Gossip

“නිවන් සැප ලැබෙන්න කියලනෙ තිබ්බේ – අපායට යන්න කියලා ‍නෙවෙයිනේ – එහෙම දාපු අය කතා කරලා සමාව ඉල්ලුවා” – දුමින්ද කලංසූරිය

අමරසිරි කලංසූරිය මහතා පසුගියදා අසනීප වී රෝහල් ගත කළා. මේ සමගම ඔහු ගැන විවිධ අසත්‍ය තොරතුරු පවා ප්‍රචාරය වෙන්න ගත්තා. හැබැයි දැන් ඔහු ඉතා සුවයෙන් පසුවෙනවා. කලංසූරිය මහතාගේ ආදරණීය පුත් දුමින්ද කලංසූරිය සිය පියා ගැන පුවත්පතක් සමග කියලා තිබුණේ මේ විදියට.

පියා හදිසියේ රෝහල්ගත කළා නේද?
ඔව්. මීගමුවේ පුද්ගලික රෝහලකට තමයි ඇතුළත් කළේ. දැන් ජයවර්ධනපුර රෝහ‍ලේ ප්‍රතිකාර කරන්නේ. හෙම්බිරිස්සාවක් එක්ක තමයි තාත්තට හෘදයාබාධයක් ඇතිවෙලා තිබුණේ. එදා පරීක්ෂණ වගයකට අම්මව රෝහල්ගත කරන්න සැලසුම් කරලා තිබුණේ. එදා අපි හැමෝම හිටියා. උදේ කෝල් කරලා කීවා තාත්තා වෙවුලනවා කියලා. තාත්තා හොස්පිට්ල් එක්කන් ගියාම කීවා ටෙස්ට් වගයක් කරලා විවේකයෙන් ඉන්න කියලා. අපි එදා රෑට එළියට ගිහින් කෑම අරගෙන තාත්තගේ රි‍පෝට් අරගෙන එද්දි තාත්තා නිකමට අපේ ෆැමිලි ඩොක්ටර්ට පෙන්නුවා. එතැනදි තමයි ඩොක්ටර් කීවේ ‍පොඩි වෙනසක් තියෙනවා හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න කියලා. එතැනදි තාත්තට හෘදයාබාධයක් හැදිලා තිබුණා. තාත්තා දැඩි සත්කාර ඒකකයට ගත්තා. එතැනින් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළා. දැන් නම් සුවය ලබමින් ඉන්නවා.

අමරසිරි කලංසූරිය මහතාට නිවන් සැප ලැබේවා කියලා සමාජ මාධ්‍යවල පළකර තිබුණා නේද?
මම ඒ දේ වැඩිය ඔළුවට අරගත්තෙ නැහැ. පවු‍ලේ අයටත් කීවේ ඒ දේ ගණන් ගන්න එපා කියලා. නිවන් සැප ලැබෙන්න කියලනෙ තිබ්බේ. අපායට යන්න කියලා ‍නෙවෙයිනේ. එහෙම දේවල් දාපු අය නම් කතා කරලා සමාව ඉල්ලුවා. ‍පොඩි කනගාටුවක් තිබ්බා. මේ දේ ඇත්ත නැත්ත හොයලා බලලා මේ වගේ දේවල් දැම්මා නම් හොඳයි. ඇතැම් අය ප්‍රසිද්ධිය, මුදල් මත කටයුතු කරනවානේ. ඒ අය ගැන ඉතින් කනගාටුවක් තියෙනවා. ගොඩක් අය කතා කළා. තාත්තගේ හිතවතුන් වගේම ගොඩක් දෙනා මේ නිසා අපහසුතාවට පත්වුණා. එහෙම වැරදි ප්‍රචාර දාපු අය රසිකයන්ගෙන් බැණුම් ඇහැව්වා. ඒ අයට හොඳ පාඩමක් ඒක.

තාත්තගෙ අඩිපාරේ යමින් රංගනයට එකතු වෙන්න කැමැත්තක් තිබුණේ නැද්ද?
එහෙම ආසාවක් තිබුණේ නැහැ. තාත්තා අපිව යොමු කළෙත් නැහැ. තාත්තා අසනීප වෙන්න කලින් වෙළෙඳ දැන්වීමක මම තාත්තා එක්ක රඟපෑවා. මගේ යාළුවෙක්ගෙ චිත්‍රපටයක රඟපෑවා. ඒ වගේම මෙත්තසේන මහත්තයාගේ ඉල්ලීමකට ඔහුගේ කෙටි චිත්‍රපටයකට ‍පොඩි කෑලි දෙකක් රඟපෑවා. මම දන්නවා මට රඟපාන්න බැහැ කියලා. තාත්තගේ නම ඒ විදිහට තියලා මගේ පාඩුවේ හිටියා නම් හරි කියලා මට හිතුණා.

තාත්තා නිසා ආරාධනා නම් ලැබෙනවා ඇති?
එහෙම ආරාධනා නම් ලැබෙනවා. ඒත් මම ඒ ගැන ලොකුවට හිතන්න යන්නෙ නැහැ. තාත්තගේ ජනප්‍රියත්වයෙන් මම ප්‍රයෝජන ගන්න කැමති නැහැ.

