Gossip

“තාමත් ඒ ෂොක් එක මගේ හිතේ තියෙනවා. මොන ආගමක වුණත් මේ නැතිවුණේ අහිංසක මිනිස්සු.”

නොසිතූ මොහොතක ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරය ගැන කලා ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරන අය මේ විදිහට සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වා තිබුණා.

මරියසෙල් ගුණතිලක
ඔය සිදුවීම මුලින්ම ආරංචි වුණු වෙලාවේ මම නාරාහේන්පිට අපි යන පල්ලියට යන ගමනුයි හිටියේ.
ඒ ආරංචිය ලැබුණ වෙලාවෙම මම හිතුවේ මගේ හදවත නැවතුණා කියලයි. ඒ තරමටම ලොකු ෂොක් එකක් මට දැනුණා.
මම නම් හිතන්නේ මේක පැහැදිලිවම සැලසුම් කරලා කරපු දෙයක් කියලා. ඒක අද කාටත් තේරෙනවනේ. එහෙම සැලසුමක් කරන්න තරම් මනුස්සයෙක්ට පුළුවන්ද? ඒ තරමටම මනුස්සයා පහත වැටිලද කියලයි මට නම් හිතෙන්නේ. ඒක කොච්චර නපුරු කෲර ක්‍රියාවක්ද?

මනුස්සයෙක්ට මෙච්චර නපුරු සිතුවිල්ලක් ඇතිවෙන්නේ කොහොමද..?
ඇත්තටම ඒක මට නම් හිතාගන්නවත් බැහැ. දේවස්ථානයකට ඇතුළුවෙලා මෙහෙම දෙයක් කරන්න මනුස්සයෙක්ට නම් බැහැ.
මට නම් හිතෙන්නේ මේක මනස විකෘති වුණු යක්ෂ බලවේගයකින් කරපු දෙයක් කියලයි. මනුස්සයෙකුට මෙහෙම දෙයක් කරන්න බැහැ.
මනුස්සයෙක් කියන්නේ තව කෙනෙක්ගේ කරදරයකට හිත උණුවෙන ජාතියක්නේ. තරහකාරයෙක්ගේ විපතකදී වුණත් ඒ හිත උණුවෙනවනේ.

අද වෙනකොට පොඩි දරුවා පවා ඉන්නේ ලොකු තැතිගැන්මකින් බයකින්. ඇත්තටම ඒක කොච්චර පවක්ද?
දෙවියන් වහන්සේ ජීවමානයි කියලා කිතුණු බැතිමතුන් වන අපි කවුරුත් විශ්වාස කරන දෙයක්. ඒ කාරණාව අපි අත්විඳලා තියෙනවා.
ඒ නිසා ජීවමාන දෙවියන්ගේ මරණයෙන් නැගිටුණු දා කියලා විශ්වාස කරන පාස්කු ඉරිදා වැනි දිනයක මේ වගේ දෙයක් වේවි කියලා අපි කවුරුත් විශ්වාස කළේ නැහැ.
ඒත්… දෙවියන් වහන්සේගේ කරුණාව එතැන තිබෙනවා. විශේෂයෙන් කුඩා දරුවන් ගැන ලොකු කරුණාවක් දෙවියන් වහන්සේට තියෙනවා. මේ නිසා ඒ මියගිය හැමෝම දෙවියන් වහන්සේ බලාගනීවි. අපිට දැන් කරන්න තියෙන්නේ නිශ්ශබ්දව, නිහඬව, සාමකාමීව, ඉවසීමෙන් කටයුතු කරන එකයි.
මේ වෙලාවේ කාටවත් දොස් පවරන්නේවත් කරන්නේවත් නැතිව කිසිම කෙනෙක් දිහා අවිශ්වාසයෙන්, සැකෙන් බලන්නේ නැතිව, හොඳ සෙවිල්ලෙන් ඉන්න ඕනේ.
ඒක අපේ වගකීමයි. පාලකයින්ට බැනලා වැඩක් නැහැ. එයාලා ඉන්නේ වෙනම තැනක. අපි ඉන්නේ වෙනම තැනක.
ඒ නිසා අපි අපි ගැන සෙවිල්ලෙන්, කල්පනාවෙන් ඉන්න ඕනේ.
නපුරක් කරපු අයට කවදාවත් හොඳක් වෙන්නේ නැහැ

