Gossip

ප්‍රථම ප්‍රේම ගණනාවක් තිබ්බා- තාමත් මම ගාව තියෙනවා එයා මට එව්ව ලියුම් – දයාසිරි ජයසේකර

සම්පූර්ණ නම සඳහන් කළොත්?
ජයසේකර පතිරන්නැහැලාගේ දයාසිරි පද්මකුමාර ජයසේකර

සංගීතයට හුරු ඔබේ මුවට එකතු වුණේ ක්‍රීඩාව යන වචනය. ජීවිතයේ බොහෝ දේ මේ සමඟ වෙනස් වුණා ද?
නැහැ. ක්‍රීඩාවත් මගේ ජිවිතයට එකතු වුණේ මම කුඩා කාලයේදි. ඒ අතර මැද කාලයේදි තමයි මගේ ජීවිතයට ගායනය එකතු වුණේ. මේ දෙක අතර කිසිම වෙනසක් මට නැහැ. මේ දෙකම මගේ ජීවිතයට ගොඩාක් සමීපයි. ක්‍රීඩාව එකතු වුණා කියලා මගේ ජීවිතයේ කිසිම වෙනසක් වුණේ නැහැ.

දැන් ගතකරන මේ ජීවිතය හරිම වෙහෙසකරයි කියලා දැනෙනවද?
බොහෝම වෙහෙසකරයි. ජීවිතයට විවේකය හරිම අඩුයි. කාර්යබහුල ජීවිතය නිසා මේ හැමදේම පැත්තකට දාලා දවස් දෙකතුනක් කොහේ හරි ගිහින් එන්න තියෙනවානම් හොඳයි කියලා හිතෙනවා. ඒත් ඒකටත් වෙලාවක් නැහැ. අපි පිටරටක ගියත් උදේ සිට රෑ වෙනකම් වැඩසටහන් දානවා. එහෙම වෙලාවට මම අපේ නිලධාරීන්ට කියන්නේ පැයක් දෙකක්වත් තියන්න මට හුස්ම ගන්නවත් කියලා.

ගොඩාක් අය ඔබට ආදරය කරන්නේ ඔබේ ලස්සන කටහඩ නිසා. ගීතයට මුල්වුණු ඔබේ ජීවිතය ගැන සඳහන් කළොත්….?
මම කුඩා කාලයේ සිටම සංගීතය හැදැරුවා .පාසල් කාලයේ සිටම විවිධ ගීත ගායනා කළා. වයඹ ගීතයත් ගායනා කළේ මගේ කටහඬින්. රුක්මණි තිලකරත්න මැතිණිය මගේ සංගීත ගුරුවරිය. මට ස රි ග ම ප ද නි ස කියලා දුන්නු මගේ පළමු වැනි ගුරුවරයා ආනන්ද රංබණ්ඩාර මහතා.

ඔබේ පවුලත් සංගීතයට ලැදි පවුලක් කිව්වොත්?
මගේ පවුලේ හත් දෙනෙක් ඉන්නවා. අපි හත් දෙනාටම සිංදු කියන්න පුළුවන්.

ඒ අතරින් දක්ෂ ඔබ වෙන්න ඇති..?
හැම දෙනාම දක්ෂයි.

ලස්සනට සිංදු කියන්න පුළුවන් කාගේ කට හඬින් ද?
මම ගොඩාක් ආස අමරදේව ශූරීන්ගේ සිංදු කියන්න. ඒවගේම මම තවත් ආසයි සුනිල් එදිරිසිංහ මහතාගේ සිංදු කියන්නත්.

මේ අතරින් ප්‍රේක්ෂකයෝ ඇදිලා එන්නේ කාගේ හඬින් ගී ගැයුවොත් ද?
ගොඩාක් අයගේ ප්‍රතිචාර ලැබෙන්නේ සුනිල් එදිරිසිංහ මහතාගේ හඬින් ගී ගැයුවොත්.

