Gossip

නදීමල් ඩුබායි ගිය හැටි – එහේ හිටපු විදිය හෙළි වෙයි – එරටින් පැන්නූ සියල්ලන්ම මෙරටදී කොටු වුණ හැටි මෙන්න

ඩුබායිහි තරු හයේ හෝටලයක පැවැති සාදයකදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් ඇතුළු 31 දෙනාම නිදහස් කිරීමට එරට මහජන නඩු මෙහෙයවන්නා තීරණය කර ඇත්තේ කිසිදු නඩු විභාගකින් තොර ව ය. ඒ මධුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට පත්ව දින 50 කට පසුව ය.

මෙතෙක් කලක් ඩුබායි පොලිස් භාරයේ සිටි මධුෂ් ඇතුළු 31 දෙනාගෙන් ඔවුන් මුලින් ම මෙරටට එවන්නේ ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයෙක් වන ලලිත් කුමාර යන දෙදෙනා ව ය. ලංකාවට යන්නට හැකි බවට ඒ දෙදෙනාට ඩුබායි පොලිසිය දැනුම් දී ඇත්තේ පසුගිය 25 වෙනිදා ය. ඒ එදින උදෑසන ද ඔවුන්ගේ රුධිර සාම්පලයක් නැවත පරීක්ෂා කිරීමෙන් අනතුරු ව ය.

ඒ අනුව ඔවුන් දෙදෙනාට ලංකාවට පැමිණෙන්නට ගුවන් ටිකට්පත් සකස්කර දෙන්නේ මාකදුරේ මධුෂ්ගේ අනියම් බිරිය දිලිනි ඉෂාරා ය. ඇය වැලිකඩ බන්ධනාගාර ගැටුමෙන් මරුමුවට පත්වූ කළු තුෂාර නැමැත්තාගේ බිරිය ය. ඩුබායි සාදය සංවිධානය කෙරුණේ ඇයට දාව උපන් මධුෂ්ගේ දරුවා වෙනුවෙනි.

මේ වන විට හෙළිවී ඇති ආකාරයට අනුව අමල් පෙරේරාත්, නදීමාල් පෙරේරාත්, මාකඳුරේ මධුෂ් සහ තවත් දෙදෙනක් රඳවා තිබී ඇත්තේ එක කාමරයක ය. නානකාමර වලින් ද සමන්විත ඒ කාමරය, හෝටල් කාමරයක් බඳු ය. සිය ඥාතීන්ට කතාබහ කිරීමට දුරකතන පහසුකම් පවා සතියකට වරක් දෙවරක් ඔවුන්ට ලැබී ඇත්තේ ය. නදීමාල් පෙරේරාට සහ බන්ධනාගාර නියාමකවරයාට ලංකාවට යන්නට ගුවන් ටිකට්පත් කිට්ටු ම දිනයකට වෙන්කර ගන්නා ලෙස සිය අනියම් බිරියට දැනුම්දී ඇත්තේ ද මාකදුරේ මධුෂ් ය.

ඒ අනුව ඇය නදීමාල්ටත් ලලිත්ටත් ඩුබායි සිට ලංකාවට එන්නට ගුවන් ටිකට්පත් වෙන්කරන්නේ 27 වෙනිදා අලුයම ඩුබායි සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරන FZ,547 අංකය දරණ FIY ඩුබායි ගුවන් යානාවේ ය. එ් ගුවන් ටිකට්පත් ඔවුන් ව රඳවා සිටි බා ඩුබායි පොලිසියට ලබාදීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා ව 27 වෙනිදා මැදියමේ ඩුබායි ගුවන් තොටුපොලට රැගෙන එන්නේ පොලිසි ආරක්ෂාවක් සහිත ව ය. ගුවන් යානාවට ම ඔවුන් දෙදෙනා ගොඩකර ඩුබායි පොලිස් නිලධාරීන් යානාවෙන් පිටතට යන්නේ එය ගුවන්ගතවන්නට මොහොතකට පෙර ය. ඒ යන විට නදීමාල් සහ ලලිත් අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් භාරයට ගෙන තිබුණු ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍රත්, මුදල් පසුම්බි සහ ජංගම දුරකථන ලබා දෙන්නට ද ඩුබායි පොලිස් නිලධාරීන් අමතක කර නැත.

