Gossip

“මගේ සීයා ඒ වගේම තාත්තා තේ වතුවල වැඩ කළේ, ඇයි අපි කවුද කියලා කියන්න ලැජ්ජා? – ජාතීන් රැසක් එක පවුලකට කැන්දූ රොසලින් නෝනා – Photos

“අදු එනික්කි පරයන් වයියා… දෙයිවත්තුඩන් තාන් කෙක්කනම්”

රොසලින් මේරි ගෝමස් මහත්මිය මා නොදන්නා බසකින් පිළිතුරු දුන්නාය.
මෙතරම් සතුටින් හා නිරෝගීව ජීවත් වන්නේ කෙසේද යන්න මා ඇගෙන් ඇසූ ප්‍රශ්නයයි. මා ඒ පැනය ඇසුවේ සිංහලෙනි. සිය දිවි මගේ 105 වන සැතපුම් කණුව අභියස සිටින ඇය දකින ඕනෑම කෙනෙකුට මුලින්ම සිහියට නැගෙනු ඇත්තේ එම ප්‍රශ්නයයි.
“ඒක මට කියන්න බැහැ. දෙයියන්ගෙන් තමයි අහන්න ඕනෑ කියල තමයි අම්ම ඒ කිව්වෙ යැයි රොසලින් නෝනාගේ වැඩිමහල් දියණිය මට පහදා දන්නාය.

“මොකද්ද මේ භාෂාව? ”
මගේ දෙවන පැනය යොමු වූයේ රොසලින් නෝනාගේ මිනිපිරිය වන ලියෝනි පැට්ට්‍රිෂියා තවරාජාටය. “ඒක මලයාලම් භාෂාව.” ලියෝනි මට ලබා දුන්නේ කෙටි පිළිතුරකි. ඉන් පසුව මේ ටිකද එකතු කළාය. “මම නම් මලයාලම් දන්නේ වචන කීපයක් විතරයි. මගේ අම්මි නම් ටිකක් දන්නවා. මගේ මම්මා ඒ කියන්නේ අම්මිගේ අම්මි ඔය මුලින් කිව්වේ එකත් හරියටම හරිද කියලා කියන්න දන්නේ නැහැ. මොකද දැන් සියලු භාෂාවල් කලවම් වෙලා තියෙන්නේ.”

මලයාලම්
දකුණු ඉන්දියානු සම්භවයලත් ශ්‍රී ලාංකික ප්‍රජාව අතර මලයාලි ප්‍රජාවටද හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙරටට මලයාලි ප්‍රජාවගේ සංක්‍රමණය ඉතා ඈත අතීතයේ සිට අවස්ථා ගණනාවක සිදු වී තිබිණ. පාණ්ඩ්‍ය, චෝල, කේරළ රාජධානිවලින් 14වන සියවසේදී පමණ මෙරටට කුලී හේවායන් පැමිණි බවට ඉතිහාසය සාක්ෂි දරයි.
ඉන් සියවස් ගණනකට පසුද විවිධ හේතු සාධක පදනම් කරගනිමින් මෙරටට මලයාලි ප්‍රජාවගේ සංක්‍රමණය සිදුවිය. කේරළය සමග තිබූ වෙළද සබඳතාවන්ද ඊට හේතු වී තිබුණි.
පසුව බ්‍රිතාන්‍ය පාලන සමයේද කේරළයේ සිට මලයාලි ප්‍රජාව මෙරටට පැමිණෙන්නේ කෝපි, තේ, රබර් වැනි වගාවන් සමග බැදුණු රැකියා සදහාය. ඊට අමතරව යුරෝපීය පාලනය යටතේ මලයාලි ජාතිකයින් මෙරට ආයුර්වේද, අධ්‍යාපන, දුම්රිය, පොලිස් ආදී විවිධ ක්ෂේත්‍රවල රැකියාවල නිරතව තිබේ.
කේරළයේ පොල් වගාව ප්‍රචලිත බැවින් මෙරටට රා මදින්නන් ලෙසද ඔවුන් ගෙන් වූ බව කියැවේ. ඒ අනුව මෙරට රා මදින්නන්, කුරුදු තලන්නන්, ධීවර ප්‍රජාවේද බොහෝදෙනා එලෙස කේරළයේ සිට පැමිණි පිරිසගේ සම්භවයෙන් පැවත එන්නන් බවද ඇතැම් ඉතිහාසඥයින්ගේ මතයයි. පසුොකාලීනව මෙම ප්‍රජාවේ බොහෝ දෙනා අධ්‍යාපන, වෛද්‍ය, හෝටල් ආදී ලෙස විවිධ ක්ෂේත්‍රයන්හි රැකියාවල නිරතවන්නන් බවට පත් විය.
හින්දු මලයාලම්, ක්‍රිස්තියානි මලයාලම්, ඉස්ලාම් මලයාලම් ලෙස ප්‍රභේද කීපයක් කේරළයේ වාසය කරයි. මෙරටද විවිධ ආගම්වලට අයත් මලයාලි ජාතිකයින් සිටියත් අද වන විට ඉන් බොහෝ දෙනා දමිළ, මුස්ලිම් හෝ සිංහල ජාතීන් ලෙස අනුගතව ඇති බව පෙනෙන්නට තිබේ. කිලිනොච්චියේ පිහිටි මලයාලම්පුරම් ගම්මානයද මලයාලි වැසියන්ගේ වාසභූමියක්ව පැවතිණ. කෙසේ හෝ තවමත් දිවයිනේ විවිධ ප්‍රදේශවල ශ්‍රී ලාංකික මලයාලි වැසියෝ 25,000ක් පමණ පමණ තම අනන්‍යතාව රදවා ගනිමින් හෝ නොගනිමින් දිවි ගෙවති. මෙරට වෙසෙන මලයාලි ප්‍රජාවට අයත් ඇතැම් දෙනා අද තමන් මලයාලි සම්භවයෙන් පැවත එන්නන් බව පැවසීමටද දක්වන්නේ මැලි කමකි.

