් මල්ලවආරච්චි මහත්මයා මොකද කිව්වේ ?
මම ස්ටේජ් එකෙන් බැහැල එනකොට මගේ පිටට තට්ටු කරලා මල්ලි දිගටම කියන්න කියල කිව්වා. ඇත්තමයි එතුමට මගේ හිතේ තිබුණ ආදරේ තව තවත් වැඩි වුණා.

අනිත් අය සිංදු කියද්දි නටනවා, දඟලනවා, ඇවිදිනවා. ඔබ එහෙම නැහැ ඒ ඇයි ?
මට එහෙම පුරුදු නැහැ. මට බයක් එනවා ඒව කරන්න ගියාම ටෙම්පෝ එක අවුල් වේවි, සිංදුව වරදීවි කියලා.
මට පුරුදු සිංදුවක් කියද්දි ඒ සිංදුවේම ජීවත්වෙලා, ඒකට කිඳාබැහැල කියන එක. ඒකයි මම එක තැන ඉඳගෙන නිදහසේ කියන්නේ.

ඔබේ ප්‍රතිවාදී තරගකරුවන් කොහොමද ?
ඇත්තටම දක්ෂ පිරිසක් හිටියා. හැබැයි ඒ වුණාට කිසිම කෙනෙක් අතර කැපිලි කෙටිලි තිබුණේ නැහැ.
හැමෝම ඒකාවගේ තමයි වැඩකළේ. අපි එක බත් එක බෙදාගෙන කන තැනට සහෝදර බැඳීමක් ඇති වුණා.

දැන් ප්‍රසිද්ධ චරිතයක් නිසා හොඳ හොඳ ප්‍රතිචාර ඇති නේ ?
වෙනදා ගෙදර ඉඳලා මට පමුණුවට යන්න ගියේ විනාඩි දහයයි. ඒත් දැන් අඩුම ගාණේ පැය භාගයක්වත් යනවා.
ඒ දකින දකින කෙනා කතාකරනවා. සමහරු මං වෙනුවෙන් සංගීත ප්‍රසංග පැවැත්වූවා. බැනර් ගැහුවා. මම දිනල කියද දැනගත්තම මුළු මහරගම ම රතිඤ්ඤා පත්තු කරලා සතුටු වෙලා තිබුණා. ඇත්තට ජී. ඩී ප්‍රේමරත්න අද මෙතන ඉන්නේ අපේ රටේ මිනිස්සු නිසා.

දෙරණ ආයතනය මෙවැනි වැඩසටහනක් නොකළා නම් ප්‍රේමරත්න ගමේ අය දන්න ගායකයෙක් විතරයි නේද ?
ඇත්ත කතාව ඒක තමයි. දෙරණ ආයතනයෙන් කළේ වැඩසටහනක් නෙවෙයි.
මහා පුණ්‍ය කර්මයක්. ජීවිතයේ සැඳෑ සමයේ ගතකරමින් ඉන්න අපි වගේ පිරිසක් ගෙනත් අපේ ජීවිතයේ ඉතිරි කොටස සතුටෙන් ගත කරන්න පුදුම ධෛර්යයක් දුන්නේ. දෙරණ ආයතනයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට, විනිශ්ච මණ්ඩලයේ සියලුම දෙනාට, සංගීත කණ්ඩායමට, නිවේදක මහත්මයට, මේ සියලු දෙනාට එක වරක් නෙවෙයි දස දහස්වරක් මේ කළ කාර්යයට ගොඩාක් පිං කියල කියනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!