Gossip

තැලසීමියාව පිළිබඳව ඔබත් අදම දැනුවත් වන්න

තැලසීමියා යනු ශ්‍රී ලංකාව තුල ජානමය ලෙස සම්ප්‍රේෂණය වන සුලබම රෝග තත්වයකි. මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුවනුයේ ශරීරය තුල රතු රුධිර සෛල කැඩීයාම හේතුවෙන් නීරක්තික තත්වයට පත්වීමයි. මෙසේ කැඩීයන රුධිර සෛලවල තිබෙන යකඩ කොටස් ශරීරයෙහි ඉතාම වැදගත් ඉන්ද්‍රියන් තුල තැන්පත්වීම හේතුවෙන් සංකූලතා හා විකෘතිතා ඇතිවිමද සිදුවේ.

මෙම රෝගීන් ජීවත්කරවීම සඳහා සති 2-3 කට වරක් හෝ මසකට වරක් රුධිරය ලබා දීම සහ දිනපතා උදරයට සවිකරන කුඩා යන්ත්‍රයක ආධාරයෙන් ශරීරයෙහි වැඩිපුර තැන්පත් වී ඇති යකඩ ඉවත් කිරීම, දිනපතා උදෑසන දියකර සකසා ගත් ඖෂධ වීදුරුවක් නිරාහාරව පානය කිරීම මෙන්ම වෙනත් දුෂ්කර ප්‍රතිකාර කිරීමට සිදුවේ. දරුවකු ඉපදී පළමු අවුරුද්ද තුල දීම මෙම තැලසීමියා රෝගී තත්වය හඳුනා ගන්නා අතරම එතැන් පටන් මුළු ජීවිත කාලය පුරාවටම අඛන්ඩව ප්‍රතිකාර ලබාදිය යුතුය. තැලසීමියානු නිසි ප්‍රතිකාර නොලදහොත් ඉක්මනින් මරණයට පත්වන මාරාන්තික රෝගයකි. මෙම හේතු නිසා රෝගී දරුවන්ද දැඩි කායික සහ මානසික අවපීඩනයකට පත්වන අතර මවුපියෝද ඉමහත්වූ මානසික, සමාජයීය හා ආර්ථීකමය පරිහානියට පත්වෙති. භයානක රෝගී තත්වයක් වූ තැලසීමියා රෝගය වලක්වා ගැනීම අපි සියලු දෙනාගේම වගකීමකි.

තැලසීමියා වාහකයන් (සුළු තැලසීමියා) අපරට තුල ජනගහනයෙන් 4% ක් පමණ සිටින අතර මොවුන් කිසිවිටක තැලසීමියා රෝගීන් ද නොවේ. මෙම තත්වය නිරීක‍ෂණය කර ගත හැක්කේ මේ සඳහා ඇති රුධිර පරීක‍ෂණ කිරීමෙන් පමණි. රෝග ලක‍ෂණ නොපෙන්වන නිසා ජීවිත කාලය පුරාම මොවුන් හඳුනා ගත හැකිනොවේ. මෙහි අවාසනාවන්ත අවස්ථාව වනුයේ අහඹු ලෙස සිදුවන මෙවැනි දෙදෙනෙකුගේ විවාහයෙන් ඉහත සඳහන්කර ඇති තැලසීමියා නම් භයානක රෝගී තත්වය සහිත දරුවන් වැනි යුවලකට ඉපදීමයි.

නව යොවුන් සහ යොවුන් දරුවන් ගැන දැනුවත් කිරිම සහ රුධිර පරීක‍ෂණවලින් ඔවුන් ඔවුන්ගේ තැලසීමියා වාහක තත්වය නිර්ණය කර දීමෙන් අපරට තුල අනාගතයේදී මෙවැනි අවාසනාවන්ත දරු උපත් තැලසීමියාරෝගීදරුවන්ඉපදීම වැලැක්වීම අපගේ ඒකායන අරමුණයි. තැලසීමියා වාහක තත්වය නිර්ණය කරන මධ්‍යස්ථාන කීපයක් ශ්‍රී ලංකාව තුල තිබෙන අතර රාගම උතුරු කොළඹ ශික‍ෂණ රෝහලට අනුබද්ධිතව නො: 10, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, මහර, කඩවත ලිපිනයෙහි පිහිටාඇති තැලසීමියා ඒකකය තැලසීමියා රෝගී දරුවන්ගේ සුව නිවහන වන අතර සමස්ථ ජනතාවගේම තැලසීමියා රෝග නිවාරණ මධ්‍යස්ථානයයි. මෙහි සියලු සේවාවන් නොමිලයේ සිදුකරන අතර බස්නාහිර පළාත තුල ඇති තැලසීමියා සඳහාම වෙන්වූ එකම රාජ්‍ය ආයතනය මෙය වේ. එසේම කුරුණෑගල, බදුල්ල සහ අනුරාධපුර ශික්ෂණ රෝහල් අනුබද්ධවද මෙවැනි මධ්‍යස්ථාන පිහිටුවා ඇත.

