Gossip

තාත්තලා සිය ගණනක් මරා, තම පියාගේ දේහයට ගුවනින් මල් ඉසූ මාකඳුරේ මධූෂ්

පසුගිය 03 වැනිදා සැන්දෑ යාමයේ සෙවණගල හත්පොහොට්ටුව ගමට ඉහළ අහසේ පෞද්ගලික සමාගමකට අයත් හෙලිකොප්ටර් යානයක් කැරකුණේය.
මේ පළාතේ ජනතාවට තුන්වේල කන්න නැති වුවද අඳින්න හරිහමන් වස්තරයක් නැති වුවද නිතර හෙලිිකොප්ටර් යානා දැක ගැනීමේ වාසනාව හිමිව තිබෙයි.
ඒ මන්ද යත් පසුගිය කාලය පුරාවට ම මේ ප‍්‍රදේශවල දේශපාලනඥයන් බෝක්කු විවෘත කිරීමට තාර දැමූ පාරවල් මහජනතාව වෙත භාර දීමට නියං ආධාර බෙදීමට වැඩියේ අහසින් වීම නිසාය. පසුගිය 03 වැනිදා සෙවණගල අහසේ හෙලිකොප්ටර් යානයක් කැරකෙද්දී දුප්පත් ජනතාව සිතුවේ නියං ආධාර බෙදීමට හෝ අලූතින් තාර දැමූ පාරක් විවෘත කිරීමට ප‍්‍රභූ දේශපාලනඥයෙක් අහසින් එනවා කියාය.
හිටි හැටියේම හෙලිකොප්ටර් යානයෙන් මල් වරුසා වැටෙන්නට පටන් ගත්තේය.
සෙවණගල ජනතාව සාධුකාර දෙමින් නිවාසවලින් එළියට පැන්නේ කිසියම් විශ්මිත ප‍්‍රාතිහාර්යයක් තම ගම් පළාතේ සිදුවනු ඇතැයි සිතා ගෙනය.
එහෙත් අහසින් මල්වරුසා වැස්සේ ලංකාවේ අංක එකේ පාතාල මැරයා එහෙමත් නැත්නම් මෙරට පාතාලයේ ගෝර්ඞ් ෆාදර් කියාගන්නා මාකඳුරේ මධුෂ් මෙලොවට දායාද කළ පියාණන්ගේ අවසන් කටයුතුවලට බව සෙවණගල ජනතාව දැනගන්නේ ඉන්පසුවය.
තිරිසන් ක‍්‍රමයට මිනිස් ඝාතන සිදු කිරීම කප්පම් ගැනීම මහා පරිමාණ හෙරොයින් ජාවාරම ඇතුළු මහ පොළොව නුහුලන අපරාධ කරමින් මුළු රටම භීතියට පත් කරගෙන සිටින මාකඳුරේ මධුෂ් නමැති මැරයාගේ ආදරණීය පියාණන් පසුගිය 29 වැනිදා අභාවප‍්‍රාප්ත වුණේය.
සමරසිංහ ආරච්චිලාගේ ලක්‍ෂ්මන් අවුරුදු 62 ක් ආයු වළඳා මධුෂ් නමැති පුතා දායාද කර අවසන් ගමන් යන්නේ හදිසි අනතුරකට ලක්වීමෙන්ය.
කළුතර වස්කඩුව ප‍්‍රදේශයේදී වාහනයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ ලක්‍ෂ්මන් නාගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සතියක් තිස්සේ දුක්වින්දේය.
තමන් රටට දායාද කළ උතුම් පුත්රුවන සමාජයට කරන සේවය මෙනෙහි කරමින් ලක්‍ෂ්මන් ඒ සතිය ගත කළ බව නොඅනුමානය.
තම පුත‍්‍රයා සිදු කළ පුංචි පාපකර්මයක් පලදීම නිසාදෝ ලක්‍ෂ්මන්ට තවදුරටත් ජීවත්වීමේ වාසනාව උරුම නොවුණේය. ලක්‍ෂ්මන් පරලෝසැපත් වුණේය.
