Gossip

ඩිෆෙන්ඩර් එක පදවා තිබුණේ එස්එස්පී කෙනෙක්ගේ පුතෙක්. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ පුතෙකුත් ඒ රථයේ ඉඳලා තිබුණා – නයිට් ක්ලබ් ගිය මදාවි පුත්තු ට‍්‍රැෆික් ඕඅයිසී මරාදාපු හැටි

පොලිස් පරීක්‍ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මිය ගියේය. ඒ හෘදයාබාධයකින් හෝ කාලයක් තිස්සේ තිබූ රෝගී තත්ත්වයක අවසාන ප‍්‍රතිඵලය වශයෙන් නොවේ. වෙරි මතින් ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි නිශාචරයන් පිරිසක් විසින් යතුරුපැදියේ ගමන් කරමින් සිටි ඕඅයිසී මහතා යට කරගෙන යාමෙන් සිදු වූ තුවාල නිසාය.

පසුගිය මස 24 වැනිදා හිමිදිරියේ බම්බලපිටිය ඩුබ්ලිකේෂන් පාරේ බුලර්ස් පටුමෙඟ්දී සිදු වූ ඒ අනතුරින් බරපතල තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයට පත් වූ පොලිස් පරීක්‍ෂකවරයා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 09 වැනිදා රාත‍්‍රියේ මිය ගියේය. පොළොන්නරුවේ සිට කොළඹට පැමිණ කුලියට ජීවත් වූ ඒ පොලිස් පරීක්‍ෂකවරයාගේ දේහය තැබීමට ද ස්ථිර නිවසක් නොමැති විය. අවසානයේ බොරැල්ල මල් ශාලාවක තැන්පත් කර තිබූ ආනන්ද මහතාගේ දේහය පසුගිය සඳුදා මළහිරු බැස යන සැන්දෑවේදී භූමදාන කටයුතු සිදු කරනු ලැබිණි.

ආනන්ද මහතා පොළව යට සැතපීමත් සමඟ දුක් සුසුම් මැද හිත මිතුරු ඥාතීහු විසිර ගියහ. එහෙත් කශේරුකාව බිඳී ගිය දරු පවුල කුලී ගෙදර තනි විය. පසුගිය දිනක අප එම නිවසට යන විට ඕඅයිසී ආනන්ද මහතාගේ බිරිඳ අනෝමා සහ දරු තිදෙනා එහි සිටීයහ. අනෝමා සහ දරු තිදෙනා අප ඉදිරියෙන් හිඳගෙන තම පවුලට වූ ඛේදවාචකය ගැන කතා කරන්නට සූදානම් වුවද අනෝමාට වචන පැටලිණි. කඳුළු පිරුණු දෙනෙත් වීදුරු බෝල දෙකක් මෙන් දිලිසෙන්නට විය. අප අතර නිහඬතාව රජයන්නට විය. ඒ ඇසිල්ලට මගේ දෙනෙත් නිවස පුරා දිව ගියේය. පුංචි නිවසකි. කරදඬු උස්මහත් වූ දරුවන් තිදෙනකු සමඟ ජීවත්වීමට ඒ නිවස ප‍්‍රමාණවත් නැති තරම්ය. එහෙත් ඒ පුංචි කැදැල්ල සතුටින් පිරී තිබූ බව අනෝමා අපට කීවාය.

