Gossip

“මමත් කොහොම හරි පෙරුම් පුරල පෙරුම් පුරලා එයාට ආදරෙයි කිව්වා, එයා එක පාරටම කියපි මම ඕවට රැවටෙන්නේ නෑ කියලා”

පැතුම් රුක්ෂාන් කියන්නේ මියුසික් වීඩියෝවලින් වැඩි වශයෙන් ඔබේ ආලින්දයට ඇවිත් දැන් කවුරුත් ආදරය කරන තරුවක් වුණු සොඳුරු රංගන ශිල්පියෙක්.

ඔහු ඉස්සෙල්ලම ක්ෂේත්‍රයට ආවේ නිරූපණ ශිල්පියෙක් හැටියට.

පැතුම්ගේ ආදරය බොඳවුණු හැටි ගැනත් ආදර හීනය ගැනත් සතිඅන්ත පුවත්පතකට පැතුම් මේ විදිහට කියලා තිබුණා.

පැතුම්ගේ හිතේ මුල්ම ආදර හැඟුම් උපදින්නේ ?

ඉස්‌කෝලෙ යන කාලෙ තමයි. එතකොට මම දහයේ පන්තියෙ විතර ඇති. අපේ ඉස්‌කෝලෙට අලුතෙන් ආපු නංගි කෙනෙක්‌ ගැන තමයි මගේ හිත ගියේ. මමත් කොහොම හරි පෙරුම් පුරල පෙරුම් පුරලා එයාට ආදරෙයි කිව්වා. එයා එකපාරටම කියපි “අයියෝ ඔයාගෙ හැටි මම දන්නවා. මම ඒවට රැවටෙන්නේ නැහැ” කියලා.

පැතුම් පාසල් වියේ සෙල්ලක්‌කාර පෙම් විජිතයක හිමිකරුවෙක්‌ද?

මම හරිම දඟයි. ඒ වගේම හරියට විහිළු කරනවා. ඇය හිතන්න ඇති මම විහිළුවට එයාට ආදරෙයි කිව්ව කියලා. මොනව වුණත් පස්‌සේ එයා මට කැමැති වුණා.

ඉතින් ඊට පස්‌සේ ?

ඇත්තටම ඒක ප්‍රේම සබඳතාවකට වඩා ඒ කාලේ ගැටවර හිත්වල ඇතිවුණ සුන්දර හැඟීමක්‌ කියලයි අද මට හිතෙන්නේ. අපි දෙන්නට දෙන්න කැමති වුණාට ඒ ආදර හැඟුම් අපිටත් රහසේම අපෙන් මැකිලා ගියා.

පැතුම්ගේ හිතට ආදරයේ බර දැනෙන්න ආදරය කරපු කාලයකුත් තියෙන්න ඇතිනේ?

මමත් ආදරය කරන්න හරිම කැමැතියි. ආදරය හරිම දුකක්‌ නේ. ඒ දුකත් මිහිරක්‌ කරගෙන මම අද දවස ගෙවනවා. කොහොම හරි උසස්‌පෙළ කරල එහෙම ඉවර වුණාට පස්‌සෙ තමයි ආදරයක්‌ පටන් ගත්තේ. ඇය ඒ කාලෙ උසස්‌ අධ්‍යාපනය ලබනවා. මමත් වෘත්තියක්‌ තෝරගෙන හිටියේ. අපි ආදරය කළා අවුරුදු තුනක්‌ විතර.

ඒ ආදරයත් පැතුම්ගේ ලෝකයෙන් මැකීයනවාද?

ඇත්තටම මම මොස්‌තර නිරූපණ ක්‍ෂේත්‍රයට එනවා. ඇය ඉංග්‍රීසි ගුරුවරියක්‌ විදිහට ඇගේ වෘත්තිය පටන් ගන්නවා. ඔහොම කාලය ගත කරද්දි අපි අතරේ ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. ගොඩක්‌ මම මේ ක්‌ෂේත්‍රයට ඒමත් එක්‌ක ඇයට ඒ ගැන වටහා ගැනීම් අඩුවෙන්න ඇති. ඉතින් අපි වෙන්වුණා. ඒ ආදරය තමයි මගේ ජීවිතයට දැඩිව විරහවක්‌ ළං කළ ප්‍රේමය.

