Gossip

තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම් මිය ගියාද? නැත්නම් පැනගත්තාද? ශ‍්‍රී ලංකාවේ අයි.එස්. ක්‍රියාකාරීන් ගැන හෙළිකරද්දී මුස්ලිම් සංවිධාන 40 ක් එරෙහිවූ බව අනාවරණය වෙයි

පසුගිය පාස්කු ඉරිදා සිදුවූයේ ශ‍්‍රී ලංකාවේ රජය සතුරාට දොර විවෘත කරදීමයි. එය පුදුමයක් නොවේ. 2017 ඔක්තෝබර් 31 ශ‍්‍රී ලංකා රජය කුර්දිස්තාන් ප‍්‍රාන්ත රජය වෙනුවෙන් කොන්සල් ජනරාල්වරයෙක් පත්කරනු ලැබීය. ඒ අහමඞ් ජලල්දීන් මුස්තාපා නමැත්තායි.
කුර්දිස්තාන් ප‍්‍රාන්ත රජය යනු බෙදුම්වාදී සංවිධානයකි. ඊළාම්වාදීන්ගේ පාපන්දු කණ්ඩායමක් ලන්ඩනයේ සිට කුර්දිස්තානයට ගෙනඒමට එම ප‍්‍රාන්ත රජය ක්‍රියාකර තිබුණි.
මෙලෙස කුර්දිස්තාන් ප‍්‍රාන්ත රජය සමග තානාපති සබඳතා ඇති කරගැනීමට ශ‍්‍රී ලංකාව කි‍්‍රයාකළේ මන්ද? මේ ප‍්‍රශ්නයට රජය අද වනතුරු ප‍්‍රතිචාර දක්වා නැත. මේ පසුබිම මැද ඊශ‍්‍රායලයේ මොසාඞ් බුද්ධි සේවාව විසින් සිරියාවේ අයිසිස් ත‍්‍රස්ත කල්ලියට එක්වී ශ‍්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් සටන් කරන බව සොයාගෙන තිබුණි.
මේ බව හමුදා බුද්ධි සේවාවටද වාර්තා විය.
මොසාඞ් බුද්ධි සේවාව විසින් ඒ බව තහවුරු කරනු ලැබුවේ අයිසිස් ත‍්‍රස්ත සංවිධානයේ ඩබික් සඟරාවේ අබු අයි සිලාන් නමැත්තකුගේ ඡායාරූපයෙනි.
මොහුගේ නියම නම මොහමඞ් මුෂින්ය. ගලේවෙල පදිංචිකරුවකුවූ මොහු සිරියාවේ පැවැති අයිසිස් සටන්වලදී මරුමුවට පත්වූ බව එම සඟරාවෙන් අනාවරණය කෙරුණි. මේ තොරතුරු ඊශ‍්‍රායලයේ ජෙරුසලම් පෝස්ට් පුවත්පතේද පළවිය. එහෙත් අයිසිස් ත‍්‍රස්ත කල්ලියට බැඳුණු ශ‍්‍රී ලාංකික මුස්ලිම් කි‍්‍රයාකාරීන් ගැන රජයේ දැඩි අවධානය යොමුවූයේ නැත. මේ අතර රජය ජාතික ආරක්‍ෂාව වෙනුවට ‘සංහිඳියාවට. මුල්තැන දුන්නේය. 2017 අගෝස්තු මස ශ‍්‍රී ලංකා ආරක්‍ෂක විද්‍යා පීඨයේ 16 කගෙන් යුත් කණ්ඩායමක් සාම සහයෝගිතා මෙහෙයුම් ගැන අවබෝධයක් ලබාගැනීමට රුවන්ඩා රටට ගියහ. මේ ශ‍්‍රී ලංකා හමුදා කණ්ඩායම රුවන්ඩාවේ කිගාලිහි සමූල ඝාතන ස්මාරකය වෙතද ගිය බව වාර්තා විය.
