Gossip

මම පුංචි කාලේ ඉඳන්ම හරි ආසයි බඳින්න – මාත් එක්ක කෙනෙක්ට ඉන්න අමාරුයි – අඛිල ධනුද්ධර

අකිල ධනුද්දර කියන්නේ ජැක්සන් ඇන්තනීගේ වැඩිමල් පුත්‍රයා. ඔහුත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම ප්‍රේමණීය ආදරවන්තයෙක්. ඔහු මේ මෑතකදී තමන්ගේ පෙම්වතියගේ උපන් දිනයට විශේෂ පුදුම කිරීමක් සිදු කළා. ඒ ගැන වගේම ඔහුගේ විවාහය ගැන කතා කරන්නත් අපි ඔහුත් සමඟ කතාබහ කළා.

මොකක්ද මේ පෙම්වතිය ඒමිට දුන්න සප්‍රයිස් එක?
එයාව සන්තෝස කරන්න ඕන කියලා හිතුණා. ඒකට තමයි සප්‍රයිස් එකක් ලෑස්ති කළේ. මේක අද ඊයේ ප්ලෑන් කරපු දෙයක් නෙවෙයි, ගිය අවුරුද්දෙත් උපන් දිනයට එයාව සප්‍රයිස් කළා. ඉතින් මේ අවුරුද්දෙ ඊට වඩා වෙනසක් කරන්න ඕනේ කියලා තමයි කළේ.
වෙඩින් එකට කලින් එයාගේ අන්තිම බර්ත්ඩේ එක ගිය අවුරුද්දේ කියලා හිතුවේ. හැබැයි එහෙම වුණේ නෑ. හැබැයි මේ බර්ත් ඩේ එක තමයි එයා බඳින්න කලින් සමරන අන්තිම උපන් දිනය. ඒකයි මේ වගේ වෙනසක් කරන්න හිතුවේ.

මොකක්ද ඒ කළ වෙනස?
ආදරේ කරන කෙනා කියන්නේ අපි ගැන හැමදේම දන්න කෙනා. ඉතින් ඒ කෙනා වෙනුවෙන් දෙයක් කරනකොට හොඳට හිතලා බලලා කරන්න ඕන. රෑ 12න් පටන් අරන් ඒ සප්‍රයිස් එක ඉවර වුණේ නෑ. එදා දවස පුරාම සප්‍රයිස් එක සිද්ධ වුණා.

ඔබේ පෙම්වතිය ඔබේ සප්‍රයිස් පාටියට අවංකවම සතුටු වුණාද?
ඔව්. අනිවාර්යයෙන්ම. එයාගේ මූණෙන් තේරිච්ච දේවල්වල හැටියට එහෙම තමයි. මොකද මාත් එක්ක ඉන්නකොට හරි අමාරුයි. ඕනම කෙනෙක්ගේ වෙනසක් මට ඉක්මනට තේරෙනවා. සමාජයත් එක්ක ගැටිලා මිනිස්සු ආශ්‍රය කරලා තමයි ඒ හැකියාව මට ලැබුණේ.

ඒ කියන්නේ කාටවත් අඛිලට බොරුවක් කරන්නම බැරිද?
මට බොරු කරන්න නම් ටිකක් අමාරුයි.

අකිලගෙයි ඒමිගෙයි ආදර කතාව සෑහෙන්න පරණයි නේද?
ඔව් නේ. සම්බන්ධයට දැන් අවුරුදු 12ක් වෙනවා.

කොහොමද ඇයව මුණගැහුණේ?
අවුරුදු 16දී තමයි අපි මුණගැහුණේ. එතැන ඉඳන් දිගටම මාත් එක්ක හිටියා. යාළුවෙක් විදියට පෙම්වතියක් විදියට. ඒ අතරේ ප්‍රශ්න ඇතිවුණ තැන් නැතිවම නෙවෙයි. හැබැයි ඒ තේරුම් ගැනීමත් එක්ක අද මම සන්තෝස වෙනවා මාව හොඳටම දන්න ගෑනු ළමයා මාත් එක්ක ඉතුරු වෙලා ඉන්නවා කියලා.

ක්‍ෂේත්‍රයේ කෙනෙක්ව තෝරා ගත්තේ නැත්තේ ඇයි?
එහෙම දෙයක් නැහැ. ක්‍ෂේත්‍රයේ නැති කෙනෙක් තමයි මට හම්බවුණේ. ක්‍ෂේත්‍රයේද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. මට ආදරේ කරන මම ආදරේ කරන ගෑනු ළමයා ක්‍ෂේත්‍රයේ කෙනෙක් නෙවෙයි.

ප්‍රාර්ථනා කරපු කෙනාවමද දැන් පෙම්වතිය විදියට හම්බවෙලා තියෙන්නේ?
ඔව්. අවුරුදු 12ක් මම එයාව පරීක්ෂා කළා වගේ මේ ජීවිත කාලෙම මම කල්පනා කරලා තියෙනවා ගැළපුම මොකක්ද කියලා. මාත් එක්ක කෙනෙක්ට ඉන්න අමාරුයි. ඒමිට විතරමයි එහෙම ඉන්න පුළුවන්. මට හොඳටම ගැළපෙන කෙනා ඒමිම තමයි.

