Gossip

බ්‍රිතාන්‍යයේ ඉන්න දරු දැරියන් අතරින් දීප්තිමත්ම දැරිය ලෙස සම්මාන ලැබුවේ ලංකාවේ දැරියක් – ඇය නීශී උග්ගල්ල

බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සමත් වී තිබෙනවා.

ඇය නිශී උග්ගල්ලය.

අදාළ සම්මාන උළෙල චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන “Child Genius” වැඩසටහනයි.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ වෙසෙන විවිධ ජාතීන්ට අයත් දරුවන් පිරිසක් පහසුවෙන් ම පරදවා ඉහළ ජයග්‍රහණයක් ලැබීමට ඇය සමත් වී තිබෙනවා.

නිශී උග්ගල්ල බීබීසී සිංහල සේවය සමග කියා ඇත්තේ “මගේ අම්මල, තාත්තලා වගේ ම මගේ සේරම යාලුවන්ටත් හරි ම ආඩම්බරයි ” යනුවෙන්.

ඇය බීබීසී නාලිකා ඇතුළු බ්‍රිතාන්‍ය මාධ්‍ය ගණනාවකට සාකච්ඡා ලබා දී වෙහෙසට පත්ව ඇති අතර ඇය කෙතරම් ජනප්‍රිය වී ද යත්, මාධ්‍ය සමග අදහස් හුවමාරු කර ගැනීම සඳහා ම රැකියාවෙන් නිවාඩු ලබා ගැනීමට ද පියාට සිදු වී තිබෙනවා.

එමෙන්ම ඇයට සිංහල භාෂාවද මනාසේ හැසිරවිය හැකි බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා වෙසෙන සහෝදර දරු දැරියන්ට දිය හැකි උපදෙස සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය මතු කළ ප්‍රශ්නයකදී ඇය කියා ඇත්තේ “දැනුම වැඩි කරන්න හොඳ ම විදිය පොත් කියවන එක. ඉන්ටර්නෙට් තියනව නම් ඒකෙන් ඔයාලගේ දැනුම ගොඩක් වැඩි කරන්න පුළුවන්,” යනුවෙන්.

“ඔයාල ආස විෂයයක් තෝරගෙන ඒක ගැන මහන්සි වෙලා වැඩ කරන්න. ඉස්කෝලෙන් උගන්වන දේවලට අමතරව වැඩිපුර දේවල් හොයාගෙන ඉගෙන ගන්න. වැඩිහිටියන් කියන කල් ඉන්නේ නැතිව තමන්ගේ වුවමනාවෙන් වැඩ කරන්න. එතකොට ඉගෙන ගන්න දේවල් ආසාවෙන් කරන්න පුළුවන්. ඔයාල හැමෝට ම Good Luck!.”

නිශීගේ ළමා විය ගැන ඇගේ මව ශිරෝමි ජයසිංහ කියා සිටියේ, සිය දියණියගේ දක්ෂතා මුලින් ම තමන්ට පවා වැටහුණේ අන් දරුවන්ට වඩා සිය දියණියගේ වෙනසක් දුටු බව ළදරු පාසලේ ගුරුවරියන් තමන්ට පැවසූ අවස්ථාවේ බවයි. “දුව වෙනුවෙන් එයාලට අලුත් ක්‍රියාකාරකම් පටන් ගන්න සිද්ධ වුණා,” කියලත් නීශීගේ මව කියා තිබුණා.

දියණියගේ ළමා කාලය ගැන ඇගේ පියා කියා සිටියේ “ඒ කියන්නේ අනිත් ළමයි සෙල්ලම් බඩුවක් එක්ක සෙල්ලම් කරද්දී නිශීට ඕන වුණේ ප්‍රහේලිකා හදන්න වගේ දේවල්. පස්සේ ළදරු පාසලට ගිහිල්ල දවස් දෙක තුනකින් ම එයාලට සිද්ධ වුණා නිශීට ගැළපෙන අලුත් ගුරුවරියක් ගෙන්න ගන්න.”