මෙම හමුදා කණ්ඩායම භාරව ගිය ශ‍්‍රී ලංකා හමුදාවේ කර්නල්වරයා පැවසුවේ රුවන්ඩා රාජ්‍යය සහජීවන කි‍්‍රයාදාමය ගැන ප‍්‍රගතියක් හිමිකරගෙන ඇති බවත් ශ‍්‍රී ලංකාව ඉන් යම් අත්දැකීම් ලබාගැනීමට අදහස් කරන බවත්ය.
මොසාඞ් බුද්ධි සේවාව ශ‍්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් අයිසිස් සංවිධානයට එක්වී ඇති බවට අනතුරු අඟවද්දී ශ‍්‍රී ලංකාවේ රජය හමුදා කණ්ඩායමක් යැව්වේ ටුට්සි සහ හුටු ගෝත‍්‍රික ජනතාව අතර ගැටුම් ඇතිවූ රුවන්ඩාවටය. රුවන්ඩාවෙන් අපේ හමුදාවට ලබාගැනීමට ඇති උපදෙස් කුමක්ද?
එය විහිළුවක් නොවේද? මෙවන් පසුබිමක් මැද සවුදි අරාබියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ජාවුඞ් යුසුප් නමැත්තා විස්මයජනක ප‍්‍රකාශයක් කරනු ලැබීය.
2019 අපේ‍්‍රල් 21 දා වනතුරු ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව තව්හිද් ජමාත් සංවිධානය ගැන අසා තිබුණේ නැත.
එසේම මෙදින සිදුවූයේ අයිසිස් මෙහෙයුමක්ද යන්න සුපරීක්‍ෂාකාරී ලෙස විමර්ශනය කළ යුතුයි. මේ හැර වසර පහක් තිස්සේ අසන්නට නොලැබුණු අයිසිස් නායක අබුබකර් අල්බැග්ඩැඞ් එකවරම ප‍්‍රහාරයේ වගකීම භාරගැනීම සිදුවූයේ කෙසේද යන්නත් ප‍්‍රශ්නයක් බව යුසුප් නමැත්තා කියා සිටියේය.
අයිසිස් ත‍්‍රස්ත සංවිධානය මෙම බිහිසුණු ප‍්‍රහාර එල්ල නොකළේ නම් මේ මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කළේ ඊශ‍්‍රායලයේ මොසාඞ් සංවිධානය යැයි ජාවුඞ් යුසුප් සිතන්නේද?
එසේම ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව තව්හිද් ජමාත් ගැන අසා නොතිබුණේ යැයි කළ ප‍්‍රකාශය විශ්වාස කළ හැකිද? ජවාඞ් යුසුප් මේ විහිළු කරන්නේ රටේ ආරක්‍ෂාව සමගය. එසේම 2017 නොවැම්බර් 06 දා උතුරේ මුස්ලිම් නාගරික මන්ත‍්‍රීවරයකු වූ අයුබ් අස්වින් නමැත්තා මෙලෙස ප‍්‍රකාශ කර තිබුණි.
කොටි සංවිධානයේ අරගලය පිළිගෙන මුස්ලිම් ජාතිකයන් 122 ක් දිවිපිදුවා යයි යාපනයේ පිල්ලයිපාර් හෝටලයේ පැවැති රැස්වීමක් අමතමින් ඔහු මේ බව ප‍්‍රකාශ කර තිබුණි.
අයුබ් අස්වින් මේ බව හෙළිකරන තුරු ශ‍්‍රී ලංකාවේ බලධාරීන්ට මේ ගැන වාර්තා වී නොතිබුණි.
මේ තත්ත්වය මත ඊශ‍්‍රායලයේ මොසාඞ් බුද්ධි සේවාව මෙරට මුස්ලිම් දේශපාලකයන්ට වහකදුරු වීම නිසා ශ‍්‍රී ලංකාවේ බුද්ධි සේවා වන්ද බරපතල ප‍්‍රශ්නයකට මුහුණ පා තිබුණි.
හිටපු ජනපති සමයේ මුස්ලිම් දේශපාලකයන්ගේ දැඩි ඉල්ලීම් නිසා මොසාඞ් කොමිසම පිහිටුවීමට සිදු විය. මේ මුස්ලිම් දේශපාලකයන් පැවසුවේ කොටින්ට පුහුණුවීම් ලබාදුන්නේ මොසාඞ් සංවිධානය බවයි.