දිනක්ෂි ප්‍රියසාද්
මේ ආරංචිය ලැබුණ වෙලාවේ මගේ හිතට ලොකු දුකක් දැනුණා.
තාමත් ඒ ෂොක් එක මගේ හිතේ තියෙනවා. ශාන්ත අන්තෝනි මුණිතුමන් තමයි කොච්චිකඩේ පල්ලියේ ඉන්නේ.
ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ දිනය තමයි අඟහරැවාදා. සාමාන්‍යයෙන් හැම මාසේම පළවෙනි අඟහරුවාදකම අපි ශාන්ත අන්තෝනි දෙව් මැදුරට යනවා.
ඊට අමතරව යන්න පුළුවන් හැම අඟහරුවාදාකම අපි ඒ පල්ලියට යනවා. එතැනට කතෝලික බැතිමතුන් විතරක් නෙමේ.
හැම ආගමකම අය එනවා. ආගම් භේදයකින් තොරව ශාන්ත අන්තෝනි දෙව්මැදුරට හැමෝම එනවා.
ඒක හරියට කතෝලික බැතිමතුන් දළදා මාලිගාවටත් යනව වගේ තමයි. ශාන්ත අන්තෝනි දෙව්මැඳුර අපේ පවුලම විශ්වාස කරන තැනක්. අපිට මොන ප්‍රශ්න තිබුණත් අපි එතැනට ගිහින් බාරහාර වෙනවා. අපි කරන කියන හැමදෙයක්ම හරි ගිහිල්ල තියෙන්නෙත් ඒ දෙව්මැදුරෙන් ලැබෙන ආශීර්වාදයෙන්.
මේ සිදුවීමෙන් අපේ මොකක්දෝ වටිනාම දෙයක් නැතිවුණා වගේ තමයි මට නම් හිතෙන්නේ.
හැබැයි එතන ගොඩක් හාස්කම් වෙන තැනක්. ඔතනින් නැතිවුණ මිනිස්සු හැමෝම දැන් මේ වෙද්දී දෙවියන් වහන්සේ ළඟයි ඉන්නේ. ඒ අයට යන්න නරක තැනක් නැහැ. ඒ අය යන්න තියෙන හොඳම තැනට දැන් ගිහිල්ලායි තිබෙන්නේ. ඒ දෙවියන් වහන්සේ ළඟයි.
එතන හාස්කම් තිබෙන තැනක්. ඒ තැනට මොනවා හරි නපුරක් කරපු අයට කවදාවත් හොඳක් වෙන්නේ නැහැ.
ඒ ආරංචිය ලැබෙන වෙලාවේ අපි හිටියෙ හෝමාගම අපි යන පල්ලියකයි.
ඒ පාස්කු ඉරිදා දේව මෙහෙය පවත්වපු පියතුමා අපේ රටටම ආශීර්වාද කළා. යාඥා කළා. ඒ වෙද්දිත් මේ සිදුවීම වෙලා තිබුණේ නැහැ. කතෝලික බැතිමතුන්ට තිබෙන ලොකුම මංගල්‍යය තමයි පාස්කු මංගල්‍යය. අපේ ආගමේ ඉහළින්ම සමරන්නේ මේ තතාරිය කාලය ඉවරවෙලා පාස්කුව සමරනවා.
ජේසු මරණින් උත්ථාන වෙලා සමරන මේ දේ තමයි අපි සමරන ලොකුම දේ වුණේ. ඒක මිනිස්සු දවස් හතළිහ තිස්සේ කැපවුණා. නිරාහාරව ඉඳලා තමයි මේ පාස්කු ඉරිදා සමරන්නේ. අපි දේව පූජාව ඉවරවෙලා එළියට ආපු ගමන් තමයි මේ ආරංචිය අපිට ආවේ. ඒක ඇත්තටම මට දරාගන්න හරි අමාරුයි.
මොන ආගමක වුණත්, මේ නැතිවුණේ අහිංසක මිනිස්සු