ගීතයත් සමඟ මුසුවුණු කාලයේ රසබර අත්දැකීම් මතක් කළොත්?
මමයි, මගේ අයියා කිත්සිරි ජයසේකර කොළඹ ඇවිත් සංගීත කණ්ඩායමක් පටන් ගත්තා, සිවුසැරයන් කියලා. ඒ වෙන කොට මම විශ්ව විද්‍යාලයට තේරුණ ගමන්. නමුත් විශ්ව විද්‍යාල පටන් ගෙන නැහැ. ඒ කාලයේ මට ආසාවක් ඇතිවුණා මොඩිලින් කරන්න. ඒ වගේම චිත්‍රපටි වල රඟ පාන්නත් ආස හිතුණා. මේවා කරන්න මම කොළඹට ආවා. අයියත් මමත් ලංකාව වටේ තියෙන සංදර්ශන වලට ගිහින් ගෙදර එන්නේ පාන්දර. ඉතාම රසවත් කාල වකවානුවක්.

ඒ කියන්නේ ඔබ හැම දේමට දක්ෂ ඕල්රවුන්ඩර් කෙනෙක්…..?
ඔව්.

සිංදු කියන කාලයේ ආදරයෙන් ජීවිතයට සමීප වුණු ප්‍රේක්ෂකයොත් ඇති….?
ඔව්. සිංදු කියලා එළියට එනකොට ඇඩ්‍රස් ලියලා දුන්නු ගෑනු ළමයිනුත් හිටියා. දුරකතන අංක දුන්නු අවස්ථාත් තියෙනවා. ඒ කාලය හරිම රසවත්. මගේ තරුණ කාලයනේ. මම බෑන්ඩ් එකේ ඉන්න දවස් වල කිව්වේ රූකාන්තගේ සිංදු. ඒ කාලයේ රූකාන්ත හරිම ජනප්‍රියයි. මේ නිසා තරුණියන් මට ආදරයක් දැක්වුවා.

ඔබේ බිරිය හඳුනාගන්න ලැබුණෙත් මේ විදියට සිංදු කියලද?
නැහැ. ජයවන්ති හමුවුණේ මම විශ්ව විද්‍යාලයේ ඉන්න කාලෙදි. මේ කාලයේ මම චන්නගේ නැටුම් පන්තියට ගිහින් උපුලි අක්කාගෙන් නැටුම් ඉගෙන ගත්තා. මේකේ හිටිය වැඩිමහල් කෙනා මම. මේ අතරෙදි තමයි මට ඇයව මුණ ගැසුණේ. දවසක් උපුලි අක්කා ඇහුවා නංගිව ගිහින් බස්සවලා එන්න පුළුවන්ද කියලා. මම ගිහින් එයාව ත්‍රීවිලර් එකකින් ඇරලවලා ආවා.

ඊට පස්සේ දිගටම ඇරලවන්න පටන් ගත්තද?
නැහැ. පස්සේ එයා වැඩ කළේ සංචාරක මණ්ඩලයේ. ඒත් අපි දෙන්නගේ හමුවීම දිගින් දිගටම පැවතුණා.

සරසවියේ කොලු වයසේ රසබර අත්දැකීම් ඇති…?
විශ්ව විද්‍යාලයේ ඉන්න කාලයේ මට තව ගෑනු ළමයෙක් හිටියා. ඒත් ඒක ඉවර වුණා. ඊට පස්සෙයි ජයවන්ති හමුවුණේ. අපි නීති පීඨයේ දේශපාලනය කළා. හවසට කට්ටිය සෙට් වෙලා සිංදු කියනවා. හරිම රසවත් අතීතයක්.

තව ආදරය පතාගෙන ආ අයත් ඉන්න ඇති…?
ප්‍රථම ප්‍රේම ගණනාවක් තිබ්බා. ඒත් ඒ හැම එකක්ම මතක නැහැ. පළමුවැනි ප්‍රේම සම්බන්ධය තිබුණේ පාසල් කාලයේදි. ෆෝන් නැති නිසා මේ කාලයේ වැඩියෙන්ම කළේ ලියුම් ලියන එක. තාමත් මම ගාව තියෙනවා එයා මට එව්ව ලියුම්. පස්සේ එයා මාත් එක්ක තරහ වුණාම ඒවා කෑලි කෑලිවලට ඉරලා මටම තියාගන්න කියලා ගෙනත් දුන්නා. මම හිතන්නේ තාම ඒව මම ළඟ ඇති .

