Gossip

“ප්‍රසංග වේදිකාවේ ආයේ ගීත ගායනා කරන්නේ නැහැ – අද තියෙන තත්ත්වය උඩ පොඩියට ගඩොල් ටිකක් කපන්න හිතාගෙන ඉන්නවා” – දමිත් අසංක

ඔබ සංගීත ක්‍ෂේත්‍රයෙන් ඉවත් වූ බවට මත පළ වෙනවා එය ඇත්තක්ද?
ප්‍රසංග වේදිකාවේ නම් මම ආයේ ගීත ගායනා කරන්නේ නැහැ. මට වෙච්ච දේවල් සැලකිල්ලට අරගෙන තමයි මම ඒ තීරණයට ආවේ. මට කලාවත් එපා වුණා, හුදෙකලාව මගේ විෂය කරගත්තා. ඉතින් ප්‍රසංග වේදිකාවේ මාව ආයේ දකින්න නොලැබෙවි.

ඔබ ප්‍රසංග වේදිකාවෙන් ඉවත් වුණාට සංගීත ක්‍ෂේත්‍රයෙන් ඉවත් වන්නේ නැහැ නේද?
ඔව්. සංගීත ක්‍ෂේත්‍රයේ මම පොඩ්ඩක් මධ්‍යස්තව ඉන්න හිතුවා. හොඳ පද ටිකක්, තනුවක් ලැබුනොත් ගීතයක් දෙකක් කරගෙන ඉන්නවා. ප්‍රසංග වේදිකාවේ මාව ආයේ දකින්න නොලැබේවි. ඒකට මම හේතු දක්වන්නේ නැහැ. හේතු දැක්වුවොත් බොහෝ පිරිසකට අනතුරු ඇතිවෙනවා. ඒ නිසා රසික රසිකාවියන්ට උපේක්‍ෂාවෙන් මම කියන්නේ ප්‍රසංග වේදිකාවේ මාව ආයේ දකින්න නොලැබුණත් සංගීත ක්‍ෂේත්‍රයේ ඉදිරියටත් කටයුතු කරනවා කියලයි.

ඔබ අවසානයට කළ ‘තනි මට මේ තරමට රිද්දන්නේ’ කියන ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඔව් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මං ගැන මොන තරම් බොරු ප්‍රචාර යැවුවත් මගේ රසිකයන් මාත් එක්ක ඉන්නවා. ඒක නිරාමිස බැඳීමක්, ඒක කඩන්න කාටවත් බැහැ.

පසුගියදා එල්ල වූ ත්‍රස්තප්‍රහාරය හේතුවෙන් අද කලාකරුවන්ට තම වෘත්තිය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා නේද ?
මෙහෙමයි බෝම්බයක් ගැහුවා. මේ පාලකයෝ ඒක එතනින් ඉවර වෙන්න දුන්නෙ නෑනේ. මරාගෙන මැරෙන මනුස්සයා එහෙම හොයාගෙන ගිහින් වළක්වන්න බැහැ. එයා කොහොමත් මැරෙනවා. මේවා සියල්ල මායාවන්, සියලු සන්කාර ධර්මය නැසෙනවා. මරාගෙන මැරෙන එක වැරදියි කලාකරුවෝ විදියට අපි එක කිවුවා. නමුත් පාලකයන් කළේ රටත් අස්ථාවර කරලා, අපේ බඩටත් ගහපු එකයි.

නමුත් රජය පැත්තෙන් ජනතාව ඒකාරාශිවෙන තැන් අවම කළේ රටේ ආරක්ෂාව තහවුරු වෙනකල් නේද?
ඕක කොහොම නතර කරන්නද? විශ්වය පවතිනකල් මේ දේවල් සිදුවෙනවා. නමුත් පාලකයන් සිදුකළ දෙයින් එක පැත්තකින් අපේ බඩට ගැහුවා වගේම අනිත් පැත්තෙන් ආගම් භේද ඇතිවුණා. අපි මාරයට බයවෙන්න ඕන නැහැ. ඔය බෝම්බයෙන් පස්සේ පාලකයන් දාපු නාට්‍ය වැරදියි කියන තැනයි මම ඉන්නේ.