නිරංජලා සරෝජිනී
ඇත්තටම මේ සිද්ධිය ආරංචි වුණාම මට පුදුම දුකක් දැනුණා. පක්ෂ පාට, ආගම් භේදවලින් තොරව මේ නැතිවුණේ අහිංසක මිනිස්සු.
අපි ආගම අදහන වෙලාවේදී මේ දේ සිද්ධ වුණේ. ඇත්තටම ඒක හරිම පව්කාර වැඩක්. ම්ලේච්ඡ වැඩක්. මනුෂ්‍ය ජීවිතවල වටිනාකම නොදන්නා එවුන් තමයි ඔය දේවල් ඔය විදිහට කරන්නේ. මරාගෙන මැරෙන අයට ජීවිත ගැන වටිනාකමක් නැහැ.
අපිට ජීවිතයක් ලැබෙන්නේ පෙර කරපු පින් අනුවයි. ඒ පින පව් පැත්තට හරවාගෙන මරාගෙන මැරෙන අයට ආයේ ජීවිතයක් නැහැ.
මේ සිදුවීම මම හෙළා දකිනවා. මේක ඉතාම කනගාටුදායකයි. මොන ආගමක වුණත්,මේ නැතිවුණේ අහිංසක මිනිස්සු. ජේසුස් වහන්සේ උත්ථාන වුණ දවස ගැන හිතලා සතුටු වෙන්න බැතිමතුන්ට ඉඩ දුන්නේ නැහැ. ඒක ගැන ලොකු කනගාටුවක් තිබෙනවා. මේක ලොකු පව්කාරකමක්.

මැරෙන්න ඕන අය නෙමෙයි මැරෙන්නේ ? – රොෂාන් රණවන
මේ සිදුවීම වෙද්දී අපි හිටියේ ගෙදරයි. කුශ්ලානි කතෝලික ආගමේ නිසා අපිත් සාමාන්‍යයෙන් පාස්කු ඉරිදාට වගේම සමහර දිනවලදීත් ශාන්ත අන්තෝනි දෙව් මැඳුරට යනවා.
කොච්චිකඩේ පල්ලිය කියන්නේ කතෝලික අය විතරක් යන පල්ලියක් නෙමෙයි. බෞද්ධ අය පවා නිතරම කොච්චිකඩේ පල්ලියට යනවා. ජාති ආගම් භේදයක් නැතිව හැමෝම ගෞරව කරන තැනක් තමයි ඒක. ඒ සිදුවීම ආරංචි වුණාම මට නම් අදහාගන්නත් බැරිවුණා.
පාස්කු දවසකට හැම බැතිමතකුම හරිම විශ්වාසයෙන් භක්තියෙන් තමයි පල්ලියට යන්නේ.
මේ නැතිවුණේ අහිංසක මිනිසුනුයි. එක එක්කෙනාගේ පටු අරමුණ ඉෂ්ඨ කරගන්න ගිහින් අහිංසක මිනිස්සුන්ගෙත් ජීවිත නැතිවුණා. කිහිපදෙනෙකුගේ අන්තවාදී අදහස් නිසා අහිංසක මිනිස්සු සෑහෙන ගාණක් ජීවිතවලින් වන්දි ගෙව්වා.
මම නම් කියන්නේ මේක කවුරු හරි නවත්තන්න ඕනේ. දැන් සමහරු මේ ගැන එක එක කතා කියනවා. තමන් නිදහස් වෙන්න එක එක්කෙනාට වැරැද්ද පටවනවා. හැබැයි අවසානයේදී මේ හැමදේකින්ම තැලෙන්නේ අහිංසක මිනිස්සු. මැරෙන්න ඕන අය නෙමෙයි මැරෙන්නේ.
ඒ නිසා මේ ගැන දිගින් දිගටම කතා කරලා තේරුමක් නැහැ. අද මිනිස්සු ඉන්නේ වෛරයෙන්. හැබැයි ඒ වෛරයෙන් අපි යමක් කළොත් ඒකෙන් වෙන්නේ තවත් අහිංසක මිනිස්සු නැතිවෙන එකයි. ඒ නිසා අදාළ බලධාරීන් මේකෙත් වගකීම් අරගෙන නිවැරදි තීරණ ගන්න ඕනේ. ඇත්තටම මේ හැමදේකින්ම අපි හැමෝම ඉන්නේ පුදුම කලකිරීමකින්.