එහෙත් මොසාඞ් කොමිසම හමුවේ සාක්කි දුන් ආරක්‍ෂක ප‍්‍රධානීන් මෙන්ම එවකට බුද්ධි ප‍්‍රධානියාවූ සර්නි විජේසූරිය පැවසුවේ එම චෝදනා මුළුමනින්ම සාවද්‍ය බවයි.
පලස්තීන නායක යසර් අරපත් ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ කොළඹ ටාජ් හෝටලයේදී ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලැබීය. එහිදී දිවයින වෙනුවෙන් සහභාගිවූ මා පලස්තීන සටන්කරුවන් කොටි ක්‍රියාකාරීන් පුහුණුකර තිබේද යන්න ගැන අරපත්ගෙන් විමසුවේය.
ඊට ප‍්‍රතිචාර නොදැක්වූ යසර් අරපත් තේ පානය සඳහා වූ කාලසීමේදී මාවෙත පැමිණි කොටි පුහුණුකළේ පලස්තීන විමුක්ති සංවිධානය නොවෙයි. ජෝර්ජ් ගබාෂ්ගේ පලස්තීන ජනතා විමුක්ති පෙරමුණේ යයි හෙළිකළේය.
එසේම මොසාඞ් සංවිධානය කොටි පුහුණුකළ බව ඔහු සඳහන් කළේ නැත. එසේම කොටින්ට එරෙහිව යුද කිරීම සඳහා ඊශ‍්‍රායලයෙන් ආධාර ලබාගැනීමට හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන තීරණය කළ අවස්ථාවේ මුස්ලිම් දේශපාලකයන් ඊට එරෙහි විය.
එහෙත් ජේ. ආර්. ජයවර්ධන මුස්ලිම් දේශපාලකයන්ට හිස නැමුවේ නැත. යකාගෙන් බැරි නම් යකාගේ ආච්චිගෙන් හෝ ආධාර ලබාගන්නා බව පැවසූ ජේ. ආර්. ජයවර්ධන ඊශ‍්‍රායලයේ සහාය පැතීය.
එදා ජේ. ආර්. ජයවර්ධන රජය ඊශ‍්‍රායලයේ සහායෙන් කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමට සහාය ලබාගනු ලැබුවත් පසුව පැමිණි ආර්. පේ‍්‍රමදාස රජය මුස්ලිම් දේශපාලකයන්ට හිස නැමීය. මුස්ලිම් දේශපාලකයන්ගේ දැඩි බලපෑම නිසා කොළඹ පිහිටි ඊශ‍්‍රායල් කොන්සල් කාර්යාලයද වසා දැමීය.
ප්‍රේමදාසගෙන් පසුව පැමිණි ආණ්ඩුවලට මුස්ලිම් විරෝධතා හමුවේ ඊශ‍්‍රායල් නිෂ්පාදිත කෆීර් ප‍්‍රහාරක යානාද, ඩොව්රා ප‍්‍රහාරක යාත‍්‍රා සහ සර්චර් ඩ්‍රෝන් යානා සහ ගබ්රියෙල් මිසයිලද සාර් වර්ගයේ යුද නැව්ද ලබාගැනීමට හැකිවිය.
මේ අතර ශ‍්‍රී ලංකාව පසුගිය රජය යටතේ ඊශ‍්‍රායලයේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස හිටපු ගුවන් හමුදාපතිවරයකු පත්කළ අතරද ඔහු ඊශ‍්‍රායලයට පක්‍ෂව සිදුකළ ප‍්‍රකාශයක් ගැනද මුස්ලිම් දේශපාලකයන්ගේ විරෝධතා මතුවිය.
මේ අතීත සිද්ධීන් බොහෝ පාර්ශ්වලට අමතකය. එසේම ශ‍්‍රී ලංකාව රජයට කොටින්ගෙන් පසු අලූත් සතුරකු ඒකරාශිවන බව අවබෝධ වූයේ නැත.