තාත්තගේ නිර්මාණ රසවිඳිනවාද?
ඔව්. ‍පොඩි කා‍ලේ ඉඳන්ම තාත්තා රංගනයෙන් දායක වුණු නිර්මාණ අපි බැලුවා.

අමරසිරි කලංසූරිය කියන චරිතය සැබෑ ජීවිතයේ මොන වගේද?
එහෙම ලොකුවට බරක්පතළක් තිබුණු කෙනෙක් ‍නෙවෙයි. අපි රැකියාවක් කරන තැනට පත්වෙනකම් කිසිම අඩුවක් නැතුව ඔහු සියලුම දේ බලාගත්තා. සියලු සැපසම්පත් දුන්නා. මට වයස අවුරුදු 45ක් වෙද්දි තාත්තට වයස අවුරුදු 77ක් වෙද්දි පවුල් ජීවිතේට එයා ලොකු තැනක් දුන්නා. එය අපට දුන්න ලොකුම දේ.

ගෙදර ඉන්න වෙලාවට කොහොමද කාලය ගත කරන්නේ?
තාත්තා හොඳට කාලා බිලා හරිම සැහැල්ලුවෙන් ඉන්නවා. විහිළු කරනවා නිතරම. මනුස්සයාගේ තරාතිරම වැඩක් නැහැ, ඔහු හැමෝටම එක විදිහට සැලකුවා. හැම සති අන්තයෙම ඔහු අපිව නුවරඑළි එක්කන් ගියා. අපිට මේ දේ කරන්න කියලා බල කරලා නැහැ. හැබැයි අපට චාරිත්‍ර වාරිත්‍ර හොඳට ඉගැන්නුවා. ‍පොඩි ‍පොඩි දේවල් ඉගැන්නුවා. අද වෙනකම් අපට අතක් උස්සලා පාරක් ගහලා නැහැ.

මොන වගේ ඇසුරක්ද දරුවන් තුන්දෙනා එක්ක තිබුණේ?
තාත්තා රූගතකිරීම්වලට ගියාම ගොඩක් වෙලාවට මාසයක් විතර ගෙදර එන්නෙ නැහැ. ගෙදර එද්දි ගොඩක් කෑම ජාති අරන් එනවා. අපි තුන්දෙනාට කන්න දීලා විහිළු කර කර ඉන්නවා. තාත්තා ගෙදර ඉන්නව නම් අපිව ඉස්කෝ‍ලේ එක්කන් යනවා, එක්කන් එනවා. එයා ව්‍යාපාර කටයුතුයි, රංගන කටයුතුයි එක්ක අපිවත් ආදරෙන් බලාගත්තා.

තාත්තගේ ජනප්‍රියත්වය නිසා පාසල් යන කා‍ලේ හොඳ පිළිගැනීමක් තියෙන්න ඇති?
ඒක ඒ කා‍ලේ ලොකු වදයක් වෙලා තිබුණා. අදටත් මම කොහෙදිවත් කියන්නෙ නැහැ මම කලංසූරියගෙ පුතා කියලා. නම ඇහැව්වාම කියන්නෙ දුමින්ද කියලා. අපට ‍පොඩි කා‍ලේ මොනව හරි ගන්න ඕන වුණාම තාත්තට පැයකටවත් ආපහු එන්න නැහැ. ඒ තරම් මිනිස්සු ඔහුව වටකර ගන්නවා. මොකද තාත්තට විතරක් ‍නෙවෙයි, ඒ කා‍ලේ හැමෝටම ඒ ජනප්‍රියත්වය තිබුණා. මොකද විජය අංකලුයි, මාලනී ඇන්ටියි අපේ ගෙදර ආපු දවසට ගමේම මිනිස්සු ගේ ගාවට ඇවිත් බලන් ඉන්නවා ඔවුන් එළියට එන්නේ මොන වෙලාවටද කියලා. නමුත් අද ඒ ජනප්‍රියත්වය බොහෝ දෙනාට ලැබෙන්නෙ නැහැ.

ඇයි ඒ ජනප්‍රියත්වය අද අයට ලැබෙන්නෙ නැහැ කියන්නෙ?
ඒක ඒ අයගේ නොහැකියාව. අපේ රංගන ශිල්පීන් විසින් නැති කරගෙන තියෙනවා. ඒ දේ සාධරණීය කරනවා අද නළුවෝ වැඩියි කියලා. මාධ්‍ය ප්‍රමාණය වැඩිවෙලා කියනවා. ගොඩක් අය කීවා සිනමාව කඩන් වැටුණේ රූපවාහිනිය නිසා කියලා. එහෙම වුණා නම් ඉන්දියාවේ සිනමා කර්මාන්තය කළින්ම කඩා වැටෙන්න ඕන. ‍පොඩි කඩාවැටීමක් තිබුණා. ඒ කඩන් වැටුණු තැන ආපහු ගොඩගියේ 1994දී විතර. අපේ අයම තමයි ඒ ජනප්‍රියත්වය ගොඩනගා ගන්න ඕන.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!