යක්ෂයා පරද්දන්න නම් අපි ඔක්කොම සමාදානයෙන් වැඩකරමු
වීණා ජයකොඩි
දෙව්මැඳුරට යන හැමෝම දෙවියන් වහන්සේ අදහන, දෙවියන්ට ආදරේ කරන, මනුස්සකමින් පිරුණු දේව දරුවෝයි.
දවස් හතළිහක් නිරාහාරව ඉඳලා යාඥා කරලා දෙවියන් වහන්සේගේ ආශීර්වාදය බලාපොරොත්තුවෙන් තමයි මේ බැතිමතුන් දේවස්ථානවලට ගියේ.

මේ වෙච්චි සිද්ධිය දෙවියන්ගෙන් වෙච්චි සිද්ධියක් නෙමේ. ඒක යක්ෂ පරීක්ෂාවක්. යක්ෂයා විසින් මිනිසුන්ගේ මනසට දරුණු ආකල්ප ඇති කරලා මනුස්ස වර්ගයාට තරහ ඇතිකරන, වෛරය ඇති කරන්න කරපු දේවල්. මේ නැතිවෙච්ච ආත්මවලට දෙවියන් වහන්සේගේ ආශීර්වාද කරාවි.
මට දැනෙන විදිහට ඒ අහිංසක හැමෝම දෙවියන් වහන්සේ ළඟම ඉන්නවා. පූජාවත් ඉවරවෙලා, ජේසුව ලබලා, ඒ වෙලාවේ දෙවියන් වහන්සේට ස්තූති කරන වෙලාවේදී ජීවිතය හැර යනවා කියන්නේ ඒක දෙවියන් වහන්සේ ළඟට යාමක් කියලයි මට නම් හිතෙන්නේ. මට හරිම දුකයි.
ජේසුස් වහන්සේ අපිට කිව්වේ නොදැන කරන අයට සමාව දෙන්න කියලයි. ඒ නිසා අපි දැන් ඉවසන්න ඕනේ.
එක එක්කෙනා කා කොටා ගන්නේ නැතිව, වෛර කරන්නේ නැතිව සමාදානයෙන් ඉන්න ඕනේ. හැමකෙනෙකුටම දුකයි. මේ සිදුවීම හරිම කැතැයි. මම නම් මේ දේවල් දකින්නේ මේ මනුස්සයන් කරන දේවල් නෙමේ. දෙවියන් වහන්සේගේ ආශීර්වාදයකුත් එක්ක නැතිවෙනවා කියන්නේ ඒ අය හොඳින් ඉන්නවා කියලයි.
ස්වර්ග රාජ්‍යයේ සතුටු ලබාගන්න ඇති කියලයි මම විශ්වාස කරන්නේ.
මේ සිද්ධිය වෙන වෙලාවේදී මම හිටියේ ගෙදර. අපි එදා රෑ තමයි පල්ලි ගියේ. ජීවිතේ අලුත් කරගන්න තමයි අපි දවස් හතළිහක් නිරාහාරව ඉඳලා, යාඥා කරලා, පසුතැවිලි වෙලා, පාපොච්චාරණය කරලා අපි ඒ හැමදේකින්ම අළුත්වෙලා හැදෙනවා. ඒකෙදි මේ වගේ දෙයක් සිදුවුණා කියන්නේ මේක මනුෂ්‍යයන් විසින් කරපු දෙයක් නෙමේ. මේක යක්ෂ පරීක්ෂාවක්. මේ වගේ දෙයක් කරපු අයට, කවදාවත් සුගතියක් නැහැ. මේ අවස්ථාව අපිට හොඳ පාඩමක්. වෛරය ඇති කරගත්තේ නැතිව, කුලප්පු වෙන්නේ නැතිව, අපිත් ඒ තත්ත්වයට වැටෙන්නේ නැතිව, යක්ෂයා පරද්දන්න නම් අපි ඔක්කොම සමාදානයෙන් එකතුවෙලා වැඩකරමු කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!