Gossip

ත්‍රීරෝද රථ කොල්ල කෑ අඹු සැමි යුවළ

රියදුරා ගේ දෑසට මිරිස්කුඩු ගසා ඔළුවට මිටියකින් පහරදී ත්‍රීරෝද රථයක් පැහැර ගත් 24 හැවිරිදි අඹු සැමි යුවළක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ල කෑ ත්‍රීරෝද රථය සහ සැකකරුවන් සොයා මීගොඩ, හෝමාගම හා පිටිපන ප්‍රදේශවල පොලිස් කණ්ඩායම් තුනක් මෙහෙයුම් දියත් කරලා.

එම සැකකරුවන් පැහැරගත් ත්‍රීරෝද රථයද රැගෙන මීගොඩ ප්‍රදේශයෙන් සැකකරුවන් අතුරු මාර්ග හරහා පළායමින් සිටින විට මීගොඩ පොලිසීයේ නිලධාරීන් දෙදෙනෙකු එය දැක තිබුණා.

පසුව කිලෝමීටර් 15ක් පමණ ඔවුන්ව ලුහුබැඳ ගොස් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව තිබුණා.

එම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලීසිය විසින් ත්‍රීරෝද රථයට වෙඩි තැබීමක්ද සිදුකර තිබෙනවා.

3 හැවිරිදි දරුවෙක්ද එම පැහැරගත් ත්‍රීරෝද රථයේ සිට ඇති බව වාර්තා වෙනවා.

මෙම සැකකරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහිවූවන් බව පොලීසිය පවසනවා.

පසුගිය 02 වනදා 24 හැවිරිදි එම කාන්තාව සහ 03 හැවිරිදි දරුවාද සමගින් හෝමාගම, පිටිපන පන්සල හංදිය අසලින් ත්‍රීරෝද රථයට නැග ඇති බවත් රථයේ කුළීයදීමට තමා සතුම මුදල් නැති බවත් කියා තිබෙනවා.

ඒ නිසා මුදල් රැගෙන සැමියා හෝමාගම පොත් ගබඩා සංකීර්ණය අසල පැමිණ සිටි ඇති කියමින් අදාළ කාන්තාව ත්‍රීරෝද රථයේ ගමන් කර තිබෙනවා.

අසරණ පවුලක් යැයි සිතූ ත්‍රීරෝද රථ රියදුරා විසින් මෙම කාන්තාවගේ දරුවාට කඩචෝරු පැකට් දෙකක් ද දී තිබෙනවා.

ඒ අනුව, හෝමාගම පොත් ගබඩා සංකීර්ණයේදී මෙම කාන්තාවගේ සැමියා පැමිණ තිබූ අතර එම අවස්ථාවේදී කාන්තාව තමා සතුව තිබූ මිරිස් කුඩු රියදුරාගේ මුහුණට ගසා තිබුණා.

පසුව කාන්තාවගේ සැමියා රියදුරු ත්‍රීරෝද රථයෙන් එළියට තල්ලුකර ඔහුගේ හිසට මිටියකින් පහරදී ත්‍රීරෝද රථය කොල්ල කා පළාගෙන ගොස් ඇති බවට සිදුකළ විමර්ශනවලින් හෙළිව තිබෙනවා.

සැකකරුවන්ගේ ප්‍රශ්න කිරීමේදී ඔවුන් දෙදෙනා එක්ව මහ මඟ ගමන් ගන්නා ත්‍රීරෝද රථ කොල්ලකා ඒවායේ කොටස් ගලවා අලෙවිකරන බවත් අනාවරණය වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!