Gossip

මගේ අම්මා තාත්තාව ඈත් කරන්නේ නැහැ – සතියකින් දෙකකින් මම ආයෙත් සුපුරුදු රඟපෑමට එකතු වුණා – තිසුරි යුවනිකා

තිසුරි… අලුත් ජීවිතයට හරියට මාසයක් ගෙවුණා… කොහොමද ජීවිතේ…?
අලුත් ජීවිතේ හොඳයි… සුන්දරයි. සුරාජ් එක්ක ඒ අලුත් ජීවිතේ සුන්දරව ගතකරනවා.

සුරාජ්ගේ රැකියාව එක්ක ලංකාවේ රැඳෙන්න තිබුණ කාලය හරි අඩුයිනේ. තිසුරිගෙයි, සුරාජ්ගෙයි විවාහ උත්සවය සංවිධානය කළේ කවුද…?
සුරාජ් ලංකාවේ හිටපු කාලවල එයත් ඒකට උදව් කළා. එයා ලංකාවේ නැති කාලයේදී මමත්, මගේ අම්මයි, තාත්තයි වගේම සුරාජ්ගේ පවුලේ හැමෝමත් එක්ක එකතුවෙලා තමයි අපි මේ උත්සවය සංවිධානය කළේ. සුරාජ් ළඟ හිටියේ නැතත් ඒ හැමදේටම එහේ ඉඳන් එයා සම්බන්ධ වුණා. හැබැයි අපි එහෙම ලොකුවට ප්ලෑන් කළේත් නැහැ. මට හැමවෙලේම ඕන වුණේ චාමෙට, හරි පිළිවෙළට චාරිත්‍ර ටික හරි පිළිවෙළට කරලා අපේ වෙඩින් එක ගන්නයි.
ඒ නිසා අනවශ්‍ය නැටුම්, සප්‍රයිස් ඩාන්ස්වලට එහෙම අපි කැමති වුණේ නැහැ. උත්සවයේ තිබුණු තාත්තගෙයි මගෙයි නැටුමත්, සුරාජ්ගෙයි මගෙයි නැටුමත් අපි ප්ලෑන් කරලා, පුරුදු වෙලා කරපු දෙයක්වත් නෙමේ. මම උඩරට විදිහට අඳිනවානම් ඒක මට පිළවෙළට ඕන වුණා. ඒ විතරක් නෙමේ. චාරිත්‍ර හැම එකක්ම හරි පිළිවෙළට කරන්නත් මට ඕන වුණා. ඒ අනුව තමයි හැමදේම කළේ. ඒකට ගොඩාක් අය සතුටු වුණා. වෙඩින් එකක් කියන්නේ ඇත්තටම සිහිනයක්. ජීවිතේ එකම එක වතාවක් ගන්න උත්සවයක්. ඒ දේ හරියට, පිළිවෙළට, චාමෙට කරන්න මටයි සුරාජ්ටයි ඕන වුණා. මම හිතන්නේ අපි ඒ අපේ වෙඩින් එක චාමෙට ගත්තා.