‘‘අපේ ගම පොළොන්නරුව හිඟුරක්ගොඩ. මහත්තයා කොළඹට එන්න තීරණය කළේ ලොකු පුතාට බැංකුවේ රස්සාව ලැබුණට පස්සෙ. පුතාලා දෙන්නම හොඳට ඉගෙනගෙන දැන් හොඳ රස්සා කරනවා. දුව තාම ඉගෙනගන්නවා. ඕලෙවල් කරලා ප‍්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මහත්තයා දුව ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියේ. ඒත් ඕලෙවල් ප‍්‍රතිඵල එන්නත් කලියෙන් තාත්තා අපිව දාලා ගියා…’’ තරුණ දරු තිදෙනා මැදිකොටගෙන අප ඉදිරියේ වාඩි වී සිටි අනෝමා අසලම හිඳගෙන සිටි දියණිය තුරුලූ කර ගත්තාය. ඇය සචිනිය. වයස අවුරුදු දහසයකි. සරත්චන්ද්‍රගේ ලොකු පුතා අශාන්ය. වයස අවුරුදු විසිහයකි. දෙවැනි පුතා ටේරාන්ය වයස අවුරුදු විස්සකි. තම දරුවන් යහපත් පුරවැසියන් බවට පත් කිරීමට වෙහෙසුණු සරත්චන්ද්‍ර මහතා මිය යන විට අවුරුදු පනස් දෙකට ආසන්නය. ඔහුගේ ජීවිතයෙන් අඩකටත් වැඩි කාලයක් කැපවී ඇත්තේ පොලිස් නිලධාරියකු ලෙස රටේ මාර්ග ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමටය. 1988 අවුරුද්දේ පොලිසියේ සේවයට එකතු වූ ඔහු වැඩි කාලයක් සේවය කර ඇත්තේ දුෂ්කර ප‍්‍රදේශවල බව අනෝමා අපට කීවාය.

‘දැන් අපි කොළඹ පදිංචියට ඇවිත් අවුරුදු දහයකට වැඩියි. මුලින්ම හිටියේ දෙහිවල ගෙදරක. දරුවො ලොකු වෙනකොට ඒ ගෙදර ඉඩ කඩ මදි නිසා තමයි මේ ගෙදරට ආවේ. මේ ගෙදරට ඇවිත් අවුරුදු හතරක් විතර ඇති. ඒත් මහත්තයා අපිත් එක්ක හිටියේ බොහෝම අඩුවෙන්. වැඩිපුර රාජකාරි කළේ දුර පළාත්වල. ඒත් මහත්තයා කොහේ පොලිසියේ හිටියත් සේවය අකුරටම කළා. ඒ වගේම පොලිස් රථ වාහන නීති රීති ගැන ඉහළටම ඉගෙනගත්තා. දේශකයෙක් විදිහට පොලිස් රථ වාහන අංශ වැඩමුළුවලටත් සහභාගි වුණා. කොළඹ සිටි ට‍්‍රැෆික් අංශයේ අවුරුදු ගාණක් සේවය කරලා තමයි බොරැල්ල පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිවරයා විදිහට වැඩ භාරගත්තේ. තවම මාස පහක් නෑ. ඒ කාලය තුළ වෙනදාටත් වඩා රාජකාරි බහුල වුණා. ගෙදර එන්නෙ රෑ දෙගොඩ යාමේ. ආයෙත් උදේ පාන්දරින්ම ගෙදරින් යනවා. ඒ යන හැමදාකම මට කියලා යන්නෙ. ඒත් එදා ගෙදරින් යනකොට මට කියලවත් ගියේ නෑ. මහත්තයා ගෙදරින් පිටවෙනකොට මම හිටියේ කාමරේ ඇඳේ හාන්සි වෙලා. දොර වාහන ශබ්දයත් මට ඇහුණා. එතකොට වේලාව පාන්දර 2.30 යි. විශේෂ ඩියුටියක් තියෙනවා කියලා තමයි පාන්දරින්ම ගියේ…’’ කඳුළු පිස දා ගත් අනෝමා සෙමෙන් වචන මුමුණන්නීය.