මේ අය එසේ නිදහස් කෙරෙන්නේ පිටුවහල් කිරීමක් ලෙස නොවීම විශේෂත්වයකි. ඊට මුල්වන්නේ ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටිය ද ඔවුන් එරට නීතියට අනුව වරදක් කර ඇතැයි පරීක්ෂණ වලින් හෙළි නොවීම ය. ඒ තත්ත්වය මත සිදුවන්නේ පිටුවහල් කිරීමකින් තොරව ඔවුන්ව ඩුබායි රටින් ඉවත් කිරීමකි.

සාමාන්‍යයෙන් පිටුවහල් කිරීමකදී විදෙස් ගමන් බලපත්‍රයේ ඒ සම්බන්ධයෙන් මුද්‍රාවක් ද තැබෙනු ඇති අතර එවන් කිසිදු මුද්‍රාවක් ද නදීමාල් හෝ ලලිත්ගේ විදෙස් ගමන් බලපත්‍රෙවල නොවීය. අඩුම තරමින් ඒ ගුවන්යානාවේ ගුවන් නියමුවා හෝ කාර්ය මණ්ඩලයටවත් මේ අය සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය දැනුවත් කර තිබුණේ ද නැත. එසේ වී නම් ගුවන් යානාව ඩුබායි ගුවන් තොටුපොලෙන් ගුවන්ගතවන විටම ඒ අය සම්බන්ධයෙන් තොරතුරු මෙරට ආගමන විගමන නිලධාරීන් අතට පත්වනු ඇත. එහෙත් නදීමාල් සහ ලලිත් බණ්ඩාරනායක ගුවන් තොටුපොලින් ගොඩ බැස ආගමන විගමන පරීක්ෂාවට යොමුවන තුරු ඔවුන් මෙරටට ආ බවක් හෝ එන බවක් කිසිවකුත් දැන නොසිටියේ ය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පිටවීමේ පර්යන්තයේදී සිදු කෙරෙන ආගමන විගමන පරීක්ෂාවේදී පවා ඔවුන් දෙදෙනාව හඳුනා ගැනීමකට ලක්වන්නේ රාජ්‍ය බුද්ධි සේවය විසින් ඩුබායි අත්අඩංගුවේ සිටි 31 දෙනාගේම විදෙස් ගමන් බලපත්‍ර තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කර තිබීම නිසා ය. ‍එසේ නොවන්නට නදීමාල් සහ ලලිත් සිය නිවෙස්වලට යන තුරුම කිසිවකුත් ඔවුන් මෙරටට පැමිණි බවක් දැන ගන්නේ ම නැත.

නදීමාල් කියන කතාව

ගුවන් තොටුපොලේදී නදීමාල් සහ ලලිත් බාර කෙරෙන්නේ රාජ්‍ය බුද්ධි සේවය වෙත ය. බුද්ධි අංශ නිලධාරීන් ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ ව ය.

“මම ඩුබායි යනකම් දන්නේ නැහැ පාතාලේ එකෙකුගේ පාටියක සින්දු කියන්න යනව කියලා. තාත්තා කිව්වා ඩුබායිවල පාටියක සින්දු කියන්න තියෙනවා, ලෑස්ති වෙන්න කියලා. මම ඇහුවා කාගෙද කියලා; මධුෂ්ගෙ කියල කිව්වා. මධුෂ් කිව්වට මම දැනන් හිටියේ නැහැ; මාකඳුරේ මධුෂ්ගෙයි ඒ පාටිය කියලා.” නදීමාල් ප්‍රශ්න කිරීම් හමුවේ ඩුබායි ගමනට ඔහුව සිය පියා රැගෙන ගිය ආකාරය හෙළි කරන්නේ එසේය.

එහිදී ඔහු ඒ ගමන වෙනුවෙන් තමාට කීයක් ලැබේදැයි සිය පියා වන අමල් පෙරේරාගෙන් විමසන්නට ද අමතක කර නැත.

“හරි හරි හම්බවෙනවා; හොඳට හම්බවෙනවා”, අමල් පෙරේරා එහිදී ඔහුට පවසා ඇත්තේ එවැන්නකි.

