Gossip

නිධන් වළට කිඹුලා දාලා ඔළුව කුඩු වෙන්න ගහලා

නිධන් හොරුන් හෝ ප‍්‍රදේශයේ ධීවරයින් විසින් එල්ල කරන ලද ගල්මුල්වලින් පහර කෑමට ලක්ව ඇතැයි අනුමාන කරන ලද දැවැන්ත කිඹුළකු හිස පුරාම දරුණු තුවාල සහිතව මරණාසන්නව සිටිය දී බේරා ගෙන ප‍්‍රතිකාර කර වනයට මුදා හැරීමේ සද්කාර්යයක් ත‍්‍රිකුණාමලය පරවි දූපත වනජීවි කාර්යාලයෙන් වාර්තා වෙයි.

සිද්ධිය වාර්තා වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කුච්චවේල් මඩුවන්කුලම වන රක්ෂිතයේ නිධන් හෑරූ විශාල වළක් තුළිනි.

මෙම රක්ෂිතයේ ගැසට් නොකරන ලද පුරාවිද්‍යා ස්ථාන විශාල වශයෙන් පිහිටා ඇති අතර නිධන් හොරුන් නිදැල්ලේ මෙම නිධන් හාරා ගොඩ දමන බවට ප‍්‍රදේශවාසීහු කියා සිිටිති.

ඉපැරණි දාගැබක් නටබුන් සේ දිස්වන ස්ථානයක හෑරූ විශාල වළක ගල්මුල්වලින් පහරදී හිස ප‍්‍රදේශයෙන් හා ඇස්වලින් ලේ ගලමින් අසාධ්‍යව කිඹුලකු වැතිර සිටින බවට පරෙවි දූපත ජාතික වනෝද්‍යානය භාර නිලධාරි උපාලි කුමාරතුංග මහතාට ලද තොතුරක් මත මෙම කිඹුලා හොයා ගෙන ප‍්‍රතිකාර කර ඇත.

කිඹුලා වළ තුළට දමා උගේ හිසට කළු ගල්වලින් දැඩි ලෙස පහරදීම නිසා හිස කොටස බරපතළ ලෙස තුවාල වී පණුවන් ද ගසා සිටි බවත්, ඇස්වලට ද හානි සිදුවී ලේ ගලමින් තිබූ බවත් තම සෙසු නිලධාරින් සමග කිඹුලාට ප‍්‍රතිකාර ලබාදී අවට ඇති මඩුවන්කුළම කලපුවට නිදහස් කළ බවත් කුමාරතුංග මහතා පැවසීය.

මීට පෙර අවස්ථා කීපයකදීම වාගේ මෙලෙස කිඹුලන් වළවල්වලට දමා තිබියදී තමන් ගොඩ ගෙන මුදා හැරිය බවත්, සමහර අවස්ථාවලදී දිරා ගිය කිඹුල් ඇටසැකිලි ද තමන්ට හමුවී ඇති බවත් පවසන කුමාරතුංග මහතා කිඹුලන් මැරීම බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් මෙම සතුන් දුටුවොත් කොටු කර තමන්ට දන්වන ලෙස ජනතාවගේ ඉල්ලා සිටියි.

කන්තලේ ඩබ්.එම්. වික‍්‍රමසිංහ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!