අද දවසේ පැතුම්ගෙ ආදරය නැවතිලා තියෙන්නෙ කොතැනකද ?

අද මම හුදෙකලාව ජීවත් වෙනවා. මම හිතනවා විවාහයක්‌ ගැන හිතන්න තව කල් තියෙනවා කියලා. ඒ වෙනුවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට ගැළපෙන, මම හිතන විදිහට හිතන ගොඩක්‌ ආදරය කරන කෙනෙක්‌.

ඔබ සොයන ඈ කලා ලෝකයේම කෙනෙක්‌ කර ගන්නද පැතුම් පතන්නේ ?

නැහැ. පුංචි කාලෙ ඉඳන්ම මම හිතපු දෙයක්‌ තමයි මම ඉන්න ක්‍ෂේත්‍රයේම කෙනෙක්‌ එක්‌ක විවාහ වෙන්නෙ නැහැ කියන ඒක. ඒ නිසා කලාවෙන් පෙම්වතියක්‌ බිරිඳක්‌ තෝර නොගන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒත් ජීවිතයේ මේ වගේ දේවල් පෙර සැලසුම් කරපු විදිහට සිදු වෙන්නේ නැහැනේ. ඒ නිසා අපි ඒ ගැන තීරණය කරන්න අනාගතයට ඉඩ දෙනවා.

ඒ කියන්නේ පැතුම්ගේ ආදරය ඔබේ රසිකාවියන්ගෙන් කෙනෙකුටත් ඉඩක්‌ තියෙනවා කියන එකද ?

රසිකාවියන්ගේ ආදර ඇරැයුම් නැතිව නෙවෙයි. ඒත් මගේ හිත කැමැති වෙන විදිහේ කෙනෙක්‌ නොවුණ නම් කවුරු මට ආදරෙයි කිව්වත් මම සැබෑ තත්ත්වය තේරුම් කරලා දෙනවා.

පැතුම් අදටත් ඒ පාසල් වියේ හිටි දඟකාර විහිළුකාරයාමද ?

නැහැ. ඇත්තටම මම පාසලෙන් පස්‌සෙ විවිධ දේවල් කරගෙන ඉන්න කාලෙ පොලිස්‌ සේවයට බැඳෙනවා. මොකද මගේ තාත්තා පොලිස්‌ සේවයේ සිටි නිසා. මම පොලිස්‌ සේවයේ සිටි කාලෙ මගේ ජීවිතය ගොඩක්‌ වෙනස්‌ වුණා. වගකීම් විනය පිළිවෙල වගේ ජීවිතයට එකතු වුණා. අද වෙද්දි මම බොහොම තැන්පත් ජීවිතය ගැන විතරක්‌ නෙවෙයි ආදරය ගැනත් වගකීමෙන් හිතන තරුණයෙක්‌.

පැතුම්ගෙ හුදෙකලා හිත අද ආදරය දෙස බලන්නෙ…

මම ජීවිතයේ විවිධ ආදරයන් විඳි කෙනෙක්‌ වගේම ඒ ආදරයන් අහිමි විමේ වේදනාවත් දැඩිව විඳපු කෙනෙක්‌. මගේ අම්මගේ වියෝව තමයි මට ඒ පාඩම දැඩිවම මට අවබෝධ කරන්නෙ. මගේ තාත්ත ඉන්නෙ විදේශයක. මගේ සොයුරු සොයුරියන් විවාහවෙලා. අද මම තනිවම ජීවත් වෙන කෙනෙක්‌.

ඔබ ගැන හොයන්න බලන්න, ආදරය කරන්න කිසිම කෙනෙක්‌ අද ඔබ සමීපයේ නැති බවද මේ පවසන්නෙ…

මගේ ආච්චියි, නංගියි ගමේ ඉන්නව. ඒ දෙන්න නිතරම මම එනතුරු මඟ බලාගෙන ඉන්නව. ඉතින් මම ඒ ආදරය විඳින්න හැම වෙලාවකටම ගමට යනව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!