Gossip

මට හිතෙන්නේ පිය සෙනෙහස කියන්නේ මේ ලෝකයේ කවදාවත් මැනලා ඉවර කරන්න බැරි, ඇස්තමේන්තු කරලා ගණනය කරන්න බැරි දෙයක් – ජානක වික්‍රමසිංහ

පියකු ලෙසින් හිස ඔටුනු පැළඳු දිනය මතකයේ තිබෙනවා ද?
ඔව්. අපි විවාහ වුණේ 1989 වසරේදී. පුතා ඉපදුණේ 1990 වසරේදී. බොහෝම ආදරණීය මතකයක්. දරුවකුගේ සම්ප්‍රාප්තිය දෙමාපියන්ට කොච්චර සතුටුදායක ද කියන දේ පුතාගේ උපතත් එක්ක අපිට දැනෙන්න පටන්ගත්තා. මුලින්ම පුතෙක් ලැබෙයි කියා බලාපොරොත්තුවක් නොවුණත්, පුතා ලැබුණාට පස්සේ හිතට ලොකු ශක්තියක් දැනුණා. පරම්පරාවක් ගෙනියන්න, සනුහරයක් ඇති කරන්න කෙනෙක් මටත් ඉන්නවා කියලා හිතුනා. දුව ලැබෙන්නේ 1993 වසරේදී. පුතා හිටපු පවුලට දියණියකගේ පැමිණීම ආලෝකයක් බඳුවුණා. ඇත්තටම කියනවා නම් හරිම පිරුණු බවක් ඇතිවුණා. දරුවෝ පුංචි කාලේ ආර්ථික ප්‍රශ්න ගොඩක් තිබුණ නිසා, මම තව දරුවෝ හදන එක ගැන හිතුවේ නෑ. ඒත් මට අද හිතෙනවා ඇයි මම තව දරුවෝ හැදුවේ නැත්තේ කියලා. දරුවෝ කියන්නේ සම්පතක්. ඇත්තටම මම දරුවන්ට ගොඩක් ආදරෙයි. මගේ දරු දෙදෙනාට වගේම, මේ ලෝකේ ඉන්න සෑම දරුවකුටම. මගේ ලේ ඝනකම නිසා මගේ දරුවන්ට වැඩි ආදරයක් තියෙනවා. නමුත් හැම දරුවෙක්ම දරුවෝ කියලා අපිට හිතන්න පුළුවන් නම්, ඇත්තටම මේ ලෝකය ගොඩක් ලස්සන වෙනවා.

පිය සෙනෙහස කියන දේ ඔබට දැනෙන්නේ කොහොම ද?
ලෝකයේ බොහෝ කවි, ගීත, උපමා නිර්මාණය වෙලා තියෙන්නේ අම්මාට. තාත්තා වෙනුවෙන් බිහිවෙලා තියෙන නිර්මාණ හරිම අඩුයි. ඇත්තටම කියනවා නම් මේ ලෙකේ තියෙන කිසිම දෙයකට අම්මාවයි, තාත්තාවයි උපමා කරන්න බැහැ. ඒක තමයි ඇත්ත. මට හිතෙන්නේ පිය සෙනෙහස කියන්නේ මේ ලෝකයේ කවදාවත් මැනලා ඉවර කරන්න බැරි, ඇස්තමේන්තු කරලා ගණනය කරන්න බැරි දෙයක්.

දරුවන්ව අද ඔබට දැනෙන්නේ කොහොම ද?
යහපත් දරුවකු සමාජගත කරනවා කියන්නේ දෙමාපියන්ට මේ ලෝකේ කරන්න පුළුවන් ලොකුම පින්කමක්. මගේ පුතා අද ඉංජිනේරුවෙක්. දුව වෛද්‍යවරියක්. තාත්තා කෙනෙක් විදිහට අද මා අනේකවාරයක් දරුවන් දිහා බලලා සතුටු වෙනවා. ඒ වගේම මගේ හිතට නිතර දැනෙනවා මම ලොකු පින්කමක් කළා කියලා.

මේ උපමාවෙන් කොච්චර දෙයක් කියවෙනවා ද?
දරුවෝ අපිට වඩා ඉදිරියට යනවා දකින තරම් සතුටක් දෙමාපියන්ට තවත් නැහැ. අද මගේ දුව වෛද්‍යවරියක් වගේම, විශාරද උපාධි දෙකක් හිමි සංගීතය ශාස්ත්‍රීය මට්ටමින් හදාරන කෙනෙක්. ඇයයි මායි දිනක් රූපවාහිනී වැඩසටහනක ගීත ගායනයට ඉදිරිපත් වුණාම ඇගේ දක්ෂතාවය දැකලා පියකු ලෙසට මගේ දෑසින් සතුටට කඳුළු නැගුණු අවස්ථා අනන්තයි.ඇය වෙනුවෙන් මා විසින්ම රචනා කරලා මමම ගායනා කරන මේ ගීතයට මම ගොඩක් ආසයි.

වැහි බිඳු නොවේද දොළ වුණේ
පොහොට්ටුව නොවේද පිපි මල වුණේ
පොඩි පැළේ නොවේද මහ ගස වුණේ
පුතේ නුඹ කවදාද මට වඩා උස වුණේ…”

අද වනවිට ඔබේ පවුලට තවත් පවුලක් එකතු වී තිබෙනවා?
ඔව්. මගේ පුතා විවාහ වුණේ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ දියණිය සමඟ. ඒ දුව මට පළමුවරට තාත්තා කියලා කතා කරනකොට මගේ මුළු ඇඟම හිරිවැටිලා ගියා. ඇත්තටම ඒ දරුවා පවුලට එකතු වුණාම මට දැනුණේ අපේ පවුලට තවත් දුවෙක් ලැබුණා කියන උතුම් සතුට. අපි මේ ලෝකයේ ඉන්න සෑම දරුවකුටම ආදරය කරනවා කියන්නේ, මානව ගුණධර්මවලින් පිරිච්ච මිනිස්සු විදිහට ඒක හරිම වටින දෙයක්.”

ඔබේ ප්‍රාර්ථනය දරුවන් වෙනුවෙන්?
ලොවක් නිර්මාණය වන්නේ මවගේ කිරිවලිනුයි, හිරුගේ රැස්වලිනුයි බව මහා දාර්ශනිකයන් පවා ප්‍රකාශ කර තිබෙන දෙයක්. එහි විවාදයක් නැහැ. ඒ උතුම් බිහිවීමට පණ දෙන්නේ පියෙක්. උතුම් දරුවකු සමාජගත කිරීමේ වගකීම දෙව්ර රැඳෙන්නේ පියකුට. ඒ උතුම් පින්කමක් කළා කියලා ලොකු සතුටක් මගේ හිතට අද දැනෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!