“අපි මලයාලම්. ඉන්දියාවේ කේරළයේ ඉදලා ලංකාවට මුලින්ම ඇවිල්ලා තියෙන්නේ මගේ සීයා. ඒ කියන්නේ මගේ තාත්තා ඉපදිලා තියෙන්නේ ලංකාවේ. මගේ සීයා ඒ වගේම තාත්තා තේ වතුවල වැඩ කළේ, ඇයි අපි කවුද කියල කියන්න ලැජ්ජා? අපි මේ රටේ හොඳට ජීවත් වුණ පුරවැසියෝ. දැන් අපිත් ශ්‍රී ලාංකික තමයි.” රොසලින් නෝනාගේ ඒ වචන කීපය විසි හැවිරිදි තරුණියක මෙන් විණි.

එස් හා ඉසෙඩ්

“අපි ‘එස්’ ගෝමස්ලා නෙවෙයි. අපි ‘ඉසෙඩ්’ ගෝමස්ලා. කරුණාකරලා ලියද්දි එහෙම ලියන්න.” රොසලින් නෝනා ගේ ඒ ඉල්ලීම මට අවබෝධ වූයේ නැත. තප්පර කීපයක මගේ නිහැඬියාව හා කල්පනාව ලියෝනි අවබෝධ කරගත් සෙයකි.
“ඔයාට පැහැදිලි නැහැ නේද මම්මා කිව්ව එක? මම්මා කිව්වේ අපේ වාසගම ලියද්දි අගට එස් අකුර නැතුව ඉසෙඩ් අකුර දාන්න කියලයි. සිංහල භාෂාවෙන් උච්චාරණය කරද්දී මේකේ පැහැදිලි වෙනසක් නැහැ. නමුත් ඉංග්‍රීසියෙන් ලියද්දි මේකේ වෙනස පැහැදිලියි.”

ලියෝ මගේ සටහන් පොත අතට ගෙන ඉංග්‍රීසියෙන් යමක් ලියා මට පේන්නුවාය. එහි සඳහන් වූයේ , Dias – Diaz , Gomes – Gomez , Perera – Pereira යන්නයි.

ඔයා මේක නොදන්නා බව පිළිගත්තා. නමුත් අපේ අය උප්පැන්නේ හදන්න ගියාම, ජාතික හැඳුනුම්පත හදන්න ගියාම මේ ගැටලුවට මුහුණ දෙනවා. ඒ අවස්ථාවලදී ඒ අය මේ තත්වය පිළිගන්න ලෑස්ති නැහැ. අපේ අනන්‍යතාව අපිට වටිනවා.”

