Gossip

“දැන් වෙනකොට ඒ සියල්ල වෙනස්වෙලා.මනුස්සයා කියන කෙනා වෙනස්වන සුළුයි. තාවකාලිකව සමුඅරගෙන ඉන්නේ”

මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියන්නේ කලක් ලංකාවේ ජනප්‍රියව සිටි යුවලක් මේ දෙන්නා රංගන ජීවිතයට විරාමයක් තබමින් ඔවුන් ඇමරිකාවට ගියා.
ඒ මීට අවුරුදු තුනකට විතර කලින්. ඒ ඔවුන් ගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන්.
දැන් මේ දෙන්නා ඇමරිකාවේ ඉදන් ආපහු හදිස්සියේම ලංකාවට ඇවිත්.
ඇත්තටම නෙහාරයි මේනකයි හදිස්සියේම ලංකාවට ආපු හේතුව සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

මේනක අවුරුදු එකහමාරකට පස්සේ හදිස්සියේම ලංකාටව ආවේ ?
හදිස්සියේම නෙමෙයි. නෙහාරාගේ මල්ලි විවාහ වෙනවා මේ මාසේ අග. ඉතිං ඒකට තමයි ඇත්තටම ලංකාවට එන්න හිතුවේ.

නෙහාරාලේ මල්ලි විවාහ වෙන හින්දා ලංකාටව ආවේ. මොකද හිතෙන්නේ ?
සතුටුයි. පවුලේ නැදෑ හිතමිතුරන් සියල්ල මුණ ගැසෙන්න පුළුවන්. අපේ මාධ්‍ය හිතවතුන් පවා හම්බවෙන්න පුළුවන් වුණානේ.

ලංකාවේ ගතකරපු කෙටි කාලය ගැන මොකද හිතන්නේ ?
ගොඩක්ම කාලය ගත කළේ නෑදෑ හිතමිතුරන් එක්ක. තව යාළුවෝ ගොඩක් ඉන්නවා ඉදිරියේදී මුණගැසෙන්නේ. කොළඹ පැත්තට ගියහම පොඩි වෙනසක් තියෙනවා. අපි මෙහෙන් යන්න කලින් පටන් ගත්තු ව්‍යාපෘති කිහිපයක් අවසන් වෙලා තියෙනවා.
මනුස්ස කොට්ඨාසයන් වශයෙන් අපි මීට වැඩිය දියුණුවෙන්න ඕනෑ.

මෙදා සැරේ ඔය දෙන්න ලංකාවට එනවා කියලා කවුරුවත් දන්නේ නෑ ?
හොරෙන්මත් නෙමෙයි. අපි දෙන්නම රගපෑමෙන් තාවකාලිකව සමුඅරගෙන ඉන්නේ. කවුරුවත් අපි එනකම් බලාගෙන ඉන්නෙත් නෑ. ඒකයි ඇත්තටම කාටවත් කියන්න වුවමනාවක් නැතිවුණේ. අපේ ඥාතීන් දන්නවා. ඒ ඇතිනේ.

කවදාද යන්න හිතාගෙන ඉන්නේ ?
අගෝස්තු මාසයේ අග තමයි යන්න හිතාගෙන ඉන්නේ. තව ටික කාලයක් ලංකාවේ ඉන්න හිතාගෙන ඉන්නේ. මොකද නෙහාරාගේ මල්ලි කසාද බඳින්නෙත් මේ මාසේ අග හින්දා ටිකක් හිටියොත් හොඳයි කියලා හිතෙනවා.

නෙහාරා මල්ලිගේ වෙඩින් එකට මොකද කරන්න හිතාගෙන ඉන්නේ ?
එයා විවාහ වෙන්නේ ස්විස් ජාතික තරුණියක් සමග. මල්ලිගේ වෙඩින් ටිකක් වෙනස්ම විදිහේ වෙඩින් එකක් වෙයි.
ඒක ගාර්ඩන් වෙඩින් එකක්. ස්විට්සර්ලන්තයෙන් එයාගේ නෑදෑ හිතමිතුරන් එනවා. අපේ නෑදෑයොත් ඕස්ටේ‍්‍රලියා ඇමරිකා කැනඩා ඉඳන් ඇවිත් ඉන්නේ. මම තමයි මල්ලිගේ කසාදයට අත්සන් කරන්නේ. හරිම ආඩම්බරයෙන් ඉන්නේ.

නෙහාරා – මේනක දන්න නළු නිළියන්ට කිව්වේ නැතිද?
මේකනේ. අපේ වෙඩින් එක නෙමෙයිනේ. ඒ ගොල්ලන්ට වෙනම පිරිසක් ඉන්නවා. අනික අපේ පවුල් පවා හරි ලොකුයිනේ.

නෙහාරා ලංකාවට ආවා කියලා පරණ නිළීයෝ එහෙම දන්නේ නැතිද?
දන්නවා. මම කිහිපදෙනෙක් එක්ක කොහොමටත් කතාබහ කරනවා. ඔවුන් දන්නවා ලංකාවට ආවා කියලා.