ඩුබායි ගමනට ඔවුන්ට ගුවන් ටිකට්පත් මෙන්ම වීසා බලපත්‍ර පවා එවා ඇත්තේ මාකදුරේ මධුෂ් ය. ඒ අනුව ඔවුන් දෙදෙනා ඩුබායි බලා පිටත් ව යන්නේ පෙබරවාරි 03 වෙනිදා ය. මධුෂ්ගේ ආරාධනයෙන් ඩුබායි සාදයට යන සැලකිය යුතු පිරිසක් ම ඒ ගුවන් යානාවේ සිට ඇත. ඒ අය අතර ටෙලි නාට්‍ය නළු රයන්, බන්ධනාගාර නියාමක ලලත් ද සිට ඇත්තේය. මේ අය ඩුබායි ගුවන්තොටුපොලේදී පිළිගන්නේ ද මාකදුරේ මධුෂ් ය. සියලු දෙනාට ම ඔහු නවාතැන් පහසුකම් සලසා තිබෙන්නේද තරුපන්තියේ හෝටලයක ය; ඒ සාදය පැවැති තරු හයේ හෝටලය කිට්ටු තැනක ය. එදා සාදයේ මත්පැන් වලින් කිසිදු අඩුවක් තීබී නැත. කමින් බොමින් එහි සිටියවුන් සියලු දෙනාට ම හොඳහැටි විනෝද වෙන්නටද අවස්ථාව උදාකර දී තිබී ඇත. අවශ්‍ය නම් කාන්තා පහස වූවත් ලබා ගන්නට ඒ අයට පහසුකම් සපයා තිබීම විශේෂිත ය.

ඩුබායි පොලිසිය මේ සාදයට කඩා වදින්නේ 05 වෙනිදා අලුයම් කාලයේදී ය. ඒ සාදයේ උච්චතම අවස්ථාවේදී ය. ඒ වන විටත් හැට හැත්තෑවක පිරිසක් එහි සිට ඇත්තේ ය. ඒ සියලු දෙනා ම එක තැනකට රැස්කරන ඩුබායි පොලිස් නිලධාරීන් ඔවුන් අත වූ ඡායාරූපයක් නිරීක්ෂණය කරමින් යමෙක් සොයන්නට ගත්තේ ය. ඒ වෙන කිසිවෙක් නොව, මාකඳුරේ මධුෂ් ව ය. අනතුරුව ඩුබායි පොලිසිය මධුෂ් ඇතුළු සාදයේ සිටි 31 දෙනෙක් අත්අඩංගුවට ගන්නේ බිම වැටී තිබුණු කොකේන් ගුලි අඩංගු පාර්සලයකට හිමිකරුවෙක් සොයා ගන්නට නැතිවූ තැන ය.

සියලු දෙනාම නිදහස් කර මවු රටට

එතැන් සිට මාකදුරේ මධුෂ් ඇතුළු 31 දෙනාම සිටින්නේ ඩුබායි පොලිස් භාරයේ ය. කොකේන් පාර්සලයක් හමුවීම නිසා අත්අඩංගුවට ගත් සියලු දෙනාම රුධිර සහ මුත්‍රා පරීක්ෂාවකට යොමු කෙරෙන්නේ විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි දැන ගන්නට ය. ඒ මූලික පොලිස් විමර්ශන අවසන් වන තුරු මධුෂ් ඇතුළු පිරිසට චෝදනා ගොනු කරමින් අධිකරණයට ඉදිරිපත් නොකර සිටින්නට ඩුබායි පොලිසිය වග බලාගත්තේ මහජන නඩු මෙහෙයවන්නාගේ උපදෙසිනි. ඩුබායි නීතිය උල්ලංඝනය කිරීමකට ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වන්නේ එරට මහජන නඩු මෙහෙයවන්නා ය. අධිකරණමය බලතලයක් ඔහුට නැතත් අධිකරණයට සැකකරුවන් යොමු කරන්නේ ඔහුගේ නිර්දේශ මත ය.