තිසුරි පවුලේ එකම දරුවා. අවුරුදු ගාණක් අම්මා තාත්තා එක්ක හුරතල් වුණු පුංචි කෙල්ල. ඒ දෙන්නා තනි කරලා දීග යද්දී ඇත්තටම මොකද හිතුණේ…?
ඒක ඇත්තටම අදටත් මට වචනයෙන් කියාගන්න බැරි දුකක්. ඒක හරි අමාරුයි. තාමත් ඒ හිත් අමාරුව හිතේ තියෙනවා. මට විතරක් නෙමේ. තාමත් ඒ දුක මගේ අම්මටයි, තාත්තටයි තියෙනවා. අපි තුන්දෙනා එකටමයි හිටියේ. එහෙම ඉඳලා වෙන්වෙනවා කියන්නේ ඇත්තටම අමාරු දෙයක්. ඒ දුක නැති කරගන්න අපි වැඩිපුරම එහේට යනවා. සුරාජ්ලාගේ ගෙදර ඉඳන් අපේ ගෙදරට විනාඩි දහයක වගේ දුරක් තමයි තියෙන්නේ. ඉතින් ඉඩ ලැබුණහම අපි අම්මලාගේ ගෙදර යනවා. මෙහෙත් ඉන්නවා. අනික මම එකතු වුණේ මම නොදන්නා පවුලකට නෙමේ. පුංචි කාලේ ඉඳන් මම සුරාජ්ලා දන්නවා. ඒ නිසා ලොකු බයක් දැනුණේ නැහැ. හැබැයි මගේ අම්මගෙන් තාත්තගෙන් වෙන්වුණ දුක තුනීකරගන්න ටිකක් අමාරුයි. මම අම්මට කතා කරනවා. පුළුවන් හැමවෙලේම එහේ යනවා. ඒ දෙන්නා එනවා. ඒ නිසා ටිකක් ෂේප්.

බඳින්න කලින්… හිතුවද ඔය වෙන්වීම මේ තරම් දුකක් වෙයි කියලා…?
ඇත්තටම නැහැ. මම කසාද බඳින්න ලෑස්ති වෙද්දීත් දැනගෙන හිටියනේ මට ඒ ගෙදරින් ඈත්වෙන්න වෙනවා කියලා. හැබැයි ඒකට මේ තරම් දුකක් වෙයි කියලනම් මම කවදාවත් හිතුවේ නැහැ. ඒක මට පුදුමාකාර විදිහට දැනුණා. ඒ වෙන්වීම ඇත්තටම හරිම අපහසු මොහොතක්. ඒතරම් අපහසු මොහොතක් මම මගේ ජීවිතේ කොයිම මොහොතකවත් අත්විඳලා තිබුණේ නැහැ. ඒක දුක සතුට එකට ගතවුණු මොහොතක්. මම ආදරේ කරපු කෙනා බඳින්න ලැබීම ඇත්තටම සතුටක්. ඒ වගේම ලොකු දුකක් අම්මයි තාත්තයි දාලා යනඑක මට දැනුණා. අවුරුදු ගාණක් මම හැදුණේ ඒ දෙන්නා ළඟ. ඉතින් ඒ දෙන්නාගෙන් වෙන්වෙලා යන ඒ මොහොත කියලා විස්තර කන්න බැරි හරි අපහසු මොහොතක්. එක වෙලාවකට “ඇයි මෙහෙම බඳින්නේ කියලත් හිතුණා. ඒ වුණාට ඒක තමයි ලෝක ස්වභාවය. හැම ගැහැනු දරුවෙක්ටම මේ දේට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මටත් ඒක කරන්න වුණා. හැබැයි මම බැන්ඳා කියලා මම කවදාවත් මගේ අම්මා තාත්තාව ඈත් කරන්නේ නැහැ. සුරාජ් මම ගැන වගේම මගේ අම්මා තාත්තා ගැනත් හොඳට දන්නවා. ඒ නිසා ලැබිච්චි ගමන් අපි අම්මලා ළඟට යනවා.

වෙනදාට අම්මා තාත්තා එක්ක එකම කැදැල්ලේ හිටපු තිසුරි විවාහ උත්සවයෙන් පසුව අම්මා තාත්තා නැතිව ගතකරපු මුල්ම දවස් ගැන මොකද හිතන්නේ…?
ඇත්තටම හොටෙල් එකෙන් අපි පිටත් වෙලා අපි ඉන්න තැනට ගිහින් අපේ අම්මලා දෙගොල්ලොම රෑ වෙනකම් අපේ ගෙදර හිටියා. ගොඩාක් රෑ වෙලා තමයි ඒ අය ගියේ. ඒ නිසා ඒක නුහුරු දවසක් තමයි. නමුත් සුරාජ් ගැන මම හොඳට දන්නවා. එයා මාව හොඳින් තේරුම් අරගෙන ඉන්නේ. ඉතින් අම්මා වගේම එයා මාව බලාගන්න දන්නවා කියලා මම දන්නවා. මගේ හැටි සුරාජ් දන්නවා. ඒක නිසා ලොකු අපහසුතාවයක් එයා එක්ක මට දැනුණේ නැහැ. හැබැයි අම්මලාගෙන් අයින් වෙලා හිටපු මුල් දවස් දෙක තුන පොඩි චකිතයක් තිබුණා.

