Gossip

“පැතිරුණු කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්” – රටම කතා වුණු පුවත ගැන ජයසේකර අපොන්සු හෙළි කරයි

ප්‍රවීණ කලා ශිල්පී ජයසේකර අ‍පොන්සුගේ ජීවිතයේ සිදුවී තිබෙන අලුත් වෙනස ගැන පසුගිය දවස්වල හැමෝම වගේ කතා වුණා.. ඒ ඔහු නැවත වරක් යුග දිවියට ඇතුළත්වීම පිළිබඳවයි. සිය තරුණ බිරිඳ සමග ජීවිතයේ නව පිටුවක් පෙරලූ ජයසේකර අ‍පොන්සුට රජයෙන් නව නිවසක්ද ප්‍රදානය කළ බව පසුගිය දිනවල විද්‍යුත් මාධ්‍ය හරහා රටටම දැනගන්නට ලැබුණා.
ඒ කතාව ඇත්තක්ද..? ඒ ගැන ජයසේකර අපොන්සු මේ විදිහට සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

අලුත් ජීවිතය පටන් අරන් ටික කලකින් අලුත් ජෝඩුවගේ නිවාස ප්‍රශ්නයත් විසඳුණා නේද?
ගෙයක් ලැබුණා නම් තමයි. හැබැයි ඒක දුන්නේ මට ‍නෙවෙයි, මගේ බිරිඳ සුජාතාටයි. ඇගේ ගම් පළාතෙන්ම තමයි ඒක ලැබුණේ. මීට අවුරුදු හතරකට විතර කලින් රජයෙන් දීපු ඉඩමක ගෙයක් හදලා විවෘත කරපු උත්සවය තමයි පහුගිය ජනවාරි 21 වැනිදා තිබුණේ.

කලාකරුවෙක් විදිහට කරපු සේවය සලකලා රජයෙන් ඔබටම ගෙයක් දීපු බවටයි ප්‍රචාරය ගියේ. එහෙම නේද?
අ‍පොයි ඔව්. ඒක සම්පූර්ණයෙන්ම බොරු කතාවක්. සුජාතාට ඉඩම ලැබුණු පළාත, ඒ කියන්නේ අනුරාධපුරේ මහමලුගොල්ලෑවේ රජයෙන් ලැබුණු ඉඩම්වල ගෙවල් 60 ක් හැදුණා.
ඒ ගෙවල් හදන්න නිවාස අධිකාරියෙන් ණයකුත් දුන්නා. ගෙවල් විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණේ නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ඇමැතිතුමා ගෙවල් ටික පිළිවෙළින් විවෘත කරගෙන එද්දී මමත් සුජාතාගේ ගේ ඉස්සරහා හිටියා.
ඒ වෙලාවේ ඇමැතිතුමා මම එතන ඉන්නවා දැකලා පුදුම වෙලා මාත් එක්ක ටිකක් කතාබහ කළා. ඔන්න ඔය සිද්ධිය නිසා තමයි මාධ්‍යවලින් ප්‍රචාරය වුණේ ජයසේකර අ‍පොන්සුට රජයෙන් ගෙයක් දීලා කියලා.

ඒත්, බිරිඳගේ නමට ගෙයක් ලැබුණා කියන්නේ ඔබට ලැබුණා වගේම තමයිනේ?
ඒක නම් ඇත්ත තමයි. ගේ තියෙන්නේ අනුරාධපුරේ. ඒත් මම කොහොමද අනුරාධපුරේ ඉඳන් මගේ කලා කටයුතු කරන්නේ? කලාකරුවෙක් විදිහට මට කොළඹින් ගෙයක් දෙනවා නම් ලොකු දෙයක්.

ඔබ මීට කලින් ආණ්ඩුවෙන් එවැනි ඉල්ලීමක් කරලා තියෙනවාද?
පහුගිය ආණ්ඩුව කා‍ලේ නිවාස ඇමැති විමල් වීරවංශ මහතාගෙන් මම ඉල්ලීමක් කළා.
ඔහු කිව්වා කලාකරුවන් වෙනුවෙන් අලුත් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරනවා, ඒකෙන් ඉස්සරවෙලාම ගෙයක් මට දෙන්නම් කියලා.
ඒත් ඊට කලින් ඒ ආණ්ඩුව පෙරළුණා. මම බලා‍පොරොත්තුවෙනුයි ඉන්නේ සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා හරි මට ගෙයක් දේවි කියලා.

නිවාස දෙන්න ජයසේකර අ‍පොන්සුට වඩා අගහිඟකම් තියෙන කලාකරුවෝ ඉන්නවා කියලත් සමහරු පසුගිය දවස්වල අදහස් පළකරලා තිබුණා?
ඔය කියන උදවිය කොහොමද දන්නේ මම කොහොමද ජීවත් වෙන්නේ, මට තියෙන ආර්ථික අපහසුතා මොනවද කියලා.
චිත්‍රපටයක් හදන්න මුදල් වුවමනා වෙලා මම හදලා තිබුණු ගේ මට විකුණා දමන්න සිද්ධ වුණා.
මම ජීවත් වෙන්නේ කලාවෙන් උපයන මුදල්වලින්. මම රටේම ජනප්‍රිය නිසා සමහරු හිතනවා ජයසේකර අ‍පොන්සු කියන්නේ කෝටිපතියෙක් කියලා. ඒත් මම අදටත් ජීවත් වෙන්නේ කුලී ගෙදරක.

අලුත් ගෙදර වැඩ රාජකාරි මැද්දේ ඔබ අලුත් කලා කටයුත්තකටත් අත ගහලා තියෙනවා කියලා ආරංචියි?
ඇත්ත. දවස් 18 ක්ම අලුත් ගෙදර වැඩ කටයුතුවලට යෙදෙමින් ඉඳලා දවස් කිහිපයකට කලින් තමයි මමයි, සුජාතායි ආයෙමත් කොළඹ ආවේ. මේ දවස්වල මම මගේ අලුත් වේදිකා නාට්‍යයේ වැඩ කටයුතුවලට තමයි වැඩිපුරම වෙහෙස මහන්සි වෙන්නේ. නාට්‍යයේ නම “සේනා”. එහෙම මගේ හිතට ආවේ මේ දවස්වල රටේම කතාබහට ලක්වෙන දළඹුවා නිසයි.
මොකද මගේ නාට්‍යයෙනුත් කියැවෙන්නේ තරුණ පරපුරට වින කරන භයානක සේනාවක් ගැන. අලුත් නාට්‍යය මාර්තු 30 වැනිදා බණ්ඩාරවෙල පුරහ‍ලේදීයි වේදිකා ගත කිරීම ඇරඹෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!