Gossip

තෝරාගත් පිරිසකට විතරක් ළංවෙලා, තව කෙනකුට රිද්දන්නේ නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක් – දෙවෙනි ඉනිමේ චූටි මැණිකේ

විශාල ප්‍රේක්ෂක ප්‍රසාදයක් හිමිව තිබෙන දෙවෙනි ඉනිමේ ටෙලි නාට්‍යයේ හැමෝගෙම ආදරය දිනාගත්ත චරිතයක් තමයි චූටි මැණිකේ කියන්නේ. ඇය නමින් ශලිනි ප්‍රනාන්දු. මේ ඇය සති අන්ත පුවත්පතක් සමග කළ සාකච්ඡාවක්.

චූටි මැණිකෙට ලැබෙන ප්‍රතිචාර ගැන මුලින්ම කියමු නේද?
සතුටු වෙන්න පුළුවන් විදියේ ප්‍රතිචාර ලැබෙනවා. චූටි මැණිකෙව ආදරෙන් පිළිඅරන් ගොඩක් හොඳ ප්‍රතිචාර දක්වන පිරිසක් ඉන්නවා. ඒ වගේම චූටි මැණිකේ අනුහස් දිහා හොරෙන් බලන බැල්මට එහෙම අකැමැති පිරිසකුත් ඉන්නවා. මට ලැබෙන ඒ ඒ විවිධ ප්‍රතිචාරවලින් චූටි මැණිකෙව මිනිස්සු අතරට ගිහින් කියන හැඟීම මට තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි ලැබෙන ප්‍රතිචාර ගැන.

චූටි මැණිකේ අහිංසක වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?
චූටි මැණිකෙගේ අනන්‍යතාව හැදිලා තියෙන්නේ ඒ අහිංසකකම නිසා. ඉතින් චරිතෙ ගොඩනැඟෙන්න ඒ අහිංසකකම තමයි එකම හේතුව. අහිංසක නිසයි චුටි මැණිකෙව මිනිස්සු අතරට ගියේ. එතැනදී මම හිතනවා චූටිමැණිකේගේ ඒ තියෙන අහිංසකකම චරිතෙ ගොඩනැගෙන්න වගේම ප්‍රසිද්ධ වෙන්නත් ලොකු ආශිර්වාදයක් කියලා.

කොහොමද ඔබට ක්‍ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාව ලැබෙන්නේ?
2017 දෙරණ අවුරුදු කුමරිය වුණේ මම. ඉතින් ඊට පස්සේ ස්ක්‍රීන් ටෙස්ට් එකක් හරහා තමයි මාව මේ චරිතෙට තෝරා ගත්තේ. මුලින්ම අවුරුදු කුමරිය තරගය හරහා තමයි කැමරාවක් ඉස්සරහා හැසිරෙන්න මම ඉගෙන ගත්තේ. ඒ වගේම කියන්න ඕනි මම මුල ඉඳන්ම මේ වෙනකන්ම එක කොටසක්වත් මග නොහැර දෙවැනි ඉනිම බලන රසිකාවියක්. ඉතින් මම වෙනුවෙනුත් එහි එක් චරිතයක් ලියවීම මට ලොකු සතුටක්.

සැබෑ ජීවිතෙත් ඔබ අපි දකින චූටි මැණිකෙමද?
සැබෑ ජීවිතේ මම චූටි මැණිකෙට ටිකක් සමීපයි. හැබැයි චූටි මැණිකෙගේ ඒ අහිංසකකමට එහා ගිය කටකාර චරිතයක් මම. ඉතින් එතැනදී සැබෑ ජීවිතේ මමයි, චූටි මැණිකෙයි වෙනස් වෙනවා.

පවු‍ලේ තොරතුරු ගැනත් කතා කරමු?
මට ඉන්නේ අම්මයි, මගේ අයියයි. මට අවුරුදු පහක් වෙනකොට තාත්තා අපෙන් සමුගන්නවා. එදා ඉඳන් අද වෙනකන් අයියා තමයි තාත්තාගේ තැන අරන් හැම දෙයක් ගැනම හොයලා බලන්නේ.

තවම සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථා ලැබිලා නැද්ද?
තවම මම AL කරනවා. ඉතින් පමණට වඩා ටෙලි නාට්‍ය, චිත්‍රපට කරන්න ගියොත් මගේ ඉගෙනීමට ඒක බාධාවක්. ඒ නිසා සීමාවක් ඇතුව ඉගෙනීමට මූලික තැන දෙමිනුයි මම නිර්මාණ තෝරා ගන්නේ. ඉදිරියේදී බලමු ඉගෙනීම් කටයුතු අවසන් වුණාම සිනමාව හරහාත්, මාව දැකගන්න ලැබේවි.

