Gossip

“මං වහ බිව්වා. උඹ උඹේ ගෑනි එක්ක සතුටින් ඉඳපං…හැබැයි අප්පච්චිව හොඳට බලා ගන්න.”

නිවෙසේ සිටියදී පෝයකටවත් පන්සලකට ගොඩනොවැදුණ චන්ද්‍රපාල දැන් පුළු පුළුවන් හැම විටම පිං දහම් කරන්නට කාලය වැය කරන්නේය.
ඉඩක් ලද විටෙක ඔහු හිරගෙදර බෝධීන් වහන්සේ පැන් කලයකින් නහවන්නේය. තමන් කළ පව බෝධීන් වහන්සේ නැහැවීමේ පිනෙන් ගෙවා ගත නොහැකි බව චන්ද්‍රපාල හොඳින්ම දන්නේය. එහෙත් කළ පව නිසා තැවෙන හිත හදාගැනීම ඔහුගේ එකම අරමුණය.
චන්ද්‍රපාල වෘත්තියෙන් ගුරුවරයකු වූයේය. විශ්ව විද්‍යාලයට ඇතුලත්ව අධ්‍යාපනය ලැබූ ඔහු වෙනත් රැකියාවක් තෝරා නොගෙන ගුරු සේවයම තෝරා ගත්තේ තම මවත් පියාත් ගිය අඩිපාරේ යන්නට සිතාගෙනය. ඔහුට පළමු පත්වීම ලැබුණේ ගමෙන් දුර බැහැර ප්‍රදේශයකටය.
“අපේ ගෙදර එකම දරුවා මම. අම්මයි අප්පච්චියි කවදාවත් මට බලකළේ නැහැ මහලොකු රස්සාවල් හොයාගෙන යන්න. මම ගුරුවෘත්තිය තෝරාගත්තේ අම්මත් තාත්තත් ඉතාම ගෞරවනීය විදිහට ඒ රැකියාව කරනවා දැකපු නිසා”
“මගේ හැම කටයුත්තක්ම සිදු කෙරුණේ අම්මගේ අතින්. අම්මා මටයි අප්පච්චිටයි පුදුම ආදරයකින් හිටියේ. මං වයසින් වැඩුණත් අම්මා මාව දැක්කේ එයාගේ පොඩි පුතා විදියට. මං අම්මට තියෙන ආදරේ නිසාම විශ්ව විද්‍යාලයේ කා එක්කවත් යාළු වුණේ නැහැ. මං එහෙම කා එක්ක හරි යාළු වුණොත් අම්මගේ හිත රිදේවි කියලා මට හිතුණා. මං බත්කාලා ඉවර වුණාම මගේ පිඟාන හේදුවේ අම්මා. රෙදි ටික හෝදලා මැදලා දුන්නේ අම්මා. කොටින්ම කිව්වොත් මගේ හැම දෙයක්ම හොයලා බලලා කරලා දුන්නේ අම්මා.”
“අපේ නෑයෝ නම් අම්මට හුඟක් දොස් කිව්වා මාව හුරතල් කරනවා කියලා. මං ටික කාලෙකට පස්සේ ගමේ ඉස්කෝලෙට මාරුවක් අරගෙන ආවා. ඒ වෙනකොට අම්මයි අප්පච්චියි විශ්‍රාම ගිහිල්ලා හිටියේ. ඒත් අපේ ජීවිත කිසිම වෙනසක් නැතිව ගෙවිලා ගියා.”
“අම්මට ඕන වුණා මට විවාහයක් කරලා දෙන්න. අප්පච්චි නම් කිව්වේ මට කැමති කෙනෙක් හොයාගන්න කියලා. ඒත් අම්මා ඒ කතාවට තදින්ම විරුද්ධ වුණා. ඒ වෙනකොට මට අවුුරුදු තිස් එකක් විතර ඇති. අම්මා නොයෙක් මාර්ගවලින් මනාලියෝ හොයන්න පටන් ගත්තා.”