ඇමරිකාවේ ගෙවන ජීවිතය ගැන මොකද හිතන්නේ ?
හරිම නිදහස්. හරි සරලයි. අපි යන වාහනේ මොකක්ද? ඇඳුම් පැළඳුම් මොනවාද කියලා හොයන්න බලන්න කෙනෙක් නැහැ. අනික ඕපදූප හොයන්න කිසි කෙනෙක් නැහැ. බොහොම සතුටින් සැහැල්ලූවෙන් ගෙවෙනවා. මේනක මේ අවුරුද්දේ මැයි මාසයේ එයාගේ ඉගෙනීම් කටයුතු අවසන් කළා.

එතකොට නෙහාරාගේ අධ්‍යාපන කටයුතු ?
මම ලබන අවුරුද්දේ ජූලි මාසයේ තමයි අධ්‍යාපන කටයුතු අවසන් කරන්නේ. ඉතිං ටිකක් කාර්යබහුල වෙනවා.

නෙහාරා ඇමරිකාවේ රැකියාවක් එහෙම කරනවාද?
නැහැ. රැකියාවක් කරන්නේ නැහැ.

මේනක දැන් ඇමරිකාවේ රැකියාවක් කරනවාද?
ඔව්. දැන් මම ඇමරිකාවේ මූල්‍ය මෙහෙයුම් විශ්ලේෂක විදිහට ව්‍යාපාරයක සේවය කරනවා. අවුරුද්ද කාලයක් විතර වැඩ කරලා අපි දෙන්නා තීරණය කරනවා ලංකාවට එනවාද නැතිද කියලා.

ඒ කියන්නේ ලබන වසරේ ලංකාවට එනවා ?
ලබන අවුරුද්දේ මේ වගේ කාලයක විතර හෝ දෙසැම්බර් මාසය වන විට ලංකාවට එන්න තමයි හිතාගෙන ඉන්නේ. සමහර විට අපි ඒ පාර ඇවිත් දිගටම ලංකාවේ ඉඳීවි.

ඇමරිකාවේ ඉන්න කොට රගපෑම ගැන මතක් වෙන්නේ නැතිද?
මම එහේ ඉදන් ගොඩක් නිර්මාණ නරඹනවා. ඒ වෙලාවට හිතෙනවා අනේ මටත් මේ චරිතය හම්බවුණා නම් කියලා. හැබැයි ඒ වුණාට අපි දෙන්නා අවුරුදු අටක් එක දිගට වැඩ කළා.
පොඩි විවේකයක් ඕනෑවුණා. ඒ වගේම අධ්‍යාපන කටයුතුවලින් පවා ඉදිරියට යන්න වුවමනාවක් තිබුණා. ඒ දේවල් කරගන්න තමයි ඇමරිකාවට ගියේ. ඒ බ්‍රේක් එකෙන් පස්සේ ආපහු ඇවිත් නාට්‍යවලට චිත‍්‍රපටවලට ගත්තොත් වැඩ කරන්න අදහසක් තියෙනවා.

ලබන අවුරුද්දේ ආපහු වැඩපටන් ගන්න සූදානමක් තියෙනවා ?
අදහසක් තියෙනවා. ලංකාවට ආවහම හෙමින් වැඩපොඞ්ඩක් පටන්ගන්න එපායැ.

ඇමරිකාවේ ඉන්නකොට ලංකාවේ අධ්‍යක්‍ෂවරු නිර්මාණවලට කතාකරන්නේ නැතිද?
එහෙම ගොඩක් දෙනෙක් ඇත්තටම කතා කරන්නේ නැහැ. ඔවුන් දන්නවා ඒකේ තියෙන අමාරුකම මොකක්ද කියලා. හැබැයි මුලින්ම මම ඇමරිකාවට ගිහිං ඉන්නකොට දෙසැම්බර් මාසයේ එන්න වුණා. මම භාරගත්තු නිර්මාණ කිහිපයක වැඩ ඉවරකරන්න.
ගොඩක් අධ්‍යක්‍ෂවරුත් දන්නවා මෙහෙම ඉ`ඳගෙන වැඩක් කරන්න අමාරුයි කියලා. තවම මම භාරගත්තු වැඩක් තියෙනවා ඉවරකරන්න. ඒකේ නිෂ්පාදකවරයා මගෙත් සමග නිතර කතාබහ කරනවා ඒකත් මම හැකිවිසග අවසන් කරනවා. මම භාරගත්තු වැඩ කවදාවත් අතරමග දාලා යන්නේ නෑ. සියල්ල අවසන් කරනවා. සමහර අධ්‍යක්‍ෂවරු අපිට හම්බවුණහම කියනවා ආවහම වැඩක් කරමු කියලා. එහෙම නැතිව එන්න එන්න කියලා දෙයක් නෑ.

මෙදා සැරේ ලංකාවට ආව වෙලාවේ අධ්‍යක්‍ෂවරු කතා කළෙනැතිද?
අධ්‍යක්‍ෂවරු තවම හරියට දන්නේ නෑ අපි ලංකාවට ඇවිත් කියලා. එක අධ්‍යක්‍ෂවරයෙක් ඉන්නවා හරි හිතවත්. ඔහු නිතරම කතා කරනවා. මම ඔහුටත් කිව්වෙත් දිගටම ඉන්න බලාගෙන ආවහම වැඩක් කරමු කියලා.