අධ්‍යාපන වැඩයි, රඟපාන්නයි ගියාම කාලය සමබර කරගන්නේ කොහොමද?
ඒක නම් එච්චර ‍ලේසි දෙයක් ‍නෙවෙයි. ගොඩක් වෙලාවට ක්ලාස් මගහැරෙන අවස්ථා වැඩියි. හැබැයි මම මගේ යාළුවෝ ගොඩක් උදව් කරනවා. ඒ නිසා රඟපෑම ඉගෙනීමට බාධාවක් ‍නෙවෙයි. නමුත් AL කියන්නේ ජීවිතේ තවත් එක වැදගත් කඩඉමක් නිසා මේ දවස්වල නම් අධ්‍යාපන වැඩවලට තැන දීලයි තියෙන්නේ.

දෙවැනි ඉනිම නාට්‍යය ගැන මොකද හිතෙන්නේ?
එකිනෙකා බලන සහ රස විඳිනි ඇහැ වෙනස්. ඒ නිසා දෙවැනි ඉනිමටත් විවිධ විවේචන තියෙනවා. නමුත් අපිට නොදැනීම ජීවිතේට පාඩම් රැසක් කියලා දෙන රසවිඳින්න පුළුවන් පවු‍ලේ හැමෝම එක්ක විඳින්න පුළුවන් නාට්‍යයක් හැටියටයි මම දෙවැනි ඉනිම දකින්නේ.

චූටි මැණිකෙට ඔබව කොහොමද දැනෙන්නේ?
ගමක ඉඳන් කොළඹට ඇවිත්, කොළඹ ළමයින්ගේ විවිධ උපහාසයන් මැද අහිංසකව ගලාගෙන යන චරිතයක් ඇය. තමන් තෝරාගත් පිරිසකට විතරක් ළංවෙලා, තව කෙනකුට රිද්දන්නේ නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්. හැබැයි චූටි මැණිකෙගේ වෙනසක් ඉදිරියේ දී දකින්න ලැබෙයි.

නවකයෙක් හැටියට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියන්න යමක් ඇති?
අනිවාර්යයෙන්ම ඒ ගැන කිව යුතුමයි. මොකද මම ගොඩක් දේවල් ඉගෙන ගන්නේ ඔවුන්ගෙන්. නිතරම කොහොමද දෙයක් කරන්න ඕනි කියලා ඔවුන් තමයි අවශ්‍ය උපදෙස් දෙන්නේ. ඒ වගේම අපේ සම වයසේ වගේම දෙරණ පවු‍ලේ මාත් එක්ක ඉන්න හැමෝම මට ශක්තියක් වගේම විශාල සහයෝගයක් ක්‍ෂේත්‍රයේ ඉදිරියට යන්න.

පළමු ටෙලි නාට්‍ය අත්දැකීම කොහොමද ඔබට දැනෙන්නේ?
ගොඩක් හොඳ අත්දැකීමක්. තවම මට වයස 18 යි. ඉතින් මේවයසට මේ තරම් ප්‍රතිචාර ලබන්න හැකිවීමම මට ගොඩක් වටිනවා. මිනිස්සු මට ආදරේ කරන්නේ හරි බණින්නේ හරි මම ඔවුන්ගේ හිතේ තැනක ඉන්න නිසානේ. ඉතින් ඒ විදියට ප්‍රේක්ෂක හිතේ රැඳෙන්න ලැබිමම වාසනාවක්. ඒ වගේම රූගත කිරීම් කරන පසුතලයේ දී ලබන අත්දැකීම් ගැනත් හිතනකොට මට දැනෙන්නේ මේ වයසට මම යම්තාක් දුරට සාර්ථකයි කියලා.

පොඩි කා‍ලේ හීනයක් තිබුණද, ජනප්‍රිය චරිතයක් වෙන්න?
හීනයක විතරක් ‍නෙවෙයි, මගේ හිතේ කොනකවත් ජනප්‍රිය වෙලා මේ තරම් මිනිස්සුන්ගේ ප්‍රතිචාර ලබන තැනට එන්න හැඟීමක්වත් මට තිබුණේ නෑ. මම හිතනවා, මේක මගේ වාසනාව කියලා.

ක්‍ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
මේ ක්‍ෂේත්‍රය නරක තැනක් ‍නෙවෙයි. හැම තැනම හොඳ වගේම නරක තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕන විශේෂයෙන්ම ගැහැනු ළමයි හැටියට හරි දේ තෝරාගෙන නරකක් වුණත් හොඳක් හැටියට ජීවිතේට එකතු කරගන්න. තමන් විසිනුයි තීරණය කරගන්න ඕන තමන් ඉන්න තැන හොඳ තැනක් කරගන්නවද, නැත්නම් නරක තැනක් කරගන්නවද කියලා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!