ලක්‍ෂ්මන්ගේ මහගෙවල් කඹුරුපිටියේ ගනාරේ පිහිටා තිබුණ ද ඔහු පසුගිය කාලයේ එහි ගත කළේ නැත.
ලක්‍ෂ්මන්ගේ පළමු විවාහයේ දරුවන් තිදෙනෙකි. මේ වනවිට මුළු රටටම මහා සම්පතක් බවට පත්ව සිටින ජාත්‍යන්තරයේ පවා නම කියැවෙන මාකඳුරේ මධුෂ් නමැති පුත‍්‍රයා ලක්‍ෂ්මන්ගේ වැඩිමහල් දරුවා ය.
මධුෂ්ට බාල සොහොයුරකු සහ සොහොයුරියක සිටියද මීට වසර පහකට හයකට උඩදී බාල සොහොයුරු අකාලයේ මැරුම් කෑවේය. ඒ මධුෂ්ගේ පවුලේ අයහපත් චර්යාව නිසාය.
දරුවන් තිදෙනකු බිහි කළ පසු ලක්‍ෂ්මන්ගේ බිරිඳ මෙලොව හැර ගියාය. දරුවන් තිදෙනා තම මිත්තණිය භාරයේ තැබූ ලක්‍ෂ්මන් වෙනත් විවාහයක් කර ගත්තේය.
මධුෂ් නමැති රටට වැඩදායී තරුණයා හැදී වැඩුණේ තම මිත්තණිය සහ නැන්දණිියගේ සෙවණේය.
පසු කලෙක පාතාල ලෝකය ජයගත් මධුෂ් කඹුරුපිටියේ මධුෂ් ලෙස භෞතිස්ම ලැබුවේය. ඒ මධුෂ්ගේ උපන්ගම කඹුරුපිටිය වීම නිසාය.
මධුෂ් විවාහ වුණේ මාකඳුරේ තරුණියක සමඟය. තම උපන් බිම අතහැර මාකඳුරේ පදිංචියට ගිය පසු මධුෂ් මාකඳුරේ මධුෂ් ලෙස ප‍්‍රසිද්ධියට පත් වුණේය.
තරුණ වයසේ සිටම මධුෂ් උත්සාහ කළේ රටට දැනෙන යමක් කිරීමට ය. දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනී හිත්තැටියගේ මහතා මාකඳුරේ මධුෂ්ගේ මුල්ම බිල්ල විය.
එතැනින් පටන් ගත් මාකඳුරේ මධුෂ්ගේ දුෂ්ඨක්‍රියා රටපුරා විහිදුවාලන්නට ඒ තරම් කාලයක් ගත වුණේ නැත.
අනක් ගුණක් නැති මිනිස් ඝාතන සිදු කරමින් පාතාල ලෝකයේ කෙළිකාරයකු වීමට වෙර දැරූ මාකඳුරේ මධුෂ් දකුණේ හෙරොයින් ජාවාරමටද අත ගැසුවේය.
තම පුත‍්‍රයා දිනෙන් දිනම ලබා ගන්නා ජයග‍්‍රහණ දෙස බලමින් ලක්‍ෂ්මන් දැඩි ලෙස සතුටට පත් වුණේය.
මාකඳුරේ මධුෂ්ගේ වීර ක්‍රියාවලට එරෙහිව ගොඩනැඟුණු පාතාල කල්ලි කීපයක් නිසා ඔහුගේ ජීවිතයට පවා තර්ජන එල්ල වන්නට පටන් ගත්තේය.
මධුෂ් නමැති ධෛර්යසම්පන්න තරුණයාට පොලිසියෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ කාර්ය බළකායෙන් හැමවිටම අසාධාරණකම් සිදුවන්නට පටන් ගත්තේය.