2013 වසරේ ඊශ‍්‍රායල් මොසාඞ් බුද්ධි සේවාව ශ‍්‍රී ලංකාවේ අබිරහස් අයිසිස් කි‍්‍රයාකාරීන් ගැන මෙරට හමුදා බුද්ධි සේවාවට අනතුරු අඟවද්දී මුස්ලිම් ඡන්ද බලාගෙන රජය අහක බැලූවේය.
2016 වසරේ බංගලාදේශයේ ඩැකා නුවර හෝලේ ඇමිසන් බේකරියට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවිය.
එහිදී 29 ක් මරුමුවට පත්වූහ. මේ ප‍්‍රහාරය එල්ල කර තිබුණේ බංගලාදේශයේ උගත් පවුල්වල පිරිසකි. ඩැකා නුවර ප‍්‍රහාරකයන් මෙන්ම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රහාරකයන්ද විදේශිකයන්වද ඉලක්ක කර තිබුණි. ඒ නිසා මේ ප‍්‍රහාර දෙකේම සමාන ලක්‍ෂණ ඇත.
මේ පසුබිම මැද ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ අයිසිස් කි‍්‍රයාකාරිකයෙක් තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන්ගේ නම හෙළිකර තිබුණි.
මේ බව ඉන්දීය බුද්ධි සේවාව මෙරටට අනතුරු අඟවනු ලැබුවත් භාවනාවේ යෙදෙන සහ සිංදු කියන හිටපු පොලිස්පති ඒ ගැන තැකීමක් කළේ නැත.
මේ ගැන ඉන්දීය මාධ්‍ය පැවසුවේ ඉන්දියාව කළ අනතුරු ඇඟවීම ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අර්බුදයකට ලක්කිරීමට ඉන්දියාව ගත් උත්සාහයක් බවට බලධාරීන් සිතූ නිසා එම අනතුරු ඇඟවීම ශ‍්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ බවයි.
මේ අතර හාමාස් හෝ හිස්බුල්ලා ත‍්‍රස්තවාදීන්ගෙන් සිවිල් ජනතාවට ප‍්‍රහාර එල්ල වන බවට ඊශ‍්‍රායලයේ හිටපු අගමැති එහුද් බරක් වෙත තොරතුරු ලැබුණ විට ඊශ‍්‍රායල් අගමැතිවරයා ක්‍ෂණයකින් කි‍්‍රයාකරනු ලැබීය. ඔහුද වරක් වහාම ඉලක්කයට වෙඩි තැබිය හැකි ඊශ‍්‍රායල් භටයන් පිරිසක් යවා උමඟකින් මතුවූ මරාගෙන මැරෙන හමාස් බෝම්බකරුවන් කණ්ඩායම මරාදැමුවේය. මේ මෙහෙයුම ඊශ‍්‍රායල් කැබිනට් මණ්ඩලය දැනගත්තේද සතුරන් විනාශ වී පැය 10 කට පසුවය.
එහෙත් ශ‍්‍රී ලංකාවේ මෙවන් මෙහෙයුමක් දියත් කළ හැකිද? අල්ලාගත් ත‍්‍රස්තයන් පිරිසක් මුදාහරින ලෙස මුස්ලිම් ඇමැතිවරයෙක් තමාට පැවසූ බව හමුදාපති මහේෂ් සේනානායක මෑතකදී ප‍්‍රකාශ කර තිබුණි.
ඉන් මුස්ලිම් දේශපාලකයන් කොතරම් බලවත්දැයි සනාථ නොවන්නේද?
මේ අතර අයිිසිස් ත‍්‍රස්ත සංවිධානයට ශ‍්‍රී ලාංකික මුස්ලිම් කි‍්‍රයාකාරීන් 32 ක් සම්බන්ධ වී ඇති බවට මෙරට බුද්ධි අංශවලට ලැබී තිබුණ වාර්තා 2016 නොවැම්බර් මසදී රජය මුළුමනින්ම වසන් කරනු ලැබීය.