මාකඳුරේ මදුෂ් සමඟින් අත්අඩංගුවට ගත් පිරිස අතර කොකේන් පානය කළ අය සිටි බව කීවත් රුධිර සහ මුත්‍රා පරීක්ෂා කිරීම් රැසකින් පසු එරට මහජන නඩු මෙහෙයවන්නා තීරණය කර ඇතැයි පැවසෙන්නේ සියලු දෙනා ම නිදහස්කර සිය මවු රටවලට පිටත්කර යවන්නට ය. ඒ ඔවුන්ට එරෙහිව එරට නීතිය යටතේ නඩු පැවැරීමකට හෝ දඬුවම් දීමකට යටත් කළ නොහැකි බව පෙනී යෑම නිසා ය.

ඒ නිසාම මෙරටට එවන ඒ සැකකරුවන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව විශේෂ සාකච්ඡාවක් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ්, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඇතුළු වගකිව යුතු කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන්නේ පසුගිය 28 වෙනිදා ය. එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් සඳහන් කර ඇත්තේ නදීමාල්ගේ රුධිර පරීක්ෂාවේදී ඔහුගේ සිරුරේ යම් විෂ මත්ද්‍රව්‍යයක් අන්තර්ගතව ඇති බව සනාථ වී ඇතත් එය ශරීරගතවී ඇතැයි වෛද්‍ය වාර්තාවේ අනුමාන කර ඇත්තේ පෙබරවාරි 02 වෙනිදා බව ය. ඒ අනුව නදීමාල්ට නිදහස මුලින් ම හිමි ව ඇති බව ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ ය. බොහෝ පිරිසක් සම්බන්ධයෙන් ඇත්තේ එවන් තත්ත්වයක් බවත් කංජීපානි ඉම්රාන් සහ මාකදුරේ මධුෂ් මත්ද්‍රව්‍ය පානයකර ඇති බවක් සනාථ වී නැති බවත් ඔහු පෙන්වා දී ඇත. ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින සියලු දෙනාම අධිකරණයට ඉදිරිපත් නොකරමින් පොලිස් අත්අඩංගුවෙන් ම නිදහස් කිරීමට එරට මහජන නඩු මෙහයවන්නා තීරණය කර ඇත්තේ ඒ නිසා බවද ලතීෆ් මහතා එහිදී පෙන්වා දී ඇත්තේ ඉදිරි දිනවල මෙරටට පැමිණෙන ඔවුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන ද පැහැදිලි කිරීමක් කරමිනි.

මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙමින් කතාබහ කර ඇත්තේ මාකඳුරේ මධුෂ් සම්බන්ධයෙනි. අත්‍යවශ්‍ය ම පුද්ගලයා ලෙස හඳුනාගෙන සිටින්නේ ඔහු ය. ජාත්‍යන්තර පොලිසිය හරහා මධුෂ්ට එරෙහි ව නිකුත්කර තිබුණු නිල් වරෙන්තුව පවා මේ කාලය තුළ රතු වරෙන්තුවක් දක්වා පරිවර්තනය කර ගැනීමට මෙරට පොලිසිය සමත් ව සිටියේ ය. ඒ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාව සිටි ඩැනී හිත්තැටිය ඝාතනයට සැකකරුවෙක් කරමින් මාතර මහාධිකරණයේ මධුෂ්ට එරෙහිව නඩුවක් ගොනුකරමිනි. මධුෂ්ට එරෙහිව මේ වන විට අධිකරණයක ගොනුවී ඇති එක ම නඩුව වන්නේ එය ය. ජාත්‍යන්තර පොලිසියෙන් ඔහුට එරෙහිව රතු වරෙන්තුවක් නිකුත්කර ගන්නට හැකිවන්නේ ඒ නඩුවට පින් සිදුවන්නට ය. නැතිනම් මධුෂ්ට රතු වරෙන්තුවක් ලබා ගැනීම සිහිනයක් වනු ඇත.

පොලිසිය පවසන්නේ, නදීමාල් සමඟ නිදහස්කර මුලින් ම මෙරටට එවූ බන්ධනාගාර නියාමක ලලිත් ද එතරම් හොඳ පුද්ගලයෙක් නොවන බව ය. මාකඳුරේ මධුෂ්ගේ සමීපතයෙක් වන ලලිත් පවසන්නේ මාකදුරේ මධුෂ් සිය පාසල් මිතුරෙක් බව ය. දෙදෙනා එක ම පාසලක අධ්‍යාපනය ලැබුව ද වයස් පරතරය වසර 10 ක් 12 ක් බැවින් ඔවුන් දෙදෙනා කිසිසේත් ම පාසල් මිතුරන් විය නොහැකිය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසන්නේ මාකදුරේ මධුෂ් මෙලොව උපදින විට ඔහුගේ මවට වින්නඹුකම් කළේ ලලිත්ගේ මව බව ය. ඒ ඇය පවුල් සෞඛ්‍ය සේවිකාවක් වූ බැවිනි.