පසුගිය කාලයේ ඔබට යම් සිදුවීමක් සම්බන්ධව බන්ධනාගාරගත වෙන්න වුණා නේද?
ඇත්තටම ඒ සිදුවීමත් සමග මගේ ජීවිතයේ සම්පූර්ණයෙන් වෙනස් වුණා. මම මේ පළමු වතාවට තමයි ප්‍රසිද්ධ මාධ්‍යයේ මේ සම්බන්ධව කතා කරන්නේ. මාව හිරේ දාන්න තරම් මම සිදුකළ වරද මොකක්ද කියලයි මම අහන්නේ . රටේ නීතිය අන්ධයි, මේ රටේ අදටත් පවතින්නේ සුද්දගේ නීතිය. එය අදට ගැළපෙන්නෙ නැහැ . මේ රට සුද්ධ සිංහලයන්ගේ රටක්. ලොකු හාමුදුරුවන්ගෙන් සිවුරක් ගෙන්න ගෙන මම ඇත්තටම එදා ගියේ මහන වෙන්න. එයට මූලිකම හේතුව මට බුද්ධාගමට තියෙන අසීමිත කැමැත්ත. මම සිවුර දාගත්තේ මගේ ජීවිතය හදාගන්න.

නමුත් මාධ්‍යයන්හි පළවුණේ ඔබ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිවුරක් පොරවන් ගමක ඇවිදිනවා කියලා නේද?
මම මෙහෙම අහනවා. සියලු සත්ත්වයෝ නිදුක් වේවා , නිරෝගී වේවා, සුවපත් වේවා, හැබැයි ගංජා පැළේ විතරක් භංග වේවා කියලා කිවුවම හරියයිද?. මෛත්‍රිය, කරුණාව ගංජා ගහන එකා ගාවත් තියෙනවා. නැති ඒකා ගාවත් තියෙනවා . එහෙනහම් කොහොමද මේක විසඳන්නේ. මාව දමිත් අසංක කියලා අඳුරගන්න ඒ අයට දවස් 14ක් ගියා, ඒ දවස් 14 මම බන්ධනාගාරයේ සිටියේ. ඊට මාස 2ට වගේ පස්සේ මාව නඩුවෙන් නිදහස් කරා. එතකොට රටේ නීතියක් නැහැ, නීතිය මොකක්ද මේ කරන්නේ. මම අත උස්සලා පාරක් ගහලා තියෙනවාද? කාටවත් බැනලා තියෙනවාද? හොරකම් කරලා තියෙනවාද? මට කිවුව නම් ඔය බන්ධනාගාරයට යන්න මල්ලි කියලා බස් එකේ හරි මම එතනට යනවා. මාව බලහත්කාරයෙන් අරගෙන ගියා. වැරදි නොකරපු කෙනෙක් වැරදි කරපු අය එක්ක දැම්මම ඒ මනුස්සයගේ ඇඟට ලොකු ශක්තියක් එනවා, ඒක තමයි මට දැන් වෙලා තියෙන්නේ. ඒ ශක්තිය මගේ ඇඟේ තියෙනවා.

මේ සිදුවීම වූ දිනයේ සිට ඔබ වටා සිටි පිරිසක් සහ ඔබව විවේචනය කරපු පිරිසකුත් හිටියා?
ඵල ඇති රුකට තමයි ගල් ගහන්නේ. ඒ නිසා ඒක එච්චර දෙයක් නෙමෙයි. හැබැයි එක දෙයක් කියන්න ඕන. මගේ ආදර රසිකයන් මාව හිරේ දැම්මා කියලා දැනගෙන පන්සල්වල බෝධි පුජා තියලා තිබුණා. මගේ අදහස නම් එහෙම කරනව නම් කරන්න තිබුණේ මම හිටිය බන්ධනාගාරයේ වටේට, මනුස්සයෙක්ට බොරු චෝදනා කරලා මෙහෙම හිර කරාම අපි එකතු වෙන්න ඕන ඒ මනුස්සයා වටේ. එතකොට තමයි නීතිය කරන ඇත්තන්ට ඒක දැනෙන්නේ.

එතකොට දැන් ශාසනයට එකතු වෙන අදහස බැහැරව ගිහින්ද තියෙන්නේ?
පසුකාලීනව මම තේරුම් ගත්තා මිනිස්සුන්ට අවශ්‍ය දමිත් අසංක කියන ගායකයා කියලා, හාමුදුරු කෙනෙක් නෙමෙයි කියලා. නමුත් කූඩුවක දාලා, හිංසා කරලා, සිවුර ගලවපු එක සාධාරණ නැහැ. සිවුරේ නෙමෙයි ඕක තියෙන්නේ. තමන්ගේ මනසෙයි.

පසුගිය දවසේ ඔබ විදෙස් රටක පැවැති ප්‍රසංගයකට සහභාගි වෙලා සිටියදී තරුණයෙක් ඔබේ ගීත අහලා සිහිසුන්ව වැටුනා නේද?
මාස 04කට පෙර කොරියාවේ ප්‍රසංගයකට මට ආරාධනා ලැබිලා සහභාගි වුණා. ඒ මට මිනිස්සු පෙරළ පෙරළ මඩ ගහපු කාලයේ. මම ගීත ගායනා කරලා ඉවර වෙනකොට අපේ රටේ තරුණයෙක් මට බිම දිගාවෙලා වැන්දා, එහෙම කරද්දී මම කරන්න ගිය දේ වැරදි නෑ කියලා ආයේ මට සිතුනා. එයා කලන්තේ දැම්මෙ නෑ. මට වැන්දා. ඒක සුවබර මතකයක්.