කොහොමද දැන් බිරිඳගේ භූමිකාව සැබෑ ජීවිතේදී තිසුරිගෙන් සිදුවෙනවාද…?
අපි ඉන්නේ සුරාජ්ගේ අම්මා තාත්තා එක්කයි. ඒ අම්මයි තාත්තයි හරිම හරි හොඳ මව්පියෝ දෙන්නෙක්. බිරිඳ කියන තනතුර තාමත් මට චුට්ටක් නුහුරුයි. තාම මම ඒකට හුරුවෙමින් තමයි ඉන්නේ. තාම අර තනිකඩ ජීවිතේ තමයි වැඩකදී වුණත් ඉස්සරහට එවෙන්නේ. සමහර වෙලාවට මොකක් හරි ගෙනියද්දී මඟදී තමයි “ආ… මෙයාගේ එකත් ගෙනියන්න ඕනේ.කියලා මතක් වෙන්නේ. හැබැයි සුරාජ්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.
එයා මාව හොඳටම තේරුම් අරගෙන තමයි ඉන්නේ. ඉතින් එයාගේ දේවල් හොයලා බලනවාට වඩා සුරාජ් මගේ දේවල් තමයි හොයලා බලන්නේ. එයා මම ගැන දන්නවා. හැබැයි මම ගෙදරදී සීනිබෝලයක් විදිහට හැදුණු කෙනෙකුත් නෙමෙයි. මට පුළුවන් උපරිමයෙන් මම ගෙදර ඉන්න වෙලාවක එයාගේ වැඩ බලනවා. එයාගේ අම්මට උදව් වෙනවා. මගේ අම්මා මට හොඳට වැඩ උගන්නලයි තියෙන්නේ. ඒ නිසා ගෙදර ඉන්න හැම දවසකම මම අම්මට උදව් වෙනවා. මටත් හොඳ රසට උයන්න පුළුවන්.

විවාහ වුණු අලුතම ආයෙමත් තිසුරි කැමරාව ඉස්සරහට ගිහින්…? අලුත් මනමාලියට ගෙදර ඉන්න කාලයක් නැති තරම්…?
ඔව්නේ… මම මගේ වෙඩින් එක නිසා නාට්‍ය තුනකටම දින දුන්නේ නැහැ. ඒ නිසා තුනෙන්ම මට ලොකු සහයෝගයක් ලබලා දුන්නා. හැබැයි මේ දිනවල විකාශනය වෙන ටෙලිනාට්‍ය තුනක් නිසාම මට ලොකු නිවාඩුවක් ගන්නත් බැහැ. එහෙම කළොත් ඒක මම ඒ කණ්ඩායම්වලට කරන්නේ අසාධාරණයක්. මේක මගේ රැකියාව. මට වගකීමක් තියෙනවා. ඒනිසා සතියකින් දෙකකින් මම ආයෙත් සුපුරුදු රඟපෑමට එකතු වුණා.

සුරාජ් එහෙටත් රූගත කිරීම් බලන්න එනවද…?
නැහැ. එයා තාමත් රූගතකිරීම් බලන්න නම් ඇවිත් නැහැ. තවමත් එහෙම එන්න වෙලාවක් ලැබුණේ නැහැ. හැබැයි එන්න ඕනේ කියා කියානම් එයා ඉන්නවා.