බිරියත් දරුවනුත් එක්ක ගත කරන ජීවිතය ගැන කිව්වොත්…?
ඒ අයත් එක්ක ඉන්න ලැබෙන වෙලාව ගොඩාක් අඩුයි. මට පුළුවන් හැම වෙලාවකම මම කරන්නේ මගේ දරුවෝ දෙන්නත් එක්ක ඉන්න එක. අම්මත් එක්ක තමයි ඒ දෙන්නා ගොඩාක් ඉන්නේ. ගෙදර ඉන්න වෙලාවට ඇඟට තුරුළු වෙලාම දෙන්නා මාත් එක්ක ඉන්නවා. මම ඒ දෙන්නට හරිම ආදරෙයි. ඒ දෙන්නත් එහෙමයි.

අම්මා නර්තනයට. තාත්තා ගායනයට. දරුවෝ මොන පැත්තටද?
දුව සිංදු කියනවා වගේම නැටුම් කරනවා. පුතා ක්‍රීඩකයෙක් වෙයි. එයා රගර් කරන්නේ.

ජීවිතේ ආස කරන දේවල් කිව්වොත්..?
කාටවත් කරදරයක් නැතුව හොඳ ජීවිතයක් ගත කරන්න ආසයි. රටේ ජනතාවත් එක්ක ඉන්නත් ආසයි. ලොවේ කොහේවත් මේ වගේ සම්පත් ඇති රටක් වෙන නැහැ. මම මේ ගමන ආවේ බොහෝම දුක් විදලා. තනියම නැගිට්ට වෙලාවලුත් තිබුණා. මගේ සහෝදර සහෝදරියනුත් උදවු කළා, ඒ දුෂ්කර ගමන ඉදිරියට යන්න මට ඕන.

ගෙදරින් කියන්නේ නැද්ද මේ අවිවේකි දිවිය එපා කියලා…?
නැහැ. ගෙදර අයටත් මේ ජීවිතය පුරුදු වෙලා. අපි දෙන්නා අතරත් හොඳ අවබෝධයක් තියෙනවා. එයා කැමැති නැති වුණත් කවදාවත්ම ඒ ගැන කියලා නැහැ.

බත් හැළිය ඉදෙනකම් විවාහ දිවියේ හැළ හැප්පීම් ඇති නේද?
නැහැ. ඇත්තටම ජයවන්ති කිසි දවසක මාත් එක්ක රණ්ඩුවට එන්නැහැ. අපි අතර එහෙම ප්‍රශ්න කවදාවත්ම තිබුණේ නැහැ. ඇය ඇයගේ කාර්ය භාරය කරනවා. මම මගේ කාර්යය කරනවා. ඇය තමයි මගේ දරුවෝ හොඳින් බලාගන්නේ.

ළඟදි තට්ටය ගාලා හිටියේ මහණ වෙන්නවත් හිතක් පහළ වෙලාද?
ඇත්තටම මට හිතුණා කොණ්ඩය කපලා දාන්න ඕන කියලා. මම ළඟදි සිංගප්පූරුවේ ගියා. ඒ ගියහම මම හරි කැමැතියි පොඩි ෂෝටක් ගහගෙන සෙරෙප්පු දෙකක් දාගෙන පාරේ ඇවිදින්න. සිංගප්පූරුවේ ගිහින් මෙහෙම ඇවිදින කොට මම දැක්කා සැලෝන් එකක්. මට හිතුණා කොණ්ඩය කපන්න ඕන කියලා මම ඒ අයට කිව්වා නොම්මර 1 කට් එක ගහන්න කියලා. ඒ අය දන්නැහැ මම කවුද කියලා. කට් එක දැම්මට පස්සේ තමයි මට තේරුණේ වැඩේ වැරැදුණා කියලා. සමහරු මට බැන්නා. සමහරු හොඳ කිව්වා.

තට්ටය ගාලා පුරුදු වුණ එක හොඳයි කියලා හිතුණේ නැද්ද? ජීවිතය එපා වුණ දවසකට….?
දැන්මම පුරුදු වෙන්න පුළුවන් වුණා කියලා හිතෙනවා. ඒ නිසා මම කළ ඒ දේ හොඳයි කියලා හිතෙනවා.

ගම් පළාතට ගිහින් නිදහසේ ඉන්න හිතක් පහළ වෙන්නැතිද..?
සිකුරාදට ගියාම ඉරිදා වෙනකම් මම ඉන්නේ ගමේ. ඒ කාලයේ ගමේ ඉන්න එක හරිම නිදහස්. නමුත් එහේ මෙහෙ දුවලම ගමේ ගියත් කිසි නිදහසක් නැහැ. උත්සව මළ ගෙවල් වල ගියාම කාලය ඉවරයි. ඒත් මම කැමතියි ගමේ ඉන්න.

ක්‍රිකට් රසිකයෙක්නේ. අපේ කණ්ඩායම පැරදෙන කොට මොකද හිතෙන්නේ…?
පරදින්න වුණ හේතුව බලන්න ඕන. අපි විහින් පරදින්නේ නැතුව තරග කරන්න ඕන. ඒ අයගේ ජයග්‍රහණයේදි වගේම පැරදුමේදිත් අපි සහය දක්වන්න ඕන.

විනෝදාංශය ක්‍රිඩාවද? සංගීතයද?
මේ දෙකම. පාන්දර ආවත් මම උදේට අනිවාර්යයෙන් ජිම් එකට යනවා. සංගිතයත් එහෙමයි. රෑට කීයට ගෙදර ආවත් රෑ එක දෙක වෙනකම් සිංදු අහනවා.

උයන්න පිහන්නත් දක්ෂ ඇති…?
අනේ නැහැ. ඒත් මට මතකයි පොඩිකාලේ එක දවසක මට උයන්න කිව්වා. මම හාල්මැස්සෝ තෙල් දාලා ඉස්සෝ බැදලා හැදුවා. මගේ අක්කලා එදා මට හිනාවුණා. එක ජාතියේ ඒවාම උයලා කියලා. එදායින් පස්සේ අද වෙනකම් ඉව්වේ නැහැ. ඒත් මට හොඳට උයන්න පුළුවන්. මගේ තාත්තාට අම්මාටත් වැඩිය හොඳට උයන්න පුළුවන්. තාත්තා තමයි ගෙදර මාළු මස් උයන්නේ.

විලාසිතා පැත්තටත් බර ඇති ….?
මම හොඳට අඳින්න ආසයි. නමුත් විලාසිතා කරනවා කියලා සංකර විදියට අඳින්න කැමැති නැහැ. තමන්ට ගැළපෙන ඇඳුම් ඇඳලා ලස්සනට ඉන්න ආසයි.

ජීවිතයේ වඩාත් සතුටු වුණ දවස කිව්වොත්….?
ඇමැතිවරයෙක් විදියට දිවුරුම් දුන් දවස, මහ ඇමැතිවරයෙක් විදියට දිවුරුම් දුන් දවස වගේම මගේ දුවයි පුතයි ඉපදුණු දවසුත් මට අමතක කරන්න බැහැ.

මේ හැම දේම එපා කියලා හිතුණු දවසකට මොකද කරන්නේ…?
මට හැම වෙලාවේම හිතෙනවා හුදකලාව කොහේ හරි ඉන්න තියෙනවානම් හොඳයි කියලා. ඒත් ඒක කවදා සිදුවෙයිද කියලා මම දන්නේ නැහැ. මම ගොඩාක් ආසයි ඉන්දියාවේ කොහේ හරි නිස්කලංක ප්‍රදේශයකට ගිහින් නිස්කලංකව ජීවත් වෙන්න.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!