“අපි මනමාලියෝ කිහිප දෙනෙක්වම බලන්න ගියා. සමහර මනමාලියෝ ලස්සනයි. ඒත් හුඟාක් ලස්සන කෙනෙක් ගෙදරට ගේන්න අම්මා කැමති වුණේ නැහැ.
එහෙම වුණහම එයාව පරිස්සම් කරන්න වෙනවා කියලා. ඒත් අම්මා තෝරලා තෝරලා අම්මට හොඳයි කියලා හිතෙන මනමාලියෙක් ගෙදරට කැන්දගෙන ආවා.
එයා ප්‍රියංකා. අප්පච්චි නම් මේ කිසිම දේකට මුකුත්ම කියන්න ගියේ නැහැ. අම්මගේ වැඩ දිහා බලාගෙන ඉන්නවා ඇරෙන්න. අම්මට තිබුණේ පුදුම හිතක්.
එයා ප්‍රියංකා වැරදි දැක්කා. ඒත් ඒ එක දෙයක්වත් මම නම් වැරදි හැටියට දැක්කේ නැහැ. ප්‍රියංකා සමහර වෙලාවට පොතක් කියෙව්වා. අම්මට ඕන වුණේ ප්‍රියංකා පොත් කියවන වෙලාවට මැහුමක් ගෙතුමක් කරනවා දකින්න. ප්‍රියංකා හැම විටම හිටියේ මගෙත් එක්ක. මං පාසල් ගිය වෙලාවට එයා මොනවා කරනවද කියලා හොයලා බලන්න මම ගියේ නැහැ. එයාලට අමුතුවෙන් ගෙදර කරන්න කියලා දෙයක් තිබුණෙත් නැහැ.”
“ඒත් මං ගෙදර එන හැම හැන්දෑවකම ප්‍රියංකා හිටියේ මුහුණ රතු කරගෙන හිරිම දුකෙන්…”
“මට බෑ මේ ගෙදර ඉන්න…ඔයාගේ අම්මා මට හරියට ඇනුම්පද කියනවා…”
“ප්‍රියංකා එහෙම කියන වෙලාවට මං එයාගෙ හිත හැදුවා. ඒත් අම්මගෙයි ප්‍රියංකා ගැටුම් වැඩිවෙන්න වැඩිවෙන්න මගේ හිත අවුල් වෙන්න ගත්තා. ඒ වගේ වෙලාවට මට පි‍්‍රයංකව දැනුණේ මහ වදයක් විදියට.”
“මේ මානසික වදය විඳින්න බැහැ කියලා මං අප්පච්චිට දවසක් කිව්වා. ඒත් අප්පච්චි මට කිව්වේ ඉවසන්න කියලා.
කොහොමහරි ප්‍රියංකා සමඟ මම විවාහ වෙලා අවුරුදු දෙකක් ගතවෙලා ගියා. අම්මා ප්‍රියංකාගේ දොස් දකින එකේත් අවසානයක් තිබුණේ නැහැ.”
“අපි මෙහෙන් යමු…එහෙම නැත්තම් අපි වෙන්වෙමු…”
දවසක් ප්‍රියංකා මට එහෙම කිව්වේ අඬ අඬා “අපි තව ටිකක් බලමුකෝ…”
“මම එහෙම කියලා ප්‍රියංකාගේ හිත සැනසුවත් අපේ අම්මා නිහඬව හිටියේ නැහැ.”
“මගේ පුතාව කෑවා කියලා අම්මා අපේ කාමරයට කඩා වැදිලා ප්‍රියංකට පහර දෙන්නයි බනින්න පටන් ගත්තා.
මම අම්මව පැත්තකට තල්ලු කළා. ප්‍රියංකා මුනින්තලා වෙලා අඬන්න පටන් ගත්තා. පස්සේ අම්මා අපිට බැන බැන එයාගේ කාමරයට වෙලා හිටියා.