සුරාජ් වැඩිපුරම කැමති මොනවගේ දේවල්වලටද…?
එයා හරිම විනෝදයට බර කෙනෙක්. එයා ඕන තැනකට අනුව එයා හැඩගැස්සෙනවා. මම එයාට කැමති වෙන්න මූලික හේතුවත් ඒක වුණා. කවුරු හරි සින්දුවක් අහනවා නම් එයා ඒක අහන්නේ නැතත් අර කෙනා වෙනුවෙන් එයා ඒක අහනවා. එයාට ඇඳකත් නිදාගන්න පුළුවන්. පැදුරක් නැතිව බිම වුණත් නිදා ගන්න පුළුවන්. ඒ නිසා එයා එක්ක ගතකරන ජීවිතේ හරි සුන්දරයි.

එහෙම සුන්දර තරුණයා ගෙනාපු ප්‍රේම යෝජනාවට කැමති වෙන්න ඇයි ඔච්චර කල්ගත්තේ…?
එහෙම නැතිව බැහැනේ. ගැහැනු ළමයෙක් වුණාම පොඩ්ඩක් ගණන් උස්සන්න ඕනේ තමයි. පැනලා දෙන්න හොඳ නැහැ. සමහරු එහෙම අහලා උපරිමයෙන් මාස තුනක් හතරක් උත්තරේ බලලා දුන්නේ නැත්නම් වෙන එකකට යනවා. ඉතින් මම ඒ ගැනත් හිතුවා. ජීවිතේ එකපාරක් ගන්න තියෙන තීරණයක් පොඩි වගකීමක් තිබුණා. බයත් තිබුණා. හැබැයි ඉතින් හිතුවාටත් වඩා කාලයක් සුරාජ් මම ගැන ඉවසාගෙන බලාගෙන හිටියා. ඒ කියන්නේ එයා මට ආදරේ නිසානේ.

ඇත්තම කියන්න… සුරාජ් ඔයාගෙන් කැමති ද අහද්දීත් ඒකට උත්තර දෙන්න කල්ගන්නට ඒ කාලය තුළදී සුරාජ් ගැන හොයලා බැලුවා නේද…?
ඔව්… ඔව්… අපි සියයට සීයක් අකමැතිනම් ඒක කෙලින්ම කියනවානේ. හැබැයි මට සුරාජ්ට එහෙම කියන්න ඕනකමක් තිබුණේ නැහැ. මගේ හිතේත් එයා ගැන කැමැත්තක් තිබුණා. හැබැයි මගේ හිතේ හැමවෙලේම තිබුණේ යාළුවෙනවා නම් ඒක විවාහයකින් කෙළවර වෙන්න ඕනේ කියන අදහසම තමයි. ඒ නිසා මට ඒ තීරණය එකපාරටම එයාට කියන්න බයක් තිබුණා. මේක මගේ ප්‍රථම ආදරය. සුරාජ්ගේත් ප්‍රථම ආදරය. ඉතින්… ආදරය කියන්න කල්ගන්නට එයා ගැන හොඳ සෙවිල්ලෙන් හිටියා. අන්තිමේදී අපි දෙන්නගේ ප්‍රථම ප්‍රේමය ආදරණීය විවාහයක් වුණා.

මොනවද තිසුරි තියෙන බලාපොරොත්තු…?
ඉස්සර ඉඳන්ම ලොකු බලාපොරොත්තු, ප්ලෑන් කරපුවා, මගේ ජීවිතේ තිබුණේ නැහැ. හැම තිස්සේම හැමදේම හොඳට කරලා කාටවත් කරදරයක් නොකර හැමදේම හොඳින් සිද්ධ වෙන්න ඕන කියන බලාපොරොත්තුව තමයි හැමදාම තිබුණේ. ඉස්සරහටත් එහෙමයි…

සුරාජ්… ආයේ කවදා විතර නැවි නගීද…?
එයාට මෙහේ විභාග වගයක් කරන්න තියෙනවා. වෙඩින් එක දාගත්තෙත් ඒවාත් එක්කමයි. ඒ නිසා ලබන අවුරුද්දේ තමයි ආය එයා යන්නේ.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!