දෙවන කණ්ඩායම

එහෙත් මධුෂ් සහ ලලිත් අතර ඉතා සමීප සම්බන්ධයක් ඇති බව පොලිසියේ සැකකයි. ලලිත් පරිහරණය කරන ජංගම දුරකතනය පවා මධුෂ් විසින් බිල් ගෙවන දුරකතනයකි. පාතාල කල්ලි නායකයෙක් වන කඩුවෙල සමයං ඇතුළු හත් දෙනෙක් කළුතර එතනමඩලේදී වෙඩි තබා ඝාතනය කරන විට ලලිත් සේවයේ නිරතව සිටින්නේ කළුතර බන්ධනාගරයේ ය. කළුතර ප්‍රහාරයට මාකඳුරේ මධුෂ්ට තොරතුරු ලබා දෙන්නට ඇත්තේ ලලිත් බවට දැන් පොලිසියට අලුත් සැකයක් ද හටගෙන ඇත්තේ ය. ඒ අනුව ලලිත්ව ගුවන්තොටුපොලේදීම අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාශයට බාර දුන් රාජ්‍ය බුද්ධි සේවය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නදීමාල්ව නිදහස් කරන්නේ ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැති වූ බැවිණි.

ඩුබායි පොලිස් අත්අඩංගුවෙන් නිදහස බලන දෙවැනි කණ්ඩායම මෙරටට එන්නේ 28 වෙනිදා ය. මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන්, අමිල සම්පත් සේපාල රත්නායක නොහොත් රොටුඹේ අමිල, ඇන්ඩර්ෂන් ෆර්නැන්ඩර්ස් සහ අනුෂ්ක කෞෂාල් නොහොත් ගන්දර ජංගා ඒ අතර වූහ. මේ සිව් දෙනා රැගත් ගුවන් යානාව 28 වෙනිදා අලුයම ඩුබායි ගුවන් තොටුපොලින් ගුවන් ගතවන විටම රාජ්‍ය බුද්ධි සේවය කංජිපානි ඉම්රාන් ඇතුළු සිව් දෙනා ඒ ගුවන් යානාවෙන් මෙරටට පැමිණෙන බව දැන ගත්තේ ය. ඒ පෙර දිනයේ නදීමාල් සහ ලලිත් මෙරටට එවා තිබුණු බැවින් සෙසු අය ද ඒ ආකාරයට ම මෙරටට එවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන කල්තියා දැන ගන්නට ගුවන් යානාවේ පැමිණෙන මගී ලැයිස්තුව පරීක්ෂා කිරීමේදී ය.

ඒ ගුවන් යානාව බණ්ඩාරනායක ගුවන්තොටුපොලට ගොඩබස්වන විට රාජ්‍ය බුද්ධි සේවය මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියේ කංජිපානි ඉම්රාන් ඇතුළු සිව් දෙනා සිය භාරයට ගෙන ප්‍රශ්න කරන්නට සූදානමිනි. එහෙත් ඒ අයගෙන් පිටවීමේ පර්යන්තයෙන් ආගමන විගමන පරීක්ෂාව සඳහා පැමිණෙන්නට වූයේ අනුෂ්ක කෞෂාල් හෙවත් ගන්දර ජංගා සහ ඇන්ඩර්ෂන් ෆර්නැන්ඩර්ස් යන දෙදෙනා පමණි. ඔවුන් දෙදෙනාව සිය භාරයට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුළු ගුවන්තොටුපොලම පීරමින් සොයන්නට වූයේ කංජිපානි ඉම්රාන් සහ රොටුඹේ අමිල ව ය. දීර්ඝ පරීක්ෂාවකින් පසු ඔවුන් දෙදෙනාව සොයා ගැනෙන්නේ මාලදිවයින බලා බණ්ඩාරනායක ගුවන් තොටුපොලින් පියාසර කිරීමට සූදානමින් තිබුණු යූ. එල්. 101 අංකය දරන ශ්‍රී ලන්කන් ගුවන් යානාවට ගොඩවීමට සූදානමින් සිටි මගීන් අතර රැඳී සිටියදී ය. මාලදිවයින බලා යන්නට ඔවුන් සතුව ඒ වන විටත් ගුවන් ටිකට් පත් ද තිබුණේ ය. ගුවන් යානාවට ගොඩවන මගීන් අතර ඔවුන්ට රැඳී සිටීමට අවස්ථාව ලැබෙන්නේ ද ඒ නිසාය. තවත් විනාඩි පහළොවක් ප්‍රමාද වූයේ නම් ගුවන්යානාවට නැඟී ඔවුන් මාලදිවයින බලා ගොස් හමාර ය.

