Gossip

පාස්කු ප්‍රහාරයේදී හාස්කමකින් ජීවිත බේරුණු මිනිසුන්.. මෙය ඔවුන්ගේ වාසනාවද..? දෛවයද..?

මේ පිපිරෙන හැම බෝම්බයකින්ම හාස්කමකින් මෙන් බේරී සිටින අය නැතුවාද නොවේ. එය ඔවුන්ගේ වාසනාවද දෛවය ද…..?
සාංසාරික පුණ්‍ය කර්මවල ප‍්‍රතිඵලයක් ද…………? දේව හාස්කමෙක් ද……? අදෘෂ්‍යමාන බලවේගයක උපකාරයක්ද….?
යනාදී වශයෙන් මෙකී සංසිද්ධිය වටහා ගැනීමට යත්න දරද්දී සිතෙන්නේ ‘‘ඔව්, ඔය එක කරුණක් හෝ කරුණු සියල්ලම නිසාවෙන් ඒ ජීවිත සුරක්‍ෂිත වූ බවයි. අප කාටත් ඒ කාරණය විස්තර කිරීමට වෙනත් සාධක හෝ දත්ත නිර්ණායක හෝ පැහැදිලි කිරීම් ද නැත.
බුදු දහමෙහි සඳහන් කෙරෙන්නේ පරපණ නොනසා සිටීමෙන් මෙන්ම, මරණයට සූදානම් කර සිටින මිනිසුන් සතුනට ජීවිතය දානය කිරීමෙන් ද, මෙවන් අකල් මරණ අවස්ථාවලින් සුරක්‍ෂිත වීම හා දීර්ඝායුෂ වැඞීම සිදුවන බවයි. බුදුන් වහන්සේ විසින්ම මරණයට පත් වී සිටි දරුවෙකු මරණයෙන් බේරා ගත් අයුරු බුදු දහමෙහි සඳහන් වන අතරම ජාතක කතා රැසක්ද ඒ සඳහා අපූරු සාධක සපයයි.
යේසුස් වහන්සේද මෙවන් ප‍්‍රාතිහාර්ය රැසෙකින් මරණකරුවන් බේරාදුන් අයුරු කිතු දහමෙහි සඳහන් වෙයි. තම පණ මෙන් පරපණ ගැන සැලකීමත්, සුරැකීමත් නිසාවෙන්ම තමා වටා තම ප‍්‍රාණය සුරක්‍ෂිත කිරීමේ අදෘෂ්‍යමාන වූ ආවරණයක් ඇති වන බව නම් කවුරු කවුරුත් දැන සිටිය යුතුමය. (ධර්මය රකින්නා ධර්මය විසින් සුරකිනු ලැබේ)
ලොව පුරාත්, අප රට පුරාත් මෙවන් ‘‘සුවිශේෂී ජීවිත සුරැකීම්’’ කතා රැසෙකි. ඒවා ඇතැම් විට පුදුම ජනකය. විශ්මිත ය ‘‘ගලේ ගහලාවත් මරා දමන්නට බැරි එකා බෑ.’’ යනුවෙන් හෙළ වහරෙහි පවතින්නේත් මෙවන් අරුම පුදුම ලෙස ජීවිත සුරක්‍ෂිත වීම් අරබයා මය ‘‘බළල් හත් දෙනෙකුගේ පණ වාගේ’’ යැයි ගැමි වහරක් ද මීටම එක් වී තිබේ.