මෙවැනි මධ්‍යස්ථාන මගින් තැලසීමියා වාහක තත්වය නිරීක‍ෂණය කරන රුධිර පරක‍ෂණය කර ගත් ඔබ,තැලසීමියා වාහක නොවේ නම් කොල පැහැති කාඩ්පතකක්ද, වාහක නම් රෝස පැහැති කාඩ්පතක්ද, ලබාදෙයි. මෙය ඔබගේ තැලසීමියා හැඳුනුම්පතයි. විවාහ අපේක‍ෂිත ඔබලා මෙම කාඩ්පත් ආශ්‍රයෙන් තැලසීමියා පොරොන්දම ගලපා ගත හැක.මෙමඟින් භයානක තැලසීමියා රෝගී තත්වය සහිත දරුවන් ඉපදීමේ අවදානමෙන් ඔබට ගැලවිය හැකිවේ. රෝස පැහැති කාඩ්පතක් හිමි අයකු හා විවාහ අසුභවන අතර රෝස පැහැති කාඩ්පත්හිමියකු මෙමරුධිරපරීක‍ෂණය කරනොගත් අයකු හා විවාහවීමද අසුභ විවාහයකි.

එසේම දෙදෙනාම මෙම පරීක‍ෂණය කරගෙන නොමැතිනම් එයද අසුභ විවාහයක්වේ. එහෙත් කොළ පැහැති කාඩ්පත් හිමියන් දෙදෙනෙකු හෝ කොළ පැහැති කාඩ් පත සමග රෝස පැහැති කාඩ්පත් හිමියකු විවාහවීම අසුභ නැත. එම නිසා ඔබට තමන්ගේ තැලසිමීයා තත්වය දැනගෙනම විවාහ වන ලෙස උපදෙස් දෙන්නෙමු.

බස්නාහිර පළාත තුල නව යොවුන් දරුවන්ට තැලසිමීයා රෝගය පිළිබඳ දැනුම මෙන්ම උපදේශන සේවා ආදී පහසුකම් නොමිලයේම ලබාගත හැකි අතර උසස් අධ්‍යාපන ආයතනවලට මෙන්ම පාසල්වලටද පැමිණ එම උපදෙස් ලබා දීමට තැලසීමියා ඒකකය සූදානමින් සිටී. යූනියන් ඇෂුවරන්ස් ජීවිත රක්ෂණ සමාගම සිය සමාජ සත්කාරක වැඩසටහන් යූනියන් මනුෂ්‍යත්වය යටතේ ක්‍රියාත්මක කරනු ලබන අතර ඔවුන් ගේ විශේෂ අවධානයක් තැලසීමියා නිවාරණය සඳහා යොමු කරමින් කටයුතු කරන බව විශේෂයෙන් සඳහන් කළයුතු අතර ද්‍රව්‍යමය වශයෙනුත් මූල්‍යමය වශයෙනුත් සම්පත් දායකත්වයෙනුත් ඔවුන් මේ කෙරෙහි සක්‍රීයව දායක වීම ඉතා කෘතවේදීව සිහිපත් කිරීමට කැමැත්තෙමු.

පී. ආර්. ඩී. ආර් පියතුංගල
කාර්ය භාර ප්‍රධාන හෙද නිළධාරි‚
තැලසීමියා ඒකකය,
උතුරු කොළඹ ශික්ෂණ රෝහල

ජායාරූප

පාසල් ළමුන් සඳහා තැලසීමියා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

පාසල් ළමුන් සඳහා තැලසීමියා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

වැඩිහිටියන් සඳහා තැලසීමියා රුධිර පරීක්ෂා කිරීමේ වැඩසටහන

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!