තවදුරටත් මවු රටට සේවයක් කිරීමට තමන් ජීවත් විය යුතු යැයි සිතූ මාකඳුරේ මධුෂ් රටින් පලා ගියේය. මුස්ලිම් ජාතිකයකු ලෙස වෙස්වලාගත් මධුෂ් ඩුබායි දේශයට පැනගත්තේ අනාගතය ගැන දහසකුත් එකක් සිහින මවමින් ය.
ඩුබායිහි සුර සැප විඳිමින් මෙරට තරුණ පරපුරට ද ඒ සැප දීමට මාකඳුරේ මධුෂ් කටයුතු කරන්න ගත්තේ ඉන්පසුවය.
රටේ තරුණ පරපුරේ පරිභෝජනය වෙනුවෙන් හෙරොයින් ටොන් ගණනින් මෙරටට ලබාදුන් මධුෂ් යුතුකම් නොපිරිහෙලා ඉටු කරගන්නට පටන් ගත්තේය.
රටේ අභිවෘද්ධිය ගැන නිතර සිතූ මධුෂ් සමාජයට නොගැලපෙන සමාජයට වින කරන පුද්ගලයන් එකා දෙන්නා මරන්නට නියෝග දුන්නේය.
මාළිගාවත්තේ වීරවරයකුව සිටි කන්චිපාන ඉම්රාන් මහතා ද මධුෂ්ගේ කණ්ඩායමට සම්බන්ධ වී රටට දැයට සේවය කරන්නට පටන් ගත්තේය.
කොළඹ නගරය පුරා හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ක‍්‍රමවත්ව බෙදා හැරීමේ කාර්ය ඉටු කළේ කන්චිපාන ඉම්රාන් මැතිතුමා ය. ඊට විරුද්ධ වන පුද්ගලයන් සමාජයෙන් ඉවත් කිරීමේ කාර්යය ද ඉම්රාන් මහතා නොපිරිහෙළා ඉටු කළේය.
මේ වීරවරයන් සමාජයට කරන මෙහෙයට අකුල් හෙළීමට පොලිසියට පවා හැකියාවක් නැත.
තම සමාජ මෙහෙවරයන්ට එරෙහි වන පුද්ගලයන් මහ දහවල් දෙනෝදාහක් දෙනා ඉදිරිපිට ඝාතනය කිරීමට තරම් ශක්තියක් දුරු රටක සිටින මාකඳුරේ මධුෂ්ට හිමිව තිබීම රටට ගෞරවයකි.
මධුෂ්ගේ මීළඟ ක්‍රියාකාරකම සිදුවනතුරු පොලිසියට සිදුව ඇත්තේ දත කට පියාගෙන බලා සිටීමටය.
සමාජයට සෙතක් නැති රණාලෙ සමයං ඇතුළු 7 දෙනෙක් කළුතර බන්ධනාගාර බස් රථයකදී වෙඩි තබා ඝාතනය කිරීමට මධුෂ් නායකත්වය දුන්නේ රටේ අනාගතය ගැන සිතා ය.
පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසකට වෙඩි තබා ඔවුන්ව තුවාල කර මහ මග ගමන් ගත් අහිංසක දැරිය මරා දැමුවේ මධුෂ්ගේ සමාජ සත්කාරයන්ට ඔවුන් විරුද්ධ වීම නිසාය.
මෙවැනි වීර ක්‍රියා කරමින් මුළු රටම අවදි කළ මාකඳුරේ මධුෂ් නමැති දරුවා මෙලොවට දායාද කළ ලක්‍ෂ්මන්ට රාජ්‍ය ගෞරව හිමිවිය යුතුය.
මධුෂ්ට හැමවිටම වීරයකු වීමේ අවශ්‍යතාව තිබුණේය. පාතාලයේ ගෝර්ඞ් ෆාදර් ලෙස රටට සේවයක් කිරීමට ඔහු හැමවිටම උත්සාහ කළේය.
ලක්‍ෂ්මන්ගේ මරණය ගැන ඇසීමෙන් මධුෂ් සතුටු වූවා විය යුතුය.