කංජිපානිගේ මාලදිවයින් පිම්ම වැරදුණු හැටි

විමර්ශන විලින් අනාවරණය වන ආකාරයට සියලු ගුවන් බලපත්‍ර නිකුත් කර ඇත්තේ ඩුබායි සිට බණ්ඩාරනායක ගුවන්තොටුපොල වෙත ඔවුන්ට එන්නට පමණි. එසේ තිබියදී කංජිපානි ඉම්රාන් සහ රොටුඹේ අමිල මාලදිවයින බලා යන්නට ගුවන් ටිකට්පත් ලැබුණේ කෙසේදැයි විශේෂ අවධානයක් රාජ්‍ය බුද්ධි සේවයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට යොමු වී තිබුණේ ය. ඊට විසඳුම් ලැබෙන්නේ කංජිපානි ඉම්රාන්ගේ ජංගම දුරකනයෙනි. ගුවන් යානාවට ගොඩකිරීමෙන් අනතුරුව කංජිපානි ඉම්රාන් අතට ඩුබායි පොලිස් නිලධාරීන් ජංගම දුරකතනය පත්කිරීමෙන් පසු ඔහු ඩුබායි සිටින කුමාර නැමැති පුද්ගලයකුට ඇමතුමක් දෙමින් සඳහන් කරන්නේ තමන්ටත් රොටුඹේ අමිලටත් බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ සිට මාලදිවයිනට යන්නට ගුවන් ටිකට්පත් දෙකක් වෙන්කරන ලෙස ය. ඩුබායි ගුවන් යානාව බණ්ඩාරනායක ගුවන්තොටුපොලට ගොඩබැස්සවීමෙන් පසු එහි පැමිණෙන මගීන්ට මාලදිවයින බලා ගමන් කරන්නට ගුවන්යානාවක් ඇති බව කංජිපානි කල්තියාම දැන සිටියේ ය. ඔහු සැලසුම් කරන්නේ රොටුඹේ අමිල සමඟ බණ්ඩාරනායක ගුවන් තොටුපොලින් පිටව නොයා මාලදිවයිනට පැන ගන්නට ය.

අනාවරණය වෙමින් ඇති ආකාරයට කුමාර නැමැත්තා ඩුබායි හි ටිකටින් ඒජන්සියක් පවත්වාගෙන යන්නෙකි. මධූෂ්ගේ සාදයට ලංකාවෙන් පැමිණි ආරාධිතයන්ට ගුවන්ටිකට් මෙන්ම වීසා සකස්කරදී ඇත්තේ ද ඔහු ය. කංජිපානි ඉම්රාන්ගේ සහ රොටුඹේ අමිලගේ විදෙස් ගමන් බලපත්‍ර තොරතුරු පවා ඔහු සතුව තිබී ඇත්තේ ය; ඒ ඔවුන්ට ඩුබායි හි නේවාසික වීසා සකස්කර දී ඇත්තේ ද ඔහු බැවිනි. ඒ විදෙස් ගමන් බලපත්‍ර තොරතුරවලට අනුව ඔහු කංජිපානිට සහ රොටුඹේ අමිලට මාලදිවයිනට යන්නට ගුවන්ටිකට්පත් වෙන්කර ඒ ටිකට්පත් විස්තර කංජිපානිට ලබාදෙන්නේ ඉමෝ දුරකතන ඇමතුමක් ඔස්සේය. ඩුබායි සිට පැමිණි කංජිපානි ඉම්රානුත් රොටුඹේ අමිලත් මාලදිවයින බලා පියාසර කිරීමට සූදානම් ගුවන් යානාවේ මගී පර්යන්තයට සියලු පරීක්ෂාවලින් අනතුරුව ඇතුළු වන්නේ ඉමෝ පණිවිඩයක් හරහා ලැබී තිබුණු එම ගුවන් ටිකට්පත් විස්තරවලට අනුව ය.