‘‘එවැනි දේශපාලනයක මුස්ලිම්වරු නිරත වී නැත. ඔවුන් අරාබි භාෂාව උගන්වනවා අයිසිස් සංවිධානයට කිසිදු ශ‍්‍රී ලාංකිකයෙක් සම්බන්ධ නැහැ. කිසිවෙක් විදේශ රටක සිට දේශන පැවැත්වීමට මෙරටට පැමිණ නැහැ. විදේශ රටවල සිට මෙරටට පැමිණෙන සියලූම මුස්ලිම් ජාතිකයන් ජාතික බුද්ධි කාර්යාංශය නිරීක්‍ෂණය කරනවා. එසේම ශ‍්‍රී ලංකාවේ සිට කිසිදු මුස්ලිම් තරුණයෙක් අයිසිස් සංවිධානයට සෘජුව සම්බන්ධ වී නැහැ යැයි.. අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේය.
මුස්ලිම් ජාතිකයන් අයිසිස් සංවිධානයට සම්බන්ධ බවට හිටපු අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ කර ඇති ප‍්‍රකාශය ගැන මුස්ලිම් සංවිධාන 30 ක් සාකච්ඡාවක් ඉල්ලා ඇතැයිද හෙතෙම තවදුරටත් පවසා තිබුණි.
මෙලෙස මුස්ලිම්වරු අයිසිස් සංවිධානයට සම්බන්ධ බවට හිටපු අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ කළ ප‍්‍රකාශය බොරුවක් කිරීමට උත්සාහ කළ මුස්ලිම් සංවිධාන අද ගලේ පැහැරූ බළලූන් ලෙස සිටිති.
මෙම පසුබිම මැද කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණෙන විදේශ මුස්ලිම් ජාතිකයන් කිසිවෙකු පරීක්‍ෂාවට ලක්නොකෙරෙන බව අපි සියැසින් දුටුවෙමු.
පසුගිය මාර්තු මස ජිනීවා ගොස් අපි කටුනායකට පැමිණෙන විට බුර්කා ඇඳගත් කාන්තාවක් හා පිරිමියෙක්ද අපට ඉදිරියෙන් සිටියේය. වීසා බලපත‍්‍ර ලබාගැනීම සඳහා ඔවුහු ආගමන කාර්යාලය වෙත ගිය අවස්ථාවේ ශ‍්‍රී ලංකාවේ ලිපිනයක් ලබාදෙන ලෙස ආගමන නිලධාරීන් පවසා ඇත. මේ අවස්ථාවේ බුර්කාව පැළඳ සිටි කාන්තාව තම ගමන් මල්ලෙන් ගත් කඩදාසියක් බලා එහි ඇති ලිපිනය සැමියාට කීවාය. එය කල්මුණේ ලිපිනයකි.
මේ නිසා මෙරටට පැමිණෙන මුස්ලිම් ජාතිකයන් පරීක්‍ෂාවට ලක්වූයේ යැයි කිව හැකිද?
මෙවන් පසුබිමක් මැද ලෙබනනයේ අල්අහද් වෙබ් අඩවිය සවුදි රජයට බරපතල චෝදනාවක් එල්ල කරමින් පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ලවීමට දින හතරකට පෙර සවුදි විදේශ ඇමැතිවරයා ශ‍්‍රී ලංකාවේ සවුදි තානාපතිට රහස් පණිවුඩයක් එවමින් දේවස්ථාන සහ ප‍්‍රසිද්ධ ස්ථාන වලින් ඉවත්වන ලෙසත් තානාපති කාර්යාලයේ පරිගණක යන්ත‍්‍රවල ඇති කණ්ඩායම්වල තොරතුරු මකාදමන ලෙසත් නියෝග කර ඇතැයි කියා සිටියේය.
එහෙත් මේ රහස් පණිවුඩය සාවද්‍ය බව සවුදි රජය පසුව ප‍්‍රකාශ කරනු ලැබීය.
ලෙබනන් වෙබ් අඩවිය මෙම රහස් පණිවුඩය අනාවරණය කිරීමට පෙර ඊශ‍්‍රායලයේ වයිට්ස්ටි‍්‍රම් නමැති බුද්ධි තොරතුරු සමාගම පැවසුවේ නිව්මන් දූපත් වල ඇති සමාගමකින් ඩොලර් මිලියන 4.5 ක මුදලක් පාස්කු ප‍්‍රහාරයෙන් පසු ආපසු ගැනීමට අයිසිස් සංවිධානය කි‍්‍රයාකර ඇති බවයි.