ඒමන්ද යත් තම පියාගේ අවසන් කටයුතු රටට ආදර්ශයක් ලෙස සිදු කිරීමට හැකිවීම නිසාය.
පියාගේ අවමඟුල අති උත්කර්ෂවත් අන්දමින් රටට දැනෙන ලෙස පැවැත්වීමට මධුෂ් තීරණය කළේ ඒ නිසා විය යුතුය.
නාගොඩ රෝහලේදී අවසන් ගමන් ගිය ලක්‍ෂ්මන් කඹුරුපිටිය ගනාරේ ගමට ගියේ නැත. ලක්‍ෂ්මන්ගේ බාල සොහොයුරා එහෙමත් නැත්නම් මධුෂ්ගේ බාප්පා පදිංචිව සිටියේ සෙවණගල හත්පොහොට්ටුවේය. ලක්‍ෂ්මන්ගේ අවසන් කටයුතු හත්පොහොට්ටුවේ ගමේ අති උත්කර්ෂවත් අන්දමින් සිදු කිරීමට සැලසුම් කළේ මධුෂ්ය.
ඒ සඳහා අවශ්‍ය කරන සියලූ මිල මුදල් ඔහු නොපිිරිහෙළා ලබා දුන්නේය.
නාගොඩ සිට සෙවණගල නිවසට ලක්‍ෂ්මන්ගේ දේහය රැ‍ගෙන යන්නේ රිය පෙරහැරකිනි. රුපියල් ලක්‍ෂ ගණනක් වටිනා කැටයම් කළ මිනී පෙට්ටියක තැබූ ලක්‍ෂ්මන්ගේ දේහය මහජන ප‍්‍රදර්ශනයට තැබුවේය.
කඹුරුපිටිය, දෙවුන්දර, මාකඳුර ඇතුළු දකුණේ ජනතාව වැලනොකැඞී ලක්‍ෂ්මන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ.
ඒ එන සෑම කෙනකුට ම ප‍්‍රණීීත ආහාරපාන, මධ්‍යසාර සිගරට් ඇතුළු අනෙකුත් සියලූ අවශ්‍යතාවන් සපයා දීමට මධුෂ්ගේ ඥාතීන් කටයුතු කළහ.
ඒ සියල්ල කෙරුණේ මධුෂ්ගේ උපදෙස් මතය. මහජනතාව වැලනොකැඞී ලක්‍ෂ්මන්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන අයුරු මධුෂ් අන්තර්ජාලය ඔස්සේ ඩුබායි සිට නැරඹුවේය.
ලක්‍ෂ්මන්ගේ අවසන් කටයුතු උත්කර්ෂවත් අන්දමින් රටට ම දැනෙන ලෙස පැවැත්වීමට මධුෂ්ට අවශ්‍ය විය.
පාතාලයේ අලූත්ම මෝස්තරය වන්නේ තම සාමාජිකයකු මියගිය පසු අවසන් කටයුතු පාතාල රාජ්‍ය ගෞරව ලබා දීමය.
මේ පාතාල රාජ්‍ය ගෞරවයන්ට අශ්ව කරත්ත, අවමංගල්‍ය පෙරහැරේ අශ්වයන් ගමන් කිරීම හෙලිිකොප්ටර් යානා යොදාගෙන මල් වරුසා වැස්සවීම අන්තර්ගතය.
තම පියාට අවසන් ගෞරව දැක්වීමට වඩා මධුෂ්ට අවශ්‍ය ව තිබුණේ තම ශක්තිය බලය රටට පෙන්වීමටය. පියාගේ අවමඟුල් පෙරහැරට හෙළිකොප්ටර් යානා යොදා ගෙන මල්වරුසා වැස්සවීමට මධුෂ් තීරණය කළේ ඒ නිසා විය යුතුය.