ඉන් අනතුරුව පාසලේදීත් නිශී කෙතරම් ඉක්මනින් ඉහළ පන්තිවලට මාරු කරනු ලැබුවේ ද යත්, පාසලේ සිව් වන වසරේ උගත යුතු වයසේදී ඇය අධ්‍යාපනය හැදෑරුවේ හය වන වසරේය.

“ඩබල් නෙමේ එතකොට ට්‍රිපල් ප්‍රමෝෂන් වගේ. අපි කළේ නිශීට කරන්න ඕන දේට උපකාර කරන එක.”

දැරියන් ගණිතය සහ භෞතික විද්‍යාව වැනි විෂයයන් ඉගෙන ගැනීමට එතරම් දක්ෂ නොවන බවට පවතින සම්මතය තමන් මේ තරගයට එක්වීමට එක් ප්‍රධාන හේතුවක් යයි සම්මානය දිනා ගත් අවස්ථාවේ ඇය කළ සඳහන ද බ්‍රිතාන්‍ය ජනමාධ්‍යවල ප්‍රබල අවධානයට ලක්ව තිබුණා.

ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ නිශී උග්ගලල කියා සිටියේ, පිරිමි දරුවන් හා සමානව දැරියන්ට ද ඒ සියල්ල කළ හැකි බව අවධාරණය කිරීමට තමන්ට අවශ්‍ය වූ බවය.

සිය දරුවන් වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් බවට පත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ දෙමාපියන් දරුවන් ප්‍රබල පීඩනයකට ලක් කරන ආකාරයට නිශීට ද පීඩනයක් එල්ල වූයේ දැයි විමසූ අවස්ථාවේ නීලංග කියා සිටියේ තමන් ඇයට එවැනි කිසිදු පීඩනයක් එල්ල නොකළ බවයි.

“ඇත්තට ම අපි ලංකාවේ ඉන්නේ නැති එක ගැන මට තියන එක සතුටක් තමයි අපි ටියුෂන් ක්‍රමයට නැති එක. ළමයින්ට ළමා කාලය තියෙන්න ඕන කියල අපි ගොඩක් විශ්වාස කරනවා. ඒ නිසා අපි කවදාවත් නිශී ටියුෂන් යැවුවේ නෑ.”

කිසියම් ලෙසකින් තමන් දෙදෙනා ඇය එක් විෂයයකට පමණක් යොමු කොට ඇය පීඩනයට පත් කළේ නම් සිය දියණිය දැනටත් වඩා ඉතා ඉදිරියෙන් සිටිය හැකිව තිබුණ බව ද නීලංග උග්ගල්ල පැවසීය.

එබැවින් නිශී පොත පතට පමණක් ඇබ්බැහි වීම වැළැක්වීම පිණිස ක්‍රීඩා කිරීම, මිතුරන් හමුවීම හෝ බයිසිකල් පැදීම වැනි දේ සඳහා අනිවාර්යයෙන් ම නිවසින් බැහැරට යාම ඔවුන් දෙදෙනා පුරුද්දක් බවට පත් කරගෙන තිබේ.

බ්‍රිතාන්‍යයේ “දීප්තිමත් ම දරුවා” සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව ඇයට ලොව පුරා විවිධ රටවලින් සුබ පැතුම් පළවෙමින් තිබේ.

බ්‍රිතාන්‍යයේ උපත ලැබුව ද ඇයට බ්‍රිතාන්‍යයේ සහ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඇයට තියෙනවා.

“එයාට අවුරුදු 18 වුණා ම ඒක දිගට ම තියාගන්නව ද, නැද්ද කියල නිශී තීරණය කරාවි,” “හැබැයි එයා ලංකාවට ගොඩක් ආදරෙයි. අපි අවුරුද්දකට විතර සැරයක් ලංකාවට යනව. ඒ ගියා ම නිශීගේ බල කිරීම නිසා අපි උඩවලවේ යන්න ම ඕන,” යනුවෙන් ඇගේ පියා සඳහන් කළා.

සිය ප්‍රියතම විද්‍යාඥයා වන අභාවප්‍රාප්ත මහාචාර්ය ස්ටීවන් හෝකින් ගත් මග යමින් අනාගතයේ දිනෙක භෞතික විද්‍යාඥවරියක වීම නිශීගේ අපේක්ෂාව බවයි ඇය කියා ඇත්තේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!