වත්මන් අපේ රටේ සංගීත ක්‍ෂේත්‍රය පිළිබඳව ඔබ මොකද හිතන්නේ ?
සංගීතය කියන්නේ එක එක්කෙනාගේ හැකියාව අනුව හසුරුවාගන්න ක්‍රමවේදයක්. රොඩ්නි වර්ණකුල වගේ වේදිකාවේ මයික් එකක් නැතුව ගීත ගායනා කරන්න හැකියාව මටත් තියෙනවා. ගායකයා වටේ තමයි ශබ්ද පරිපාලක, වාදකයන් ඇතුළු සියලු දෙනා එකතු වෙන්න ඕන, එහෙම නැත්නම් ගමින් ගමට ගිහින් අපිට කවි බණ කියන්න වෙන්නේ මයික එක නැතුව, එක මහා ඛේදවාචකයක්. මම කියන්නේ සමස්තය නෙමෙයි. බහුතරය එහෙමයි. සුළු කණ්ඩායකමකට බෑ මේක ගොඩගන්න.

ගායන ශිල්පීන්ට කර්තෘ භාග ගෙවීමේදී එය නිසායාකාරව සිදුනොවෙන බවට මත පළ වෙනවා ඔබත් මෙයට එකඟද?
ඔව් මගේ කර්තෘ භාගය මට ලැබෙන්න ඕන, මෙයට රටේ නීතියක් හැදෙන්න ඕන. නීති හදන කණ්ඩායම මෙය නීතියක් විදියට හදන්න ඕන. යම් කිසි මුදලක් ලැබෙන්නෙ නැති නම් මේක නඩත්තු කරන්න බැහැ. මෙයට අපිට දේශපාලනඥයන්ගේ පස්සෙ යන්නත් බැහැ. මම ඇතුළු සමස්ත කලා මණ්ඩලය වසර ගානක් තිස්සේ මේ ගැන කතා කරත් තවම එය ක්‍රියාත්මක වන්නේ නැහැ.

එවැනි තත්ත්වයක් ඇතිවීම නිසා නේද වයෝවෘද කලාකරුවන් අද අසරණ වෙලා ඉන්නේ?
සත්තකින්ම ඇත්ත, යම් කිසි කලාකරුවෙක් නිර්මාණයක් එළි දැක්වුණ දවසේ ඉඳන් ඒකේ මුදල් උපයන්න පටන් ගන්නවා. ආණ්ඩුව යම් ක්‍රමවේදයක් හදලා තියෙන්න ඕන කෙලින්ම නිර්මාණයට දායක වුණ සියලු දෙනාට මුදල් බෙදිලා යන විදිහට. මෙය අපට පුන පුනා කියන්න විතරයි පුළුවන්.

ඔබ අවසානයට රූප රචනා කළ අම්මා ගැන කියැවෙන ගීතය දමිළ තනුවකට අනුව හදපු එකක් නේද?
“නැති බැරිකම් මගේ” කියන ගීතය මම ගායනා කරා, සිංදුව කියාගෙන යනකොට මල්ලි කෙනෙක් කියනවා අයියේ ඔය වගේම දමිළ සිංදුවක් තියෙනවනේ කියලා, හොයලා බැලින්නම් ඇත්ත. මට පසුගිය කාලයේම කොළේ වහලා ගැහුවේ. මම අපේ රටේ සංගීතඥයන්ට කියන්නේ අපිට කොලේ වහලා ගහන්න එපා කියලයි. මම කලින් “සිත මගේ රිදුනා” කියන ගීතය ඉන්දියාවේ තනුවකට කරා, ඒ මගේ පාසල් මිත්‍රයගේ වචනය නිසා. මට ඒකේ හොඳ නරක දෙකම ආවො, ඒ නිසා කොලේ වහලා ගහන්න එපා කියලා කාරුණිකව ඉල්ලනවා.

ඔබේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව මතක් කළොත් ?
අද තියෙන තත්ත්වය උඩ පොඩියට ගඩොල් ටිකක් කපන්න හිතාගෙන ඉන්නවා. තව මගේ අක්කගේ ඉඩමක් තියෙනවා ඒකේ ගොවිතැනක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ කවුරු හරි ඉල්ලීමක් කළොත් ගීතයක් ගායනා කරන්න කියලා පද, තනු බලලා ඒ ගැන සලකා බලනවා . මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ඒකයි මම එහෙම තීරණයක් ගත්තේ.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!