මෙවැනි කටයුත්තක් සඳහා පොලිසියෙන් අවසර ලබා ගත යුතුය. රටට දැයට ඉමහත් සේවය කරන ජාත්‍යන්තරයේ පවා නම කියැවෙන උතුම් පුත‍්‍රයකු රටට දායාද කළ ලක්‍ෂ්මන් වැනි විරුවකුගේ අවසන් කටයුතුවලට හෙලිිකොප්ටර්වලින් මල් වරුසා වැස්සවීමට විරුද්ධ වීමට තරම් හයියක් පොලිසියට තිබුණේ නැත.
ලක්‍ෂ්මන්ගේ අවමඟුල් පෙරහැරට මල් ඉසීම සඳහා හෙලිකොප්ටර් යානයක් ලබාගත්තේ පෞද්ගලික සමාගමකින්ය.
කොට්ටාවේ දිනේෂ් නමැති මධුෂ්ගේ සමීපතමයකු පෞද්ගලික බැංකුවක් හරහා අවස්ථා තුනකදී රුපියල් හාර ලක්‍ෂ විසිදහසක මුදලක් තැන්පත් කර හෙලිකොප්ටර් යානය කුලී පදනම මත ලබාගෙන තිබුණේය.
පාතාල ප‍්‍රභූන්ගේ ව්‍යාපාරිකයන්ගේ සහ ඥාති හිතමිත‍්‍රාදීන්ගේ සෝසුසුම් මැද ලක්‍ෂමන් අවසන් ගමන් ගියේ රජෙකු ලෙසය.
මේ සියලූ සිදුවීම් මධුෂ් අන්තර්ජාලය ඔස්සේ සජීවී ව නැරඹුවේය.
මේ සියලූ පහසුකම් මධුෂ්ට නොඅඩුව ලබාදීමට පොලිසිය කටයුතු කරදීම සැබැවින් ප‍්‍රශංසනීය කටයුත්තක් වන්නේය.
මැර බලයෙන් මුළු රටම චූන්කර සිටින මාකඳුරේ මධුෂ් වැනි තරුණයන් ඩුබායිහි සිට කරන වික‍්‍රමයන් පොලිසියට ද ආදර්ශයකි. වර්තමාන පොලිසිය මධුෂ්ගෙන් ඉගෙන ගත යුතු පාඩම් බොහෝය.
පොලිස් දෙපාර්තමේන්තුවේ පසුගියදා සිය 152 වැනි ජන්ම දිනය මහ ඉහළින් සැමරුවේය. රටේ අපරාධ 35% කින් අවම කළ බවට වීර ප‍්‍රකාශ නිකුත් කළේය.
එහෙත් පොලිස් නිලධාරීන් තුට්ටුවකට මායිම් නොකර ඩුබායි සිට මෙරට පාතාලය පාලනය කරන මාකඳුරේ මධුෂ් අල්ලා ගැනීමට තබා ඔහු සිටින ස්ථානයක් හෝ සොයා ගැනීමට පොලිසිය සමත් වී නැත. එක පැත්තකින් ඒ ගැන පොලිසියට දොස් පැවරිය නොහැක.
ඒ මන්ද යත් පොලිස් නිලධාරීන්ට අද බාහිර වැඩ වැඩිය. ඔවුන්ට පාතාලය මර්දනය කිරීමට කාලය මිඩංගු කරනවාට වඩා ප‍්‍රමුඛත්වය දියයුතු වැඩ රාජකාරි බහුලය.
මහජනතාව පිනවීමට ? එළිවනතුරු සංගීත සංදර්ශනවල ගීත ගැයීමට පොලිස් නිලධාරීන්ට සිදුව තිබිණි.
ප‍්‍රසිද්ධ පෙරහැරවල්වල නැට්ටුවන් සමග හරි හරියට නර්තනයේ යෙදීමේ රාජකාරිය ද පොලිස් නිලධාරීන් සතුය.
දේශපාලනඥයන් යන යන තැන්වල ගොස් පසුපසින් සිටගෙන සිටීමේ කාර්යයන් සඳහා පොලිස් නිලධාරීන්ට සිදුව තිබෙයි.
