Gossip

මගේ අතකට සිදු කරපු සැත්කම් තුනක්‌ නිසා ක්‍රිකට්‌වලින් ඈත් වෙලා ඉන්න සිද්ධ වුණා – ධම්මික ප්‍රසාද්

ධම්මික ප්‍රසාද් කියන්නෙ අපේ රටේ ඉන්න දක්‌ෂ වේග පන්දු යවන්නෙක්‌. පහුගිය කාලෙ අතක ඇති වුණ ආබාධයක්‌ නිසා තාවකාලිකව පිටියෙන් සමු අරන් හිටිය ඔහු නැවතත් කරළියට පැමිණෙමින් සිටින මොහොතක ඔහු පුවත්පතක් සමග ඔහුගේ අදහස් දක්වා තිබුණේ මෙලෙසයි.

මේ දවස්‌වල මොකද කරන්නෙ?
පහුගිය කාලෙ මුහුණදීපු ආබාධ තත්ත්වෙන් පස්‌සෙ නැවත ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින අතරෙ පුහුණු තරග කිහිපයකටත්, වෙළෙඳ සේවා තරග තුනකට සහක්‍රීඩා සමාජ තරග දෙකකට සහභාගි වුණා

කොච්චර පුහුණු වුණත් වැඩිපුර එළියෙ නේද?
මගේ අතකට සිදු කරපු සැත්කම් තුනක්‌ නිසා අවුරුදු එකහමාරක්‌ ක්‍රිකට්‌වලින් ඈත් වෙලා ඉන්න සිද්ධ වුණා. ඒක ලොකු කාලයක්‌.

ඔබට කණ්‌ඩායමේ ස්‌ථිර තැනක්‌ නැහැ කිව්වොත්?
කාලයක්‌ පේන්න හිටියෙ නැති වුණාට මම කණ්‌ඩායමේ හිටපු ස්‌ථිර වේග පන්දු යවන්නෙක්‌.

ෆිට්‌නස්‌ මදි කියන එක ක්‍රීඩකයෙකුට හොඳ නෑ නේද?
ඒක ඇත්ත. ක්‍රීඩකයෙක්‌ වුණාම සියයට සියයක්‌ ෆිට්‌නස්‌ තියෙන්න ඕන. ඒත් ඉතින් ක්‍රීඩකයෝ ආබාධාවලට ලක්‌ වෙන්නෙ ක්‍රීඩාව නිසාමනෙ. ඒකයි ක්‍රීඩාවේ ස්‌වභාවය.

කණ්‌ඩායමේ තැනක්‌ අහිමිවීම ගැන මොකද හිතෙන්නේ?
අවුරුදු එකහමාරක්‌ කණ්‌ඩායමෙන් ඈත් වෙලා ඉන්න අතරෙ TV එකේ මැච් බලද්දි විශේෂයෙන්ම කණ්‌ඩායම පරාද වෙද්දි ලොකු අසීරුවකට පත් වෙනවා.

ගෙදර ජීවිතේ ගත වෙන්නෙ?
ක්‍රිකට්‌වලින් මිදුන හැම වෙලාවකම අම්මා – තාත්තා, මල්ලි සහ මගේ බිරිඳත්, දරුවෝ දෙන්නත් එක්‌ක සංතෝසෙන් ගෙදරට වෙලා ඉන්න තමයි මම කැමැති. කොච්චර කාර්යබහුල වුණත් මම ඒකට වෙලාව වෙන් කර ගන්නවා.

ක්‍රීඩා කටයුතුවලට බිරිඳගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
ඇත්තටම මගේ බිරිඳ නිහාරි මට ලොකු ශක්‌තියක්‌. පහුගිය කාලෙ ඇති වුණ ආබාධ තත්ත්වය නිසා මම ක්‍රිකට්‌වලින් අයින් වෙන්න පවා හිතුවා. ඒ වෙලාවෙ ඇය තමයි මාව දිරිමත් කළේ සියලු වේදනා විඳගෙන නැවත මේ තත්ත්වෙට එන්න.

තාත්තා ක්‍රීඩකයෙක්‌ කියලා දරුවන් දන්නවද?
දුව ඩිහාෂිට දැන් අවුරුදු 6 යි. එයාට ඒ ගැන තේරෙනවා. පිටරට යන්න තියෙන ආසාව නිසා තාත්තා ක්‍රිකට්‌ ගහන්න ඕන කියලා එයා නිතරම කියනවා. පුතා ඩිහාෂ්ට තාම අවුරුද්දයි මාස දෙකයි. එයාට තාම තේරුමක්‌ නෑ.

කවදාහරි පුතා ක්‍රීඩකයෙක්‌ වෙනවා දකින්න ධම්මික කැමැතිද?
කැමැතිදත් අහනවා. මගේ ප්‍රියතම ක්‍රීඩාව සහ රැකියාව වුණ ක්‍රිකට්‌ පුතත් තෝරා ගෙන ඒ තුළින් ඉදිරියට එනවා නම් තාත්තා කෙනෙක්‌ විදියට මට ඊට වඩාසතුටක්‌ තියෙයිද?

අද වන විට ඔබ ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ විතරමද?
ක්‍රිකට්‌ තමයි මගේ ජීවිතේ. ඒ අතර මම T.J ලංකා ආයතනයේ සන්නාම කළමනාකරුවකු ලෙස වැඩ කරනවා.

ජාතික කණ්‌ඩායමට නැවත එකතු වීමේ අදහස දැන් අතහැරලද?
නැහැ. ආබාධයට ලක්‌වෙන අවස්‌ථා වෙන කොටත් මම තමයි ටෙස්‌ට්‌ තරගවල වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා වුණේ. නැවතත් පුහුණුවීම්වල යෙදිලා මගේ සුපුරුදු රිද්මයට අනුව ජාතික කණ්‌ඩායම නියෝජනය කරමින් නවත්තපු තැනින් පටන් ගන්නවා ළඟදීම.

පිට රටකට ගිහින් ක්‍රිකට්‌ ගැහුවොත් මීට වඩා හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?
මීට අවුරුදු කිහිපයකට කලින් මගේ පවුලේ අය හැමෝම වගේ ඔය යෝජනාව කළා. ඒත් එදත් අදත් හෙටත් අපේ රටේ කණ්‌ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරලා ජයග්‍රහණ අත්කර දීම තමයි මගේ එකම සතුට.

ඔබ ලංකාවෙ ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ වීම ගැන පසුතැවිල්ලක්‌ සිටින ක්‍රීඩකයෙක්‌ කිව්වොත්?
ඒ කතාවට මම එකඟ නෑ. ශ්‍රී ලංකාවෙ ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ විදියට මට ලැබිලා තියෙන ස්‌ථානය ගැන මම ඉතාමත් තෘප්තිමත්.

ක්‍රිකට්‌ කියන්නෙ අද හොඳ ආදායම් මාර්ගයන් නිසා නේද හැමෝම ඒ ගැන උනන්දු?
ඔව්. හොඳ ආදායම් මාර්ගයක්‌. ඒත් ආදායම් ලබන්න කියලා ක්‍රීඩකයෙක්‌ වෙන්න බෑ කාටවත්. ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ වීම පුංචි කාලෙ ඉඳලා මට තිබුණ හීනයක්‌. ඒසිහිනය මගේ වාසනාවට සැබෑ වුණා. ඒ තුළ මගේ ආර්ථිකය ශක්‌තිමත් වුණත්ක්‍රීඩකයෙක්‌ විදියට මම ලබන තෘප්තිය මුදලට වඩා ගොඩක්‌ වටිනවා.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!