මාලදිවයිනට පැන ගන්නට සූදානම් වූ රොටුඹේ අමිල දකුණේ නම ගිය අපරාධකරුවෙකි. මාකඳුරේ මධුෂ් කරලියට එන්නට පෙර සිටම ඔහුගේ නම දකුණේ සිදුවන අපරාධ සමඟ බැඳී තිබුණේ ය. දැඩි දේශපාලන සම්බන්ධකම් ද පැවැති ඔහුට ඒ ඔස්සේ කඹුරුපිටියේත් ඌරු බොක්කේත් පොලිස් ස්ථානාධිපතිවරු පත්කරන්නටත් මාරුකරන්නටත් බලයක් එකල පැවැතියේය. යුද හමුදාවෙන් පැනවිත් සිටින සෙබලෙක් වන රොටුඹ් අමිල ඩුබායි පනින්නේ පාතාලයට එරෙහි පොලිස් විශේෂ කාර්ය බලකා මෙහෙයුම් වලට බියෙනි; ඒ 2017 වසරේ අගෝස්තු 07 වෙනිදා ය. එරට පොලිස් අත්අඩංගුවට පත්වන විට ඔහුටද එරට රැඳී සිටීමට නේවාසික වීසා ලැබී තිබුණේ ය. ඒ 2017 වසරේ ඔක්තෝම්බර් 11 වෙනිදා සිට ය.

කංජිපානි ඉම්රාන් සහ රොටුඹේ අමිල සමඟ ඩුබායි පොලිසියෙන් මෙරටට එවන ලද ඇන්ඩර්ෂන් නැමැත්තා කොටහේනේ මහා විද්‍යාල පාරේ පදිංචිකරුවෙකි. වාහන අමතර කොටස් අලෙවි ව්‍යාපාරිකයෙක් ලෙස මේ වසරේ ජනවාරි 31 වෙනිදා ඩුබායි ගොස් ඇති ඔහුට මධුෂ් සමඟ ඇති සම්බන්ධකම් මේ ලිපිය සටහන් තබන මොහොත දක්වා ම පැහැදිලි ව අනාවරණය වී නොතිබිණි. නමුත් ගන්දර ජංගා නම් මධුෂ්ගේ ළඟ ම හිතවතෙකි. නිතරම ඩුබායි යන එන අයෙක් වන ඔහුට ද එරට නේවාසික වීසා ඇත්තේ ය. අවසන් වරට ඔහු ඩුබායි යන්නේ පෙබරවාර් 03 වෙනිදා ගායක අමල් පෙරේරා ඇතුළු පිරිස සමඟ එකම ගුවන් යානාවේ ය. ගන්දර පොලිසිය පෙබරවාරි 08 වෙනිදා හමුදා ඇඳුම් තොගයක් සමග ටී 56 අවි වලට යොදන පතොරම් ගොන්නක් ම සොයා ගන්නේ ජංගාගේ නිවසේ තිබියදීය.

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටියවුන්ගෙන් මෙරටට එවා තිබුණේ 06 දෙනෙක් පමණි. ඉදිරි දින කිහපය තුළ තවත් අය මේ ආකාරයට ම මෙරටට එවනු ඇත. ඊළඟට එවන මුල් ම පිරිස අතර ඉහළින් ම නම ඇතැයි පැවසෙන්නේ අමල් පෙරේරාගේ ය. මාකඳුරේ මධුෂ් බොහෝ විට මෙරටට ලැබෙනු ඇත්තේ සියලු දෙනාතම මෙරටට එවීමෙන් අනතුරුවය.

උපුටා ගැනීම – සිළුමිණ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!