නෙහාරා රගපෑම නතර කරපු එක ගැන දුකක් නැතිද?
අපි ගිය එක ගැන පසුතැවිල් වෙන්නේ නෑ. ගොඩක් අය ඇහැව්වේ ඇයි මේ ජනප‍්‍රියම කාලේ යන්නේ කියලා.

නෙහාරා පීක්ම කාලේ තමයි ලංකාව දාලා යන්නේ ?
ඒ වෙලාවේ ගොඩක් දෙනෙක් කිව්වා ආපහු ලංකාවට ආවහම ඕක නැතිවේවි කියලා. මම කවදාවත් ජනප‍්‍රියත්වය පිටිපස්සේ ගිය කෙනෙක් නෙමෙයි. ජනප‍්‍රියත්වය මගේ පිටිපස්සෙන් තමයි ආවේ. හැබැයි දැන් ගිය අලූත එහෙම හිතුණේ නැහැ. මේ අවුරුද්දේ මුල මම දැනගත්තා මට ටිකක් ලංකාව මගහැරෙනවා කියලා. එතකොට ෆීල්ඞ් එකේ කරපු වැඩ මිස් වෙනවා සහ ඒකේ අගය දැනෙන්න පටන්ගත්තා. ඉන්නකොට ඒක දැනුණේ නෑ.

තියෙන ජනප‍්‍රියත්වය හින්දාම ඔබේ නමින් වෙළෙඳ නාමයක් පවා නිෂ්පාදනය වුණා නේද? ඒ වෙලාවේ තමයි ලංකාව දාලා යන්නේ ?

මට මේ අවුරුද්දේ තමයි ඕක පොඞ්ඩක් දැනෙන්න පටන්ගත්තේ. කතාවට කියනවානේ ළග තියෙනකොට අගයක් නැහැ නමුත් නැතිවෙනකොට තමයි අගය කියලා. මේ අවුරුද්දේ මටම දැනෙන්න පටන්ගත්තා මේ දේවල් කළානේ කියලා. වුවමනාවක් ආවා මම ආපහු ලංකාවට ගියොත් ඉස්සරට වඩා ගොඩක් නිර්මාණවලට දායකත්වය ලබාදෙන්න.

ගෙවීගිය කාලය කරපු කියපු දේවල් ගැන මොකද හිතෙන්නේ ?

හරිම ආඩම්බරයි. කවදාහරි අපේ ළමයින්ට වුණත් ඒ දේවල් ගැන කියන්න පුළුවන්නේ.

මම ගිය එක ගැන නම් පසුතැවෙන්නේ නෑ. මොකද අපි දෙන්නම ගියේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. මේ ක්ෂේත්‍රය ගත්තොත් අපිට පෙනුම තියෙනකම් වැඩතියේවි.

ධෛර්යය වෙලාව ලක් එක වාසනාව තියෙන හින්දා තමයි අපිට වැඩ හම්බවෙන්නේ. නමුත් අපි දන්නේ නැහැනේ අපිට ඉදිරියේදී මොනවාද වෙන්නේ කියලා. නමුත් අධ්‍යාපනය කියන දේ සදාකාලිකයි.. මෙතැන වැඩක් නැතිවුණත් තවත් සැලැස්මක් තියෙනවානේ.

මොකද ජීවත්වෙන්න සල්ලි එපායැ. අපි දෙන්නා ලංකාවෙන් ගිහිල්ලා අවුරුදු තුනක් වෙනවා. ඒ ගැන කිසිම පසුතැවීමක් වෙන්නෙත් නැහැ. වෙලත් නැහැ. පුංචි ආඩම්බරයක් තියෙනවා.

නෙහාරා ඊඟ පාර ලංකාවට ඇවිත් ව්‍යාපාර පැත්තට යොමුවෙන්නද කල්පනාව?
මෙහෙමයි. මම හැමදාම කියනවා වගේ අපි දන්නේ නැහැ අපිට හෙට මොනවා වෙයිද අනිද්දා මොනවා වෙයිද කියලා. අපි දෙන්නා කවදාවත් ලොකු හීන තියාගෙන නැහැ. මොකද මම ඉගෙනගත්ත දෙයක් තමයි මනුස්සයා කියන කෙනා වෙනස්වන සුළුයි. මට අවුරුදු දහයේදී තිබුණ සිහින බලාපොරොත්තු නෙමෙයි විස්සේදී තියෙන්නේ.
විසිපහේදී තවත් වෙනස්වෙනවා. මට බැන්ඳ අලූත වුවමනා වුණේ රට යන්නමයි. මේකෙන් බ්‍රේක් එකක් ගන්න. හැබැයි දැන් වෙනකොට ඒ සියල්ල වෙනස්වෙලා. දැනට අපි දෙන්නාගේ සැලසුම් තියෙනවා. ඉදිරියේදී බලමු ඒවා ගැන.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!