Gossip

“මගෙයි බිරිඳගෙයි ආදරය විඳිමින් අපේ සෙවනේ හැදුණු දුව නිවසින් පිටව යාම දරාගන්න බැරි දුකක්. ඒක ඕන තාත්තා කෙනෙකුට පොදුයි.. මමත් එදා ඒ අත්දැකීම වින්දා”

ජනප්‍රිය ගායන ශිල්පී අසංක ප්‍රියමන්ත පීරිස්ගේ දියණිය අංජලී පසුගියදා යුගදිවියට පා තැබුවා.
පුංචි කාලේ ඉඳන් තමන්ගේ සෙවණේ හැදුනු දියණිය යුගදිවියට පා තබා නිවසින් පිටව යාම ගැනත් ඔවුන්ගේ ආදර කතාව ඇරඹුණු හැටි ගැනත් අසංක ප්‍රියමන්ත සතිඅන්ත පුවත්පතකට මේ විදිහට හෙළි කරලා තිබුණා.

සුවහසක් පියවරු දියණිවරු වෙනුවෙන් ගී ගැයූ අසංකගේ දියණියත් පසුගියදා යුග දිවියට පිවිසුණා. ඒ අවස්ථාව ඔබේ හදවතට දැනුණේ කොයි විදියටද?
මගේ දරුවන් තිදෙනාගෙන් ලොකු දූ තමයි පහුගියදා විවාහ දිවියට පිවිසුණේ.
මගේ දරුවකු විවාහ ජීවිතයට ඇතුළු වූ ප්‍රථම අවස්ථාව තමයි මේ. ඇත්තෙන්ම ඒක මටයි මගේ බිරිඳටයි සුවිශේෂී අවස්ථාවක් වුණා. ඒ විතරක් නමෛයි, බොහොම හැඟුම්බර අවස්ථාවක්ද වුණා.

ඒ හැඟීම විස්තර කරන්න පුළුවන්ද?
ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් හරිම සංකීර්ණ සහ සංවේදී අවස්ථාවක්.
ඒත් ඒක දරුවාගේ ජීවිතේ සුවිශේෂී වූ අවස්ථාවක්. එයා අලුත් ජීවිතයක් පටන් ගත්තු අවස්ථාව ගැන හිතද්දී දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ.
ඒක ඕනෑම තාත්තා කෙනෙකුට ‍පොදුයි. ඒ වගේමයි පුංචි කා‍ලේ ඉඳන් මගෙයි බිරිඳගෙයි ආදරය විඳිමින් අපේ සෙවනේ හැදුණු දුව නිවසින් පිටව යාම දරාගන්න බැරි දුකක්. ඒකත් ඕනෑම තාත්තා කෙනෙකුට ‍පොදුයි. මමත් එදා ඒ අත්දැකීම වින්දා.

මංගල උත්සවය මොන විදියටද පැවැත්වුණේ?
නිහාල් නෙල්සන් ප්‍රවීණ ගායක ශිල්පියා තමයි දුවගේ පැත්තෙන් අත්සන් කළේ. කලා ලෝකේ මගේ හිතවතුන් විශාල පිරිසක් මංගල උත්සවයට සහභාගි වුණා. දුවගේ මංගල උත්සවයේදී මමත් පුංචි හැඩකාරියේ කියන ගීතය ගැයුවා. මගේ පුතාලත් ගී ගැයුවා.

දුවගේ අත ගත් මනාලයා මොනවාද කරන්නේ?
ඒ පුතා (කලන චාමිකර) සේවය කරන්නේ බ්‍රැන්ඩෙක්ස් ලංකා ආයතනයේ. දුවත් කාලෙකට ඉස්සර ඒ ආයතනයේ රැකියාවක් කළා.
ඒ කා‍ලේ තමයි දෙන්නා අතර ආදර සම්බන්ධයක් ගොඩ නැගිලා තියෙන්නේ. ඒ පුතා බොහොම හොඳ කෙනෙක් හින්දා අපිත් ඒ ආදර සම්බන්ධයට කැමැත්ත දුන්නා. ඒ දෙන්නගේ වසර දෙකක ආදරය තමයි ඔය විදියට විවාහය දක්වාම දුර දිග ගියේ.

අසංකගේ දුව සංගීතයට යොමුවුණේ නැහැ නේද?
දුවට ඉතාම හොඳ ගායන හැකියාවක් තියෙනවා. ඒත් එයා යොමුවුණේ නර්තනය පැත්තටයි. දුව දක්ෂ නර්තන ශිල්පිනියක්. ඒත් රැකියාවට ගියාට පස්සේ නර්තනයෙන් ඈත් වුණා.

පුතාලා නම් සංගීතයට යොමුවුණා නේද?
ලොකු පුතා අසන්ත පීරිස්. මේ වන විට සංගීතයට යොමුවෙලා ඉන්නේ. එයා ගීත 3ක් කළා. දැන් ඒ ගීතවලට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ප්‍රසංග වේදිකාවෙත් දැන් පුතා ගී ගයනවා. උසස් පෙළට දෙවැනි වතාවටත් සූදානම් වන හින්දා පූර්ණ කාලයම සංගීතයට යොමු වෙලා නැහැ. ‍පොඩි පුතා අසේන්ත ශ්‍රීමාල් පීරිස් දැනට වේල්ස් කුමර විදුහ‍ලේ හත වසරේ ඉගෙනුම ලබනවා. එයත් ගායනයට ගොඩාක් දක්ෂයි.

අසංකගේ ජීවිතේ ඉදිරි සැලසුම් ගැන කතා කළොත්?
පවු‍ලේ හැමදෙනාවම එකතු කරගෙන නෙළුම් ‍පොකුණ රඟහ‍ලේ විශාල ප්‍රසංගයක් පැවැත්වීම තමයි ලොකුම හීනය.
පුතාලා දෙන්නයි මමයි එහි ගී ගයනවා. දුව නර්තනයේ යෙදෙනවා. ඉදිරියේදී ඒ හීනය ඉටු කරගන්නයි මේ දවස්වල සූදානම.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!