ළමා විය
රොසලින් මේරි ගෝමස්z උපත ලැබුවේ 1914 .09.20 වැනි දින මහනුවර ඉරසගලදී එකොළොස් දෙනෙකුගෙන් යුත් පවුලක පස්වෙනියා වූ රොසලින් නෝනා අකුරු කර ඇත්තේ මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමයේය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි මෙන්ම මලයාලම් භෂාවද කතා කිරීමට මෙන්ම ලිවීමට කියවීමටද හැකියාවක් ඇති රොසලින් නෝනා උසස් අධ්‍යාපනයක් ලැබුවත් රැකියාවක් තෝරා නොගන්නේ එකල කාන්තාවන් රැකියා සඳහා යාමේ අඩු ප්‍රවණතාවයක් දැක්වූ හෙයිනි.

”මට රස්සාවක් කරන්න අවශ්‍යතාවක් තිබුණෙ නැහැ. අපිට හොඳට සල්ලි පනම් තිබුණා. අපේ සියලුදෙනා තේ වතු අශ්‍රිතව තමයි වැඩ කළේ. ඉතින් මම මොකටද රැකියාවකට යන්නේ? ගුරුපත්වීමක් වගේ ගන්න වුණත් අධ්‍යාපන සුදුසුකම් මට තිබුණා.” රොසලින් නෝනා පැවසුවාය.

රෝස්ලි
රොසලින් මේරි ගෝමස්z මාතාව “රෝස්ලි” යන ආදරණිය නාමයෙන් මුලින්ම අමතා ඇත්තේ ලාසරස් ජෝර්ජ් ගෝමස් මහතායි. 1944 මැයි මස විසිපස්වෙනි දිනයි. මහනුවර කතෝලික දේවස්ථානයේ පැවති දිව්‍ය පූජා යාගයකින් අනතුරුව මේ දෙදෙනා යුග දිවියට එළැඹ ඇත. ලාසරස් ජෝර්ජ් ගෝමස්z මහතාද තේ වතු නිලධාරියෙකු ලෙස සේවය කර ඇති අතර පසු කාලීනව තේ වතු හිමිකරුවෙකුද වී ඇත.
“මට අද වගේ මතකයි. ඒ දවස්වල දෙවන ලෝක යුද්දේ. හැමදේම හිඟයි. රෙදි ගන්න හරි අමාරුයි. රෙදි දෙන්නේ කුපන්වලට විතරයි. මම වෙඩින් එකට රෙදි ගත්තේ පෝලිමේ ගිහින් කුපන් එක දීලයි.” රොසලින් නෝනා සිය අතීත මතක ආවර්ජනයක යෙදුණාය.
රොසලින් නෝනාට දරුවන් පස් දෙනෙකි. ඉන් පළමුවැන්නිය මේරි ස්ටෙලා බ්ලොසම් තවරාජා මේ වන විට හැත්තෑතුන්වන විය සපුරයි. ඇය විවාහ වී ඇත්තේ පොලිස් නිලධාරියෙකු වූ යාපනයේ උපත ලැබූ ද්‍රවිඩ ජාතිකයෙකු වන ටෙරන්ස් තවරාජා මහතායි. ඇයට දරුවන් තිදෙනෙකු සිටින අතර බාල දියණිය ලියෝනි විවාහ වී ඇත්තේ මාතර සිංහල බෞද්ධ තරුණයෙකු වන චමින්ද සම්පත් මහතා සමගය. ලියෝනිගේ එකම සහෝදරයා පෝලන්ත ජාතික කාන්තාවක් විවාහ කරගෙන සිටි.

රොසලින් නෝනාගේ දෙවැන්නා ස්ටැන්ලි ජෝර්ජ් ඩග්ලස් මුස්ලිම් ජාතික කාන්තාවක් විවාහ කර ගත් අතර ඔහු තේ වතු ආශ්‍රිත රැකියාවක නිරත වී තිබිණි. තුන් වැන්නා ජෝන් ලාසරස් නොයෙල් මේ වන විට මියගොස් ඇති අතර සිව් වැන්නිය ලෝන මරියා ඇසෙන්ටාය. බඩපිස්සිය වූ මරියා ලුඩ්ස් විදේශ ගතව ජීවත් වෙයි .