මෙවන් තත්ත්වයක් මැද කාත්තන්කුඩි ප‍්‍රදේශයේ අයිසිස් පුහුණු කඳවුරක් සොයාගැනීමට හමුදාවට හැකිවිය. මෙම කඳවුරේ අට්ටාල කීපයකින් යුත් නිරීක්‍ෂණ මධ්‍යස්ථානයක්ද විය. අක්කර 15 කින් යුත් ගොවිපලක මුවාවෙන් මේ පුහුණු කඳවුර පවත්වාගෙන ගොස් තිබුණි.
මෙයට කලකට පෙර සවුදි අරාබියාවේ රියාද් තදාසන්න ප‍්‍රදේශයේ ගොවිපලක පවත්වාගෙන ගිය අයිසිස් කඳවුරේද මෙයට සමාන නිරීක්‍ෂණ මධ්‍යස්ථානයක් විය. මේ නිසා මෙරට අයිසිස් නායකයා වූ සහරාන් හෂීම් කි‍්‍රයාකර ඇත්තේ විදේශගත අයිසිස් මෙහෙයුම් මත බව තහවුරු වේ.
එසේ වුවත් අයිසිස් ප‍්‍රහාර ගැන රජයේ බලධාරීන් නිසි අවධානය යොමුකර නොතිබුණි.
එය සනාථ වන්නේ 2019 ජනවාරි 17 දා ඇමරිකානු ජාතික බුද්ධි සේවා අධ්‍යක්‍ෂ ඩැනියෙල් කෝට්ස්ගේ විමර්ශන වාර්තාව කෙරේද අවධානය යොමු නොවීමෙනි.
ඔහු සිය වාර්තාවේ දක්වා තිබුණේ ආසියාවේ සහ අපි‍්‍රකාවේ ජිහාද් කණ්ඩායම් සිය කි‍්‍රයාකාරකම් ව්‍යාප්ත කර ඇති බවයි.
එසේම රජය විදේශ රටවල සිටින ශ‍්‍රී ලාංකික මුස්ලිම් අන්තවාදීන් ගැන විමර්ශනය නොකරන බවට හොඳම සාධකය ජිනීවා මානව හිමිකම් සමුළුවේදී අපට දැකගත හැකිවිය.
ප‍්‍රංශයේ සිට මානව හිමිකම් සමුළුවට පැමිණි ශ‍්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් තිදෙනකුගෙන් එක් අයෙක් ශ‍්‍රී ලංකාවේ රජයට බරපතල චෝදනාවක් එල්ල කරමින් දිගන ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලි ගණනාවක් විනාශ කර මුස්ලිම් ජාතිකයන් රැසක් මරාදමා ඇති බව කියා සිටියේය. මේ බරපතල චෝදනාවට ජිනීවාහි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය කිසිදු ප‍්‍රතිචාරයක් දැක්වූයේ නැත.
මෙම චෝදනාවෙන් එම මුස්ලිම් කි‍්‍රයාකාරිකයා උත්සාහ කළේ ගිනි ඇවිලවීමක් සිදුකිරීමට නොවේද?
මේ අතර අයිසිස් සඟරාවේ පළවූ ගලේවෙල මුෂින් මොහමඞ් නමැති අයිසිස් ත‍්‍රස්තයා පිළිබඳ ඡායාරූපයෙන් පසු අයිසිස් සංවිධානයට පවුල් 32 ක් එකතුවී ඇති බවට වාර්තා වුවත් රජය ඒ පවුල් ගැන විමර්ශනයක් කර නැත.
වනාතවිල්ලූව අයිසිස් ගොවිපල ගැන විමර්ශන යටපත්වූ අයුරින්ද මුස්ලිම් පවුල් 32 ගැන සොයා බැලීමක් සිදුවී නැත.