අප රටේ දේශපාලකයින් කීප පොළක්ම මෙලෙස මරණයෙන් කීපවර ගැලවී ජීවත් වූ පුවත් අපි අසා ඇත්තෙමු. ජේ. ආර්. ජයවර්ධන මහතා අසලට වාර රැසක්ම මරුවා පැමිණියද ඒ අවස්ථා හැම එකකින්ම ඔහු බේරුණි. පාර්ලිමේන්තු බෝම්බය ඔහු අසල මේසයේ වැදුණත් ඔහුට සීරීමක් හෝ සිදු වූයේ නැත. කීප දෙනෙක් මිය ගියහ. ලෝක නායකයින් අතර කියුබාවේ පිදෙල් කස්ත්‍රෝ ද මෙලෙස තම ජීවිතය වාර විශාල ගණනකින් බේරුණ තවත් අයෙකි. මෙරට ජනපතිවරුන් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක, මෛත‍්‍රීපාල සිරිසේන, මෙන්ම සරත් ෆොන්සේකා, ගෝඨාභය රාජපක්‍ෂ ද මෙලෙසින්ම ප‍්‍රාණය සුරක්‍ෂිත වූවන්ය. මෙයින් වඩාත්ම ජීවිතය සුරැකීමේ වාර්තාව ඇත්තේ ඩග්ලස් දේවානන්දටය. ඔහු ද ‘‘ගලේ ගසා’’ හෝ මරන්නට නොහැකි වූ අයෙකි.
මා දන්නා ජ. වි. පෙ. තරුණයෙක් ආරක්‍ෂක අංශ මගින් තවත් අය සමග පෙළ ගස්වා වෙඩි තබන විට වෙඩි වැදුණු ලෙස බිමට වැටුණි. පසුව ඔවුන් මත පෙට‍්‍රල් දමා ගිනි අවුළුවන්නට සූදානම් වත්දී හදිසි වර්ෂාවක් වැටී ගිනිපෙට්ටිය තෙත බර වී ගිනි අවුළුවා ගැනීමට නොහැකි වී තිබේ. ආරක්‍ෂක අංශ යළි ගිනි පෙට්ටි සොයා ඉවතට ගිය මොහොතේ ඔහු බඩ ගා පැන ගියේය. තව විනාඩි පහකින් පමණ ඈත ගිනි ජාලාවක් මතු වූ බව ඔහු කළුවරේ රැඳී සිටිමින් දුටු බව මා සමග කීය.
වරෙක කොටි ත‍්‍රස්තවාදීන් තම ගමට පැන ගමේ සෑම දෙනා වෙඩි තබා කපා කොටා මරා දමද්දී තම පියා තමා ඔසොවා වී මිටි පසුපස සැ`ග වූ බවත්, මොහොතකින් උන් නිවෙසට කඩා පැණ මව, පියා මල්ලී කඩුවලින් කපා මරා දමන ලද බවත් වී මිටි සිදුරු අතරින් බලද්දී තමාට කෑ ගැසුණ බවත් මායිම් ගම්මානෙක දියණියක් මා සමග කඳුළු වැල් ගලමින් පැවැසුවාය. කෑ ගැසූ දෙසට ත‍්‍රස්තයින් වෙඩි තබද්දී වී මිටි පසාරු කරගෙන වෙඩි උණ්ඩ එක දෙකක් බිත්තියට වැදුණත් ඉන්පසු උන් අත් බෝම්බයක් වී මිටි අස්සට දැමූ බවත් ඇය කීවාය. තමාගේ වාසනාවට එය නොපිපිරුණු බවත් ඒ මොහොතේ හමුදා ජීප් රථ ඈතින් එන හඬ අසා උන් පලා ගිය බවත් ඇය කීවාය. තාත්තා තමාගේ හිස සිඹ වී මිටි අතරට දැමුවේ, ‘‘මගේ දුවට කිසිම අනතුරක් වෙන්නේ නෑ.’’ යැයි ආශිර්වාද කරමින් බවද ඇය පැවැසුවේ කඳුළු වැල් අතරිනි.
