Gossip

“නිදාගන්න කළින් ඒ දේ නොකළොත් මට නින්ද යන්නේ නෑ” – නෙහාරා පීරිස්

බය කියන්නේ අපි කොයි කා තුළත් අඩු වැඩි වශයෙන් තියෙන දෙයක්නේ… විවිධ පුද්ගලයන් විවිධාකාර දේට බයයි.
මමත් සමහර දේවල්වලට බයයි. හැබැයි මගේ බය ටිකක් අසාමාන්‍ය එකක්.
නෙහාරා පීරිස්ගේ ඒ අපූරු කතාව මේ විදිහට සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

මම ජීවිතේට හොල්මන් අවතාර දැකලා නැහැ. මේ ලෝකය තුළ ඒ වගේ අද්භූත දේවල් ඇති කියලා මම විශ්වාස කරන්නෙත් නැහැ.
ඒත් පාළු තැනක, කළුවර තැනක තනියම ඉන්න වෙලාවට මට පුදුමාකාර බයක් දැනෙනවා. කවදාවත් අපේ ගෙදරට සොර සතුරු බලපෑමක් එල්ල වෙලා නැහැ.
ඒත් ගෙදර තනියම ඉන්න මම හරිම බයයි. කොයි මොහොතේ හෝ හොරුන් ගෙට එයිද කියලා ඒ වෙලාවට මට හිතෙනවා.
මේ භීතිකාව මට ඇතිවුණේ පුංචි කා‍ලේ ඉඳලා. ඒකට ප්‍රධානම හේතුව ගෙදර සා‍ලේ තියෙන ටී.වී එක කියලයි මට හිතෙන්නේ.
පුංචි කා‍ලේ ඉඳලා ටී.වී. එකේ යන චිත්‍රපට, ටෙලි නාට්‍ය නරඹන්න මම ලොකු උනන්දුවක් දැක්වූවා. වැඩි ඇල්මක් දැක්වූයේ ඉංග්‍රීසි චිත්‍රපට හා ටෙලි නාට්‍ය නරඹන්නයි.
හොල්මන් වගේම මිනීමැරුම් වගේ දර්ශනත් ඔය චිත්‍රපට, නාට්‍යවල තියෙනවානේ. මම හිතන්නේ ඒවා තමයි මගේ හිතට මේ විදිහේ බලපෑමක් ඇති කරන්න ඇත්තේ.
හොල්මන් චිත්‍රපට බලද්දී කොයි තරම් බයක් ඇති වුණත් ඒ විදිහේ චිත්‍රපට නරඹන්න මම ලොකු කැමැත්තක් දක්වනවා.
හැබැයි ඉතින් චිත්‍රපටය බලලා දවස් ගණනක් යනකල් තනියම සා‍ලේ ඉඳන් කුස්සියට යන්නවත් මම බයයි. ඔය හේතුව හින්දා පුංචි කා‍ලේ හරි අපූරු වැඩක් සිද්ධ වුණා. දවසක් අපේ නිවසට නෑදෑයන් පිරිසක් ආවා. මගේ වයසට සමාන වයසේ ඥාති සොයුරියන් කීපදෙනෙක්ම ඒ අතරේ සිටියා.
එදා රෑ අපි හොල්මන් චිත්‍රපටයක් බලන්න කලින්ම කතා වෙලයි හිටියේ. දැන් ඔන්න මහ රෑ කට්ටියම හොල්මන් චිත්‍රපටයක් බලනවා.
ඒක හරිම භයංකාර ජවනිකා පිරුණු චිත්‍රපටයක්. චිත්‍රපටය බලලා ඉවරවෙලා කට්ටියම මගේ කාමරේට ආවා.
හැබැයි ටික වේලාවකින් කට්ටියම කාමරේ ලයිට් නිවලා එළියට පැනලා දිව්වා.
ඒ විතරක් ‍නෙවෙයි. කාමරේ දොරත් වැහුවා. අඳුරු කාමරේ තනි වුණා. මම බයවෙලා විලාප තියන්න ගත්තා.
එදා හැමෝටම මගේ ඩැඩාගෙන් බැණුම් අහන්නත් සිද්ධ වුණා.
මම කිව්වනේ මම හොර හතුරන්ටත් ගොඩක් බයයි කියලා. කොතැන හෝ හොරකමක්, අපරාධයක් වුණා කියලා ටී.වී. එකේ ප්‍රවෘත්තියක් ගියත් මම ගොඩාක් කම්පනයට පත්වෙනවා. ප්‍රවෘත්තිය ඉවර වුණත් පැය ගණනක් යනකල් ඒ සිදුවීම් මගේ හිතින් මැකිලා යන්නේ නැහැ. ආයේ ආයේ ඒ සිද්ධියම සිහිපත් වෙනවා.
අදාළ සිද්ධියට මුහුණ දුන් කෙනා මම වුණා නම් මම මොනවා කරයිද කියලා හිතනවා.
මේ වගේ මගේ හිතට එන සිතුවිලි ආයාසයෙන් යටපත් කරගන්නත් බැහැ. මේ නිසා අදටත් මටම ආවේණික පුරුද්දක් තියෙනවා.
හැමදාම රෑට නිදාගන්න කලින් දොර ජනෙල් වහලද බලලා, කාමරයත් හොඳට පරීක්ෂා කරලා තමයි මම නින්දට යන්නේ. කාමරේ පරීක්ෂා කරද්දී ඇඳ යට පවා බලන එක මගේ අනිවාර්ය පුරුද්දක්.

උපුටා ගැනීම – ලක්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!