ඔරප්පම්
“orappam” කේරළයේ ප්‍රසිද්ද කෑමකි . ගෝමස්z ලා සමග ශ්‍රී ලංකාවට පැමිණි “ඔරප්පම්” රොසලින් නෝනලාගේ කුඩා අවදියේ මෙරටද ජනප්‍රියව තිබුණත්, අද වන විට ඒ ගැන දන්නෝ විරල වෙති. එසේ වුවත් ඉදහිට හෝ තමන් මෙය දැනටත් හදන බව රෝස්ලින් නෝනා පැවසුවාය.
මේකේ ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි හාල් පිටි, ඊළගට බිත්තර, හකුරු, බටර්, බේකින් පවුඩර්, සීනි, ඊට අමතරව රටඉඳි. මිදි. කජු හා මාදුරු මේකට එක්කරගන්න ඕනෑ. කේක් එකක් හදා ගන්න විදිහට මේක මිශ්‍ර කරගෙන හුමාලයේ තබ්බ ගන්න පුළුවන්. ඒ වගේම තමයි තෙල් රොටිය මේකත් ජනප්‍රිය කෑමක්. මේක හදා ගන්නේ පිටිවලට ආප්ප සෝඩා දාලා. පොල් වතුරෙන් අනාගන්නවා. පස්සේ දිය ලුණු ටිකක් දාලා පොඩියට රවුම් කපා ගන්න ඕනෑ. පස්සේ මේ රවුම් උතුරන තෙලට දමන්න ඕනෑ.

අහිමි වීම

“අපිට සියල්ල අහිමි වුණේ අපි යූ.එන්.පී. වුණ නිසා කියල තමයි මට හිතෙන්නෙ. 1970 අපිට තිබුණ තේ අක්කර පනහයි තේ ෆැක්ටරියයි දෙකම අහිමි වුණා. අපි එතකොට ජීවත් වුණේ නාවලපිටියේ. අපේ සියලු දේ ගිනි තිබ්බා. මේවා සියල්ල කළේ අපේ දේ අයිති කරගන්න. වෙන මොකටවත් නෙමෙයි. අපි ඊට පස්සේ ඒ සියල්ල දෙහිවලට අවා. අන්තිමට තමයි මේ දැන් ඉන්න කඳාන නාගොඩට ආවේ. ඒ දේවල් තිබුණ නම් අපි අද හොඳින් ජීවත් වෙනවා.” රොසලින් නෝනා දිගු සුසුමක් හෙළුවාය.

සංහිදියාව
රොසලින් නෝනලාට වූ අසාධාරණයට කිසිදා සාධාරණයක් නොවූවත් ඔවුන් කිසි දිනක එසේ කළ වුවන් කෙරෙහි තරහක් නොමැත. ශ්‍රී ලංකික සියලු ජන වර්ගවලට මෙන්ම ලෝකයේ රටවල් රැසකට නෑකම් කියන රොසලින් අම්මා අදටත් තැවෙන එකම කාරණය වන්නේ තම මුනුපුරාගේ ජීවිතය රැක ගන්නේ කෙසේද යන්නයි. ඇය පසුගිය වසර කීපයේ ඇගේ ඥාතීන් ගෙන් ඉල්ලා ඇති එකම ඉල්ලීම වී ඇත්තේ සම්පත්ගේ ජීවිතේ බේරගන්න ඕනෑ පුළුවන් විදිහට කීයක් හරි දෙන්න යන්නයි.
“මගේ මුනුපුරා ඒ කියන්නේ මගේ දුවගේ, දුවගේ මහත්තයා, එයාට දෙවෙනි වතාවට තමයි වකුගඩුවක් බද්ද කරන්න වෙලා තියෙන්නේ. මීට අවුරුදු පහළොවකට ඉස්සරලා බද්ද කළ වකුගඩුව නරක් වෙලා. සතියකට දෙවතාවක් ලේ මාරු කරනවා. වියදම බෝහෝම සැරයි. දැන් මම ජීවත් වෙන්නේ එයාව ජීවත් කරවන්නයි. මට වයස අවුරුදු 105 ලබන්නේ එන මාසේ. මම තව කල් ඉන්නවා. ඒ මගේ සිංහල බෞද්ධ මුනුපුරා වෙනුවෙන්. මම අදහන්නේ කතෝලික ආගම. මගේ ආගමේ හැටියට මම හැමදාම එයා වෙනුවෙන් ඔරසම කියනවා.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!