වන්නිකරයේ සිට දකුණේ සීනිගම දේවාලයට ගිය පියසේන අයියාද සුනාමි රැල්ලට හසු වී මුහුද මැදට කිලෝ මීටර් හත අටක් ඇදී ගොස් ආපසු රැල්ලකින්ම ගොඩ බිමට ඇදී ආවේ මුහුදේ පාවුණු දොර ලෑල්ලකට පිංසිදු වන්නටය. රත්නසේන කොළඹ ගොස් මරදාන මගී පාලම උඩ කඩයකින් අත් ඔර්ලෝසුවට පටියක් දැමීමට සූදානම් වූ මොහොතේ රුපියල් පන්සීය දුන් විට මාරු කිරීමට මුදල් නොමැති නිසා පහළට බැස ඇවිදිද්දී මරදානේ බෝම්බය පිපිරුණි. ඔහු කම්පනයට පත් වී බලන විටදී ඔහු සිටි කඩ පෙළම කඩා පාත් වී බිමට වැටී තිබුණි. ඔහු බේරි තිබුණේ කිසිවකුටත් කිසිදාක, කිසි විට නොලැබෙන තරමේ අපූරු, විශ්මය ජනක අවස්ථාවකිනි. ඔහු බෝම්බය පුපුරන මොහොතේ හරියටම මරදාන මගී පාලමෙහි අ`ගල් දහයෙක ඝණකම් කොන්ක‍්‍රීට් කුළුණක් පසු කරමින් සිටියේය. කොන්ක‍්‍රීට් කණුව පුපුරා ගියද, එය රත්නසේනගේ ‘‘ජීවිත ආවරණය’’ විය. ඔහු ගමන් කරමින් තිබූ නිසා එක් අතක හා පයක සුළු තුවාල ඇති වී තිබුණද අදටත් ඔහු සතුටින් දිවි ගෙවයි.
ඔස්කා අප්පුහාමි කොළඹ ගියේ රාජකාරී කටයුත්තකටය.
රාජගිරියේ ඔහු ගමන් කළ බසයට කොටි ත‍්‍රස්තවාදීන් ගොඩ වී ඇතුළට වෙඩි තබද්දී පසුපස සිටි ඔහු වෙඩි පහරවලින් නැවී බේරුණි.
ඔහු ඉදිරිපිට සිටි අයට වෙඩි වැදුණි. පසුව කොටි අත් බෝම්බයක් ඇතුළට දමද්දී ඔහු පසුපස දොරටුව කඩාගෙන එළියට පැන්නේය. බසය පිපිරුණි. ඔහු බේරුණි.ලියුම්කරුද මාධ්‍ය මෙහෙවර නිසාම පාතාල පිහිි ඇනුම්, බෝම්බ ප‍්‍රහාර, අමන දේශපාලූවෙකුගේ බෝම්බ තර්ජන කීපයකින් ජීවිතය බේරා ගත් අයෙකි. මාධ්‍යවේදී ජූඞ් සමන්ත ද මම ද නොරොච්චෝල බලාගාරයට එරෙහි ජන උද්ඝෝෂණ කැමරාගත කරමින් සිටියදී ආරක්‍ෂක අංශ විසින් තබන ලද වෙඩි ප‍්‍රහාරවලින් බේරුණේ දශමයෙනි. වෙඩි පහර කෑ නාටාමිවරයෙක් අප අසලම එතැනම මිය ගියේය. තවත් කීප දෙනෙක් බරපතල තුවාල ලැබූහ.
පාස්කු ඉරිදා ඛේදවාචකයේදී ඇතැම් අය රාත‍්‍රි පූජාවට ගිය නිසා උදයේ බෝම්බ පිපිරුමෙන් දිවි ගලවා ගත්හ. එක් අයෙක් මා සමග පැවැසුවේ පූජාවට යෑමට කල් තබා ඇඳුම් මැද සූදානම් කර තිබුණත්, මිත‍්‍රයින් කීප දෙනෙක් සමග පෙර දින මැදියම් රැය පසුවන තෙක් ගත කළ නිසා උදෙන්ම අවදි වීමට ප‍්‍රමාද වූ බවයි. ඔහුගේ ප‍්‍රමාදය ඔහුගේ මරණ ගමන ප‍්‍රමාද කර තිබුණි.