‘‘මාසෙකට විතර පස්සෙ එදා උදේ තමයි තාත්තා එක්ක හරියට වචනයක් කතා කරන්න පුළුවන් වුණේ. උදේ පාන්දරම අයියත් නැඟිටලා ඇවිත් අපි තුන්දෙනා එක්ක ගොඩක් වෙලා කතා කර, කර හිටියා. අපිට එහෙම දවසක් උදාවෙන්නෙ කලාතුරකින්. අපි ගෙදර එනකොට තාත්තා නෑ. තාත්තා ගෙදර එනකොට අපි නිදි. උදේ අපි නැඟිටිනකොට තාත්තා වැඩට ගිහින්. අපේ තාත්තා ගත කළේ හරිම කාර්යබහුල ජීවිතයක්. ගෙදර වැඩවලට වඩා එක දුන්නෙ රාජකාරියට. එදා උදෙත් බොරැල්ල පොලිසියට ගිහින් නිල ඇඳුම් ඇඳගෙන ට‍්‍රැෆික් බයික් එකෙන් රාජකාරියට යනකොට තමයි ඔය අනතුර වෙලා තියෙන්නෙ…’’ ටේරාන්ගේ හඬ හීන් විය. දෙනෙත් බිත්තියේ එල්ලෙන පියාගේ ජායාරූපය දෙසට ඉස්සිණි. ඕඅයිසී සරත්චන්ද්‍ර පොලිස් නිල ඇඳුමින් සැරසී සිටින ඡායාරූපය අසළ අප කාගෙත් දෙනෙත් නතර විය.

‘‘මෑතක ගත්ත පින්තූරයක්. අවුරුදු පනස් දෙකක් කියන්නවත් බෑ. අවුරුදු දහයකට ඉස්සර වෙලා හදවත් සැත්කමකුත් කරලා ඉන්නෙ. ඒ ශල්‍යකර්මයත් හොඳින් කෙරුණා. ඊට පස්සෙ කිසිම ලෙඩක් තිබුණේ නෑ. හොඳ ශරීර සෞඛ්‍යයෙන් ජීවත් වුණා… අනෝමාගේ හඬ ඇසෙන නොඇසෙන තරම්ය. එහෙත් ඇය දුක පිට කරන්නට හිතට එන හැම දේම කියන්නීය. මවගේ කතාවට ඇයගේ ලොකු පුතා ද එකතු විය.

‘‘එදා තාත්තා ගෙදරින් ගියේ විශේෂ රාජකාරියකට. බම්බලපිටිය ප‍්‍රදේශයේ තිබුණු ‘අයන් මෑන්’ කියන ඉවෙන්ට් එකට. ඒ යනකොට තමයි අනතුර වෙලා තිබුණේ. තාත්තාව යට කරගෙන ගිහින් තිබුණේ වේගයෙන් ආපු ඩිෆෙන්ඩර් රථයක්. ඒ ඩිෆෙන්ඩර් එකේ පස්දෙනෙක් ඉඳලා තිබුණා. ඒ අයගේ තවත් වාහනයක් පස්සෙනුත් ඇවිත් තිබුණා. වාහන දෙකේම අටදෙනෙක් ඉඳලා තිබුණා. පිරිමි ළමයි හත්දෙනයි. එක ගෑනු ළමයයි. ඩිෆෙන්ඩර් එක පදවගෙන ඇවිත් තිබුණේ එස්එස්පී කෙනෙක්ගේ පුතෙක්. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ පුතෙකුත් ඒ ඩිෆෙන්ඩර් රථයේ ඉඳලා තිබුණා. ඒ සේරම නයිට් ක්ලබ් ගිහින් හොඳටම බීලා ඇවිත් තිබුණේ…’’

‘‘වාහන දෙක පුදුම වේගයකින් ඇවිත් තියෙන්නෙ. සිග්නල් කණුවේ රතු ලයිට් වැටිලා තියෙන එකත් ගණන් ගන්නෙ නැතිව තමයි වාහන පදවලා තියෙන්නෙ. ඩිෆෙන්ඩර් එක එන වේගයට තාත්තා අතින් බයික් එක නතර වෙලා. ඒ මොහොතේම තමයි ඩිෆෙන්ඩර් එක තාත්තාව යට කරගෙන ඉදිරියට ගිහින් තියෙන්නෙ. අනතුර වෙන ආකාරය, වාහන දෙක නයිට් ක්ලබ් එකේ ඉඳලා පිටවෙන ආකාරය සේරම සීසීටීවී කැමරාවල පටිගත වෙලා තියෙනවා. ඒ වාහන දෙක කොල්ලූපිටියේ ඉඳලා බම්බලපිටියේ අනතුර වෙන ස්ථානