Gossip

නොසිතූ වෙලාවල්වල එජාපය කඩා වැටෙන්නේ සිරිකොතේ දෝෂය නිසාද..? දේශපාලන උණුසුම මැද සිරිකොත වාස්තු දෝෂයක් එළියට එයි

එක්සත් ජාතික පක්ෂය තුළ කලින් කලට සිදු වෙන අර්බුද ප‍්‍රශ්නවල අවසානයක් නැති බව බොහෝ දෙනකුගේ අද මතය වී තිබේ.
එජාප ආණ්ඩුව එක දිගටම කරගෙන යන්නට විවිධ බාධා ප‍්‍රශ්න ආරාවුල් ඇති වන්නේ කුමක් නිසා දැයි ප‍්‍රසිද්ධ ප‍්‍රශ්නයක් වී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සහ පක්ෂය තුළ සිදුවෙන මෙම වෙනස ඇති වීමට හේතුව කුමක්දැයි කියා දීර්ඝ වශයෙන් අප කළ විමර්ශනයකදී අනාවරණය වූයේ අපූරුම කතාවකි.
එහෙත් මෙම කතාව එජාපයේ ප‍්‍රබලයන් මෙන්ම සමහර මන්ත්‍රීවරුන්ද විශ්වාස නොකරනු ඇත.
මෙය ‘සිරිකොත’ ගොඩනැඟිල්ල පිළිබඳව කතාවකි.
මීට කලකට පෙර එජාපයේ හිටපු ඇමැතිවරයකු වූ ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා කළ ප‍්‍රකාශයක් මතකයේ පවතී.
සිරිකොත’ ගොඩනැඟිල්ලට පක්ෂයේම පිරිසක් එජාපයේ නායකත්වය වෙනසක් ඉල්ලා ගල්මුල් ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය පිළිබඳව අප කළ කරුණු විමසීමකදී ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා අපූරු කතාවක් කීවේය.
‘සිරිකොත’ ගොඩනැඟිල්ලේ වාස්තු දෝෂ තිබිය හැකි යැයි හෙතෙම සඳහන් කළේය.
හෙතෙම තවදුරටත් කරුණු දැක්වූයේ මෙම වාස්තු දෝෂය පිළිබඳව පක්ෂයේ නායකත්වයට දැනුම් දුන් නමුත් ඵලක් නොවූ බවය.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව (යහපාලන ආණ්ඩුව) වැටුණු මොහොතේ ‘සිරිකොත’ ගොඩනැඟිල්ලේ වාස්තු දෝෂ කතාව අපට සිහිපත් විය.
‘සිරිකොත’ ගොඩනැඟිල්ලේ ‘වාස්තු දෝෂයන්’ තිබේ දැයි කියා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට අපි කතා කළෙමු.
ඊට ඔහු සිනාසුණේය. ‘‘අනේ මං දන්නේ නැහැ ඕවා යැයි’’ හෙතෙම කියා සිටියේය.
හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කලක් විපක්ෂ නායකවරයා වශයෙන් සිටියදී ඔහුගේ ළඟම හිතවතා වී සිටි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් සිටි තිස්ස අත්තනායක මහතාට අපි කතා කළෙමු. ‘‘සිරිකොත ගොඩනැඟිල්ලේ වාස්තු දෝෂයන් තිබෙනවා දැයි’’ ඇසුවෙමු.
‘‘ඔව් ඇත්ත වශයෙන්ම සිරිකොත ගොඩනැඟිල්ලේ වාස්තු දෝෂයන් තිබෙනවා . ප‍්‍රවීණ ජ්‍යොතිෂවේදියකු මෙම ගොඩනැඟිල්ලේ දෝෂය හොයා බලන්න කීප වතාවක්ම ගෙන්නුවා. මේක ඉවත් කරන්න බැරි මොකක් හෝ දෝෂයක් තිබෙනවා. පක්ෂයේ කවුරුත් මෙම දෝෂය ඉවත් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදී එ. ජා. ප. මූලස්ථානය වූ සිරිකොත ගොඩනැඟිල්ල කෝට්ටේ ප‍්‍රදේශයට ගෙන ගිය බව මගේ මතකයයි.’’
කෝට්ටේ ප‍්‍රදේශයට සිරිකොත ගොඩනැඟිල්ල මාරු කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයට අපූරු කලදසාවක් උදා විය. දිවංගත රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපති සමයේ මෙම පක්ෂය තුළින්ම ආරාවුල් වැඩි වෙන්නට විය.