එසේම රටවල් කීපයක දෙව්මැඳුරුවලට එල්ලවූ අයිසිස් ප‍්‍රහාර ගැනද මෙරට බලධාරීන්ගේ අවධානය යොමුවී නොතිබුණි.
2017 අපේ‍්‍රල් මස ඊජිප්තුවේ ටන්ටා සහ ඇලෙක්සන්ද්‍රා නගරවල දෙව්මැඳුරු දෙකකට මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙක් එල්ල කළ ප‍්‍රහාරවලින් 45 කට අධික පිරිසක් මරුමුවට පත්වූහ.
2018 මැයි මස අයිසිස් පවුලකට සම්බන්ධ තිදෙනෙක් ඉන්දුනීසියාවේ සුරබයා නගරයේ දෙව්මැඳුරු තුනකට ප‍්‍රහාර එල්ලවීමෙන් 13 ක් මියගියහ.
මේ අතර බංගලාදේශයේ ඩැකා නුවරට එල්ලවූ අයිසිස් ප‍්‍රහාරයේ සහ පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ සමානකම් හෙළිවිය.
ඩැකා නුවර ප‍්‍රහාරය එල්ල කළේ ජුමාතුල් මුජෙයිදින් බංගලදේශ් නැමැති සංවිධානයයි.
එම ප‍්‍රහාරය එල්ල කළ පස්දෙනා ධනවත් පවුල්වල අය බවත් උසස් පාසල්වල අධ්‍යාපනය ලැබූවන් බවත් හෙළිවිය.
මේ පසුබිම මැද ඕල්සිලෝන් ජමිතුල්ලා ළලමා සංවිධානය 2015 දී මෙරට අන්තවාදීන් පිළිබඳ සියලූ තොරතුරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් බව පැවසුවත් එය සාවද්‍ය බව හෙළිවිය.
මෙලෙස පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ලවීමේ සිද්ධිය තවදුරටත් මෙරට දෝංකාර දෙද්දී ඉස්ලාමීය අන්තවාදීන්ට අරමුදල් සපයන්නේ කටාර් සහ සවුදි අරාබියාව බව අනාවරණය විය.
ඒ බව තහවුරු වූයේ කාත්තන්කුඩිහි 58 වැනි මුස්ලිම් පල්ලිය විවෘත කිරීමට මෙරටට පැමිණියේ සවුදි රජකුමරෙක් වීමෙනි.
මේ අතර අයිසිස් ත‍්‍රස්ත සංවිධානය සතුව බලගතු සන්නිවේදන ජාලයක් කි‍්‍රයාත්මක වන බව ඊශ‍්‍රායලයේ මොසෑග් බුද්ධි සේවාව සොයාගෙන තිබිණි.
මේ සන්නිවේදන ජාලය ඔස්සේ විකාශනය වන රහස් වචන වලින් යුත් පණිවුඩ අසුකර ගැනීමේ උපාංගද ඊශ‍්‍රායල් බුද්ධි සේවාව සතු වේ. එහෙත් ශ‍්‍රී ලංකාවේ බුද්ධි සේවාවන්ට මේ රහස් වචන මාලා (Encrypted) වචන මාලා හසුකර ගැනීමේ උපකරණ නොමැත. එසේම මෙටර ජංගම දුරකථන ජාලයේ ප‍්‍රබලයන් වන්නේද මුස්ලිම් ව්‍යාපාරිකයන්ය.
ඔවුන්ට ඕනෑම සන්නිවේදන උපාංගයක් මෙන්ම අධිතාක්‍ෂණික පණිවුඩ උපකරණ මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාවක් ඇත. ඒ බව තහවුරු වන්නේ මීගමුවේදී සිම් කාඞ් 8 ක් දැමිය හැකි අධිතාක්‍ෂණික උපාංගයක් හමුවීමයි. එවන් උපාංගයක් හමුදා බුද්ධි සේවාවටද නැත. මේ උපාංගය හමුවූයේද පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් පසු කරන ලද සෝදිසි මෙහෙයුමකදීය.
මින් ශ‍්‍රී ලංකාවේ රජය කුමක් කළේද යන්න ජනතාවට බරපතල ප‍්‍රශ්නයක් වී ඇත.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!