මෙවැනි රාජකාරි බහුලතාවන් නිසා පොලිස් නිලධාරීන්ට මධුෂ් සොයනවා තබා ගමේ කසිප්පුකාරයන් පිළිබඳව සෙවීමටවත් කාලයක් නැත.
පොලිසිය මේ ආකාරයට කාර්යබහුල වීම නිසා මාකඳුරේ මධුෂ් වැනි වීර තරුණයන්ට නිදහසේ තම අපරාධ චාරිකාව කරගෙන යෑමට අවස්ථාව හිමිව තිබෙයි.
ඒ සඳහා සැබැවින් මාකඳුරේ මධුෂ් වර්තමාන පොලිසියට ගෞරව කළ යුතුය.
පොලිසිය මෙන්ම බුද්ධි අංශ එක්ව මධුෂ් අත්අඩංගුවට ගැනීමට නිවැරැුදි ක‍්‍රමවේදයක් අනුගමනය කළේ නම් ඒ සඳහා ප‍්‍රමුඛත්වයක් ලබාදී තිබුණේ නම් ඔහුට නිදහසේ තම පුණ්‍යක්‍රියාවන්වල නිරත වීමට ඉඩ ලැබෙන්නේ නැත.
එසේ වූයේ නම් කදින් වෙන් කළ කොස්මල්ලීගේ හිස අළුත්කඬේ අධිකරණ සංකීර්ණය අසලට ගෙනැවිත් දමන්නට මධුෂ්ට හැකිවන්නේ නැත.
මත්ද්‍රව්‍යනාශක අංශයේ නිලධාරීන්ට වෙඩි තබා තුවාල කිරීමට අහිංසක දැරියකගේ ජීවිතය විනාශ කර දැමීමට නොලැබෙයි. කළුතරදී බන්ධනාගාර බස් රථයට ප‍්‍රහාර එල්ල කර බුරුතුපිටින් මිනිසුන් ඝාතනය කරන්නට ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නැත. එල් ටී ටී ඊ සංවිධානයේ මූල්‍ය අංශයේ ප‍්‍රධානියා ලෙස ක්‍රියා කළ කේ. පී. කොහේ සිටියේ දැයි එදා කිසිවකුත් දැන සිටියේ නැත. එහෙත් එදා සිටි බුද්ධි අංශ නිලධාරීන් කේ. පී. කුදලාගෙන ආහ. කේ. පීට නොදැනෙන්නට ඔහු අල්ලා ගැනීමට එදා බුද්ධි අංශ නිලධාරීන් කටයුතු කළෝය.
අද සිටින්නේ එදා සිටි බුද්ධි අංශයමය. එදා සිටි පොලිසිය අදත් රාජකාරියේ නිරතව සිටිති. එසේ නම් ඒ බුද්ධි අංශවලට මේ තුට්ටු දෙකේ මැරයා අල්ලා ගැනීමට නොහැකි වීම පිටුපස කිසියම් ගැටලූවක් තිබෙන බව පැහැදිලිය.
චීනය, ඇමරිකාව වැනි වෙනත් රටක මැරයකු මේ ආකාරයට සෙල්ලම් දැමුවේ නම් අධිකරණ ශාලාව අසල මුලින් ගෙන එන්නේ ඒ මැරයාගේ හිසයි.
එහෙත් මේ පුණ්‍යභූමිය ඊට වෙනස් ය. මෙරට මානව හිමිකම් සංවිධානය පවා සිටින්නේ අගතියට පත්වන මිනිසුන්ගේ පැත්තේ නොව මැරයාගේ පැත්තේය.
ඩැනි හිත්තැටියගේ ඝාතනයෙන් සිය කෲරතර ඝාතන චාරිකාව ආරම්භ කළ මාකඳුරේ මධුෂ් නමැති අහිංසක මිනිහා අතින් සිදුවූ මිනිස් ඝාතන ප‍්‍රමාණය සිය ගණනකි. පියා ඝාතනයට ලක්වීමෙන් පසු අඹු දරුවන් අනාථ වූ පවුල් ගණන කොතෙක් දැයි කිව නොහැක.