කාන්තාවක් පැවැසුවේ ස්වාමි පුරුෂයා දොස් කී නිසා තමා රාත‍්‍රි පූජාවට ගිය බවයි. ස්වාමියා උදේ ගියේය. ඔහු ස්වර්ග රාජ්‍යයට කැඳවාගත් බව ඇය හැඬූ කඳුළින් පැවැසුවාය.
මගේ ඥාති සොයුරිය වු ඉන්දිරා විජේරත්න (හිටපු හමුදා නීති අධ්‍යක්‍ෂිකාව) ඇයගේ පුතා විවාහ වූ ශාන්තා මායාදුන්නේගේ දුවණියද, ශාන්තා මායාදුන්නේ පවුලේ අය සමගම ෂැංග‍්‍රිලා හෝටලයේ ආහාර ගැනීමට ගිය මොහොතේ, ආහාර පෝළිමට ගිය අවස්ථාවේදී එකට මේසයේ හුන් ශාන්තා ද, දියණියද බෝම්බ ප‍්‍රහාරයෙන් සදහටම දිවියෙන් සමු ගෙන තිබුණි. ඉන්දිරා සොයුරියද අන් අයද දිවි බේරාගෙන තිබුණි. ඇය පැවැසුවේ ඇය හිඳගෙන සිටි පුටුව මතට ලේ වැගිරී මෙන් වූ කකුලක් වැටී තිබූ බවයි. එය ත‍්‍රස්ත වාදියාගේ විය හැකියි. ශාන්තා ද දියණියද දෙපසින් හා ඉන්දිරා සොයුරිය මැදින් සිටින අන්තර්ජාලයට නිකුත් වූ ඒ ඓතිහාසික ඡුායාරූපයේ දෙපස හුන් සුන්දර ජීවිත දැන් දක්නට නැත. (ඉන්දිරා සොයුරියගේ සැමියා බි‍්‍රගේඩියර් ලැරී විජේරත්න යාපනය අරියාලේදී මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු නිසා දිවි පුදා තිබුණි.
ටාජ් සමුද්‍රා හෝටලයට ත‍්‍රස්තයා බෝම්බ තැබීමට කළ උත්සාහය පසුව සීසීටීවී දසුන් මගින් නැරඹීමේදී එතැන සිටි පිරිසගේ වාසනාවේ තරම අපට මැන ගැනීමට හැකි වෙයි. ඔවුන් වාසනාවන්ත වෙත් දී ත‍්‍රස්තයාද, අනියම් යුවළක්ද අවාසනාවන්ත වූහ.
මෙවන් සිදුවීම් නම් කෙතෙක්ද? අවාසනාවන්ත ලෙස විදෙස්වල සිට පැමිණ මියගිය වුන් අතරේ වාසනාවන්ත ලෙස බේරුණ අයද සිටිති. අද නොව ඊයේ සිටත් ඈත ඉතිහාසය පුරාත් මෙවන් වාසනාවන්ත හා විශ්මිත කතා දහසකුත් තිබේ. හෙට දවසේද තිබෙන්නේය. ඉදින් මෙවන් වාසනාවන්ත හා විස්මිත කතාවන් ගැන අපට කීමට ඇත්තේ මොනවාද….? ඇත්තෙන්ම එය අපට විස්තර කිරීමට නොහැකිය. එනිසා අප එයට ‘‘පින’’ යැයි කියමු. නැතිනම්, ‘‘ දෙවියන්ගේ කැමැත්ත’’ යැයි පවසමු.
අද හා හෙට දවසේ දී ශ‍්‍රී ලංකාවේ ජනගහනය ප‍්‍රසාරණය වී සංකීර්ණ සමාජයක්, ගැටුම්කාරී පසුබිමක් නිර්මාණය වන විට ඇතිවන්නා වූ අනපේක්‍ෂිත අපේක්‍ෂිත අතුරු අන්තරා ව්‍යසන මරණීය තත්ත්වයන්ගෙන් සුරක්‍ෂිත වීමට තරම් ඔබ පින්වත්ද……..? දෙවියන් ඔබ සමීපයේද……….? හෘදය සාක්‍ෂියෙන් විමසන්න.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!