එ. ජා. ප. ය තුළින්ම වාදයක් ගොඩනැඟුණේය. ප්‍රේමදාස මහතාට එරෙහිව පක්ෂය තුළින් දිවංගත ලලිත් ඇතුලත්මුදලි – ගාමිණී දිසානායක යන ඇමැතිවරු එදා පෙරමුණ ගෙන තිබිණි.
ප්‍රේමදාස මහතාගේ පාලනයෙන් පසු එක්සත් ජාතික පක්ෂය වැටි වැටී නැඟිට්ටේය. පක්ෂ නායකත්වයට එරෙහිව පක්ෂය තුළින්ම මෙම මත ගැටුම් වර්ධනය විය.
‘සිරිකොත’ ගොඩනැඟිල්ල භූමිය තුළම පක්ෂයට වෙන විනාශය ගැන කලකිරීම නිසා එ. ජා. ප. යේ උග‍්‍ර සාමාජිකයකු වූ රියෙන්සි මහතා ගිනි තබාගෙන සියදිවි හානි කර ගත්තේය. එ. ජා. ප. නායක රනිල් වික‍්‍රමසිංහ මහතා බොහෝ දුරට විපක්ෂ නායකවරයා ලෙස ක්‍රියා කළේය. කුමන හෝ ප‍්‍රශ්නයක් මත එජාප රජයන් එක දිගට පවත්වාගෙන යෑමට රනිල් වික‍්‍රමසිංහ මහතාට විවිධ බාධා ප‍්‍රශ්න ආරාවුල් ඇති වෙයි.
මෙම දෝෂය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ හෝ පක්ෂයේ ප‍්‍රශ්නයක් නැති බව එ. ජා. ප. නියෝජනය කරන මන්තී‍්‍රවරුන් අතළොස්සකගේ මතය වී ඇත්තේ මෙය ‘සිරිකොත’ වාස්තු දෝෂයන් වන්නට බැරි නැති බව ද එහෙත් එ. ජා. ප. යේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් එම මතය තඹේකටවත් විශ්වාස නොකරයි.
මෙහි සැබෑ තත්ත්වය අනාවරණය කර ගැනීම සඳහා ජ්‍යොතිෂඥයකුගෙන් අපි කරුණු විමසුවෙමු. ‘සිරිකොත’ ගොඩනැඟිල්ලේ වාස්තු දෝෂයන් තිබෙනවා යැයි ඔහු සනාථ කළේය.
මීට වසර කීපයකට උඩදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස ක්‍රියා කළ තිස්ස අත්තනායක මහතා
මාව දෙතුන් වතාවක්ම ‘සිරිකොතට’ කැඳවා ගෙන ඇවිත් මේකේ දෝෂයන් තිබෙනවා දැයි කියලා ඇහුවා. මම හුඟක් පරීක්ෂා කළා. ඇත්ත වශයෙන්ම මෙම
ගොඩනැඟිල්ලේ ඉවත් කරන්න බැරි දෝෂයන් තිබෙනවා. මේකට කළ යුතු එකම පිළියම ගොඩනැඟිල්ල කඩලා ඉවත් කරන එකයි. එතන තිබුණු බුදු පිළිමේ පුංචි දෝෂ කීපයකුත් තිබුණා. මං ඒවා ඉවත් කළා. ‘සිරිකොත’ දෝෂය සොයා බලන්න ගියා.
‘සිරිකොත’ ගොඩනැඟිල්ලේ මෙම වාස්තු දෝෂය තිබෙන තුරු එක්සත් ජාතික පක්ෂයේ දියුණුවට විවිධ බාධා ප‍්‍රශ්න ආරාවුල්. එම දෝෂයට පිළියම් කිරීමට මෙතෙක් කිසිවෙකු ඉදිරිපත් වී නැත.
හිටපු එ. ජා. ප. අමාත්‍යවරයකු වන ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතාට ද අපි කතා කළෙමු.
‘සිරිකොත’ ගොඩනැඟිල්ලේ ‘වාස්තු දෝෂය’ ගැන වගකිවයුතු අයට කොතෙක් කීවත් ඵලක් නැතැයි’’ ඔහු කීවේය.
වාස්තු දෝෂයක් තිබෙන බව ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා ද පිළිගත්තේය.
එ. ජා. ප. යේ ඇමැතිවරයකුව සිටි අපේ ප‍්‍රවීණ සිනමා නළු රන්ජන් රාමනායක මහතාගෙන් අපි මේ පිළිබඳව ප‍්‍රශ්න කළෙමු.
‘‘අනේ. අපි ඕවා විශ්වාස කරන්නේ නැහැ’’ හෙතෙම කීවේය.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය තුළ යළිත් ප‍්‍රශ්න හටගෙන ඇති බව රටේ ජනතාව අතර ප‍්‍රසිද්ධ රහසකි.
පක්ෂයේ නායකත්වයට අහවලා හොඳ යැයි සමහරු කියති.
පක්ෂ නායකත්වය බෙදා ගැනීමට කල්ලි ගැසෙනවා සේම ‘සිරිකොත’ ගොඩනැඟිල්ලේ වාස්තු දෝෂය ඉවත් කිරීම පිණිසත් ඉදිරියේදී පක්ෂයේම තවත් කල්ලි දෙකක් ගොඩනැගෙනු ඇත.

 

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!