දරුවන් සිය ගණනකට මවුවරුන් පියවරුන් අහිමි කළ, රටේ තරුණ පරපුර අතර හෙරොයින් බෙදා හෝ ඔවුන් වෙනම ලෝකයකට කැන්දාගෙන ගොස් ඔවුන්ගේ ජීවිත විනාශ කළ මාකඳුරේ මධුෂ් නමැති සංවේදී මිනිසා තම පියාගේ වියෝවෙන් පසු සිය හඬ අවදි කළේය.
ලක්‍ෂ්මන්ගේ දේහය තබා තිබූ නිවස ඉදිරිපිට විශාල බැනරයක් ප‍්‍රදර්ශනය කර තිබුණේය. එහි පළ කර තිබුණේ ශෝක ප‍්‍රකාශයකි.
මාකඳුරේ මධුෂ් නමැති සංවේදී මිනිසා තමා පියාගේ අකල් මරණය හමුවේ හදවතින් බුර බුරා නැඟුණු වේදනාව අතරින් ලියූ ශෝකප‍්‍රකාශයේ මෙසේ සටහන් කර තිබුණේය.
‘‘පැළඳුවේ දරුවන්ගේ සෙනෙහසේ කිරුළ නිහතමානී මිනිසෙකි ඔබ. සොඳුරුම සරල ආදරණීය තාත්තේ, අවසන් මොහොතේ ඔබේ පපුව මත මගේ මුහුණ තියාගෙන හදවත ඇතුළේ බුර බුරා නැගෙන වේදනාව කෑ ගහල කියන්න මේ කුරිරු සමාජය ඉඩ නොදුන්නත් මම දන්නවා හැම මොහොතෙම මගේ තාත්තා හෙවණැල්ලක් සේ මා පසුපස ඉදිමින් මට ශක්තිය ධෛර්යය දෙන බව.
තාත්තේ පොඩි පුතාගේ ජීවිතය උදුරාගත් ධනපති පංතියේ දේශපාලන නරුමයන් යහතින් වැජඹෙන විට නිහඬව පිය සෙනෙහස වේදනාවෙන් විඳි දුක ඔය මුහුණේ ඉරියව්වලින් මට විනිවිද පෙනුණා තාත්තේ ඔය වේදනාව තුනී කරන්න අවි අතට ගන්න දෙවරක් සිතුවේවත් පැකිලූනේවත් නැත්තේ සහෝදර පේ‍්‍රමයට තාත්තගේ රුධිරය ලේ, මස්, ඇට, නහර තුළ රත්වී වේගයෙන් දිව්වේ මල්ලිගේ ජීවිතය උදුරාගත් නරුමයන් පසුපසයි.
තවත් එවැනිම අහිංසක කොල්ලන්ගේ ජීවිත උදුරා ගන්නට ඉඩ නොදෙමි. රටට සමාජයට වින කරන උන් අකා මකා දමන්නට අවසන් වරට දිවුරා සපථ වෙමි. ඔබේ නාමයෙන්.
ඔබේ හදිසි වියෝවෙන් තිගැස්සුණු ලොකු පුතා මම වෙමි. රටක් පරසිදු පුතෙක් බිහි කළ පියෙක් නුඹ මරණයද පසු කළා……… මේ ශෝක ප‍්‍රකාශයෙන් පෙනී යන්නේ තම පියාගේ වියෝවෙන් මාකඳුරේ මධුෂ් දැඩි ලෙස ශෝකයට පත්වී සිටින බවය.
මාකඳුරේ මධුෂ්ගේ නියෝග මත අවසන් ගමන් ගිය පියවරුන්ටත් ඔවුන්ගේ අඹුදරුවන්ටත් මේ ශෝක ප‍්‍රකාශය උපහාරයක් වේවා යන්න අපගේ ප‍්‍රාර්ථනයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!