එදා දවස බොහෝම නිහඬව ගෙවිලා ගියා. අම්මා ප්‍රියංකා එක්ක කතා කළේ නැහැ. ඒත් ප්‍රියංකා අම්මට වෙනද වගේම පහුවදා උදේ තේ හදලා කාමරයට ගිහින් දුන්නා.
ඒත් අම්මා දවල් වනතුරුම කාමරයෙන් එළියට ආවේ නැහැ. ප්‍රියංකා කාමරයට ගිහින් ඇවිත් කිව්වා අම්මා නිදි කියලා.
මං අම්මගෙ කාමරයට ගිහින් බැලුවා. අම්මා මුනින් අතට හැරිලා නිදි. ඒත් මට වමනේ ගඳක් ආවා. ඒ නිසා මම අම්මගේ කාමරයට ගිහින් බැලුවා. අම්මා ලියුමක් ලියලා තිබුණා.
“පුතේ මං වහ බිව්වා. උඹ උඹේ ගෑනි එක්ක සතුටින් ඉඳපං…හැබැයි අප්පච්චිව හොඳට බලා ගන්න…”
“අම්මා අපිව දාලා යන්න ගියේ එහෙම. ප්‍රියංකාගෙන් කිසිම වරදක් එයාට නොවුණත් මං ප්‍රියංකා සමඟ ඉන්න එක අම්මගේ හිතට අමාරු වුණා.
අම්මට ඕන වුණේ මාව එයාගෙම පුතා හැටියට විතරක් දකින්න. කොහොමහරි අම්මගේ මරණෙ කටයුතුත් අවසන් වුණා…
අප්පච්චි මේ සම්බන්ධව අපිත් එක්ක මුකුත්ම කතා කළේ නැහැ. අප්පච්චි ගෙදර ආව ගිය අයටත් කිව්වේ හිතුවක්කාරකමට අම්මා කරගත්ත මෝඩකමක් කියලා…”
“කොහොම හරි දින සති මාස ගෙවිලා ගියා. මට අම්මගේ වෙන්වීම දරාගන්න බැරිව ගියාම මගේ පාසල් ගමන අඩාල වුණා.
මට ප්‍රියංකාව රුස්සන්නේ නැතිව ගියේ ඉන් පස්සේ. මං ඉස්සරට වඩා හුඟාක් දරුණු වුණා. අම්මගෙ මරණය සිහිපත් වන හැම විටෙකම මට ප්‍රියංකා එක්ක ආවේ පුදුම තරහක්.
මං දවසක් ප්‍රියංකාට හොඳටම ගැහුවා. අප්පච්චි බේරන්න හැදුවත් එයාට මාව බේරගන්න බැරිව ගියා.
මං ඇඳ පොල්ලකින් ප්‍රියංකාට පහර දුන්නා. මං හිතුවේ නැහැ එයා මැරේවි කියලා…ඒත් ප්‍රියංකා මැරුණා. ප්‍රියංකා ලේ ගොඩක් මැද වැටිලා ඉන්නවා දැක්ක මගේ හිතට පුදුම සැනසීමක් දැනුණා. ඊටත් පස්සේ මං හයියෙන් ඇඬුවා. මට දැනුණේ මහා බයක්.
අන්තිමට මට සිද්ධ වුණේ හිරගෙදරට එන්න. කවදා මෙතනින් නිදහස් වෙලා යන්න ලැබේවිද කියලා කියන්න දන්නේ නැහැ.”
චන්ද්‍රපාලට දැන් ගෙදර යන්නට වුවමනාවක් නැත. ඔහුට දැන් යන්නට එන්න කියා ඥාතියෙක්ද නැත.
අප්පච්චිද මීට සතියකට කලියෙන් මිය පරලොව ගියේය. කාත් කවුරුවත් නැති ඔහු දැන් ඒ තරමටම තනිවී හිඳින්නේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!