අක්කයි මල්ලියි ඔබයි තුන් දෙනා එකම දවසේ විවාහ වෙන්න හිතුවේ ඇයි?
අපි තුන්දෙනාම එකටමයි හිටියේ. සාමාන්‍ය ගෙදරක විදියට නෙවෙයි අපි හැදුණේ වෙනස් විදියකට. අපිට තේරෙන්නෙ නැති කාලේ වුණත් මවුපියෝ හැම දෙයක්ම කියලා දුන්නා. ඉතින් මම පුංචි කාලේ ඉඳන්ම හරි ආසයි බඳින්න. මවුපියෝ ගෙවන ජීවිතත් එක්ක තමයි මට එහෙම හිතෙන්නේ. මම ඉස්සර ඉඳලාම හිතාගෙන හිටියේ අවුරුදු 27 වෙනකොට බඳිනවා කියලා. ඉතින් මම අප්පච්චිට කිව්වා දැන් බඳින්න ඕනේ කියලා. අපි ඒමිලගේ ගෙදර ගියා වෙඩින් එක ගැන කියන්න. එදා මල්ලිගේ පෙම්වතියත් ඇවිල්ලා හිටියා. අක්කත් හිටියා. ඒ වෙලාවෙ තමයි අප්පච්චිට හිතුණේ තුන් දෙනාගෙම වෙඩින් එකම දවසේ කරමු කියලා. පාර්ශ්වයන් තුනම ඒ වෙලාවේ එතැන හිටියේ. ඒ තුන් පාර්ශ්වයෙන්ම අහලා කට්ටියම කැමැති කරවගෙන තමයි මේක තීරණය කෙළේ.

අකිල තාත්තාගේ නාට්‍යවල දිගටම රඟපාන්න විශේෂ හේතුවක් තියෙනවාද?
ඔව්. අනිවාර්යයෙන්ම. තාත්තා කරන නිෂ්පාදනවල තියෙන කළමනාකාරිත්වය හරිම ඉහළයි. ඒවාට ළං වෙන්නත් බැහැ අනෙක් කළමනාකාරිත්වයට. වෙලාවට වැඩ කරනවා. ඉතිං මම ඒකට කැමැතියි.

අකිලව ටෙලි නාට්‍යවල දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ඇයි ඒ?
ටෙලි නාට්‍ය නම් මම කළා අඩුයි. මොකද මගේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක මම ටෙලි නාට්‍ය භාරගත්තේ නෑ. ඒකෙන් මට පාඩුවක් වෙනවා කියලා දැනුණා. මගේ යාළුවෝ ඉන්නවනේ නාට්‍යවල රඟපාන අය. ඒගොල්ලොත් එක්ක මම කතා කළා. එයාලට නාට්‍යවල රඟපාන එකෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන. ඒ ගැන හිතලා මම තීරණයකට ආවා මම නාට්‍යවල රඟපානවා කියලා. ඊට පස්සේ, මමයි රජා, හංස දඩයම වගේ නාට්‍යවල රඟපෑවා. මගේ වෙන වැඩත් එක්ක මට නාට්‍යවලට යොදවන්න කාලය හොයාගන්න අමාරුයි.

ඉදිරියෙදි ටෙලි නාට්‍යවල දිගටම පේන්න ඉඳියිද?
ඒක අපි අනාගතයට භාර දෙමු. මගේ ජීවිතයේ ඉදිරිය ගැන මම චිත්‍රයක් මවාගෙන ඉන්නේ. ඒකට අනුව ඉදිරියට වැඩ කටයුතු කරනවා.

කාලයක් මියුසික් වීඩියෝවල හිටියා. දැන් මියුසික් වීඩියෝ අතහැරලම දැම්මද?
මගේ කාර්යබහුලත්වයත් එක්ක ඇත්තටම මට මියුසික් වීඩියෝස්වලට ඉන්න තරම් කාලය මදි.

අලුත් චිත්‍රපටයකින් දකින්න ලැබුණේ නැත්තේ?
සී රජ ටෙලි නාට්‍යයෙන් පස්සේ මම කොණ්ඩේ කැපුවා. ආයෙත් කොණ්ඩේ වැවෙනකල් චිත්‍රපටවලට රඟපාන්නේ නෑ කියලා හිතුවා. ඒත් මම ශ්‍රී වික්‍රම රාජසිංහ, සාලිය අශෝකමාලා වගේ චිත්‍රපට කිහිපයක රඟපෑවා.

ඉදිරි වැඩකටයුතු මොනවාද?
දැන් තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි විවාහය. හංස දඩයම පටන් ගත්තා. කලින් කරපු චිත්‍රපටත් එන්න තියෙනවා. ආරියරත්න ඇතුගල මහත්මයාගේ මහසුපින කියන වේදිකා නාට්‍යයේ වැඩ කරන්න ඉන්නවා. ඒ වැඩ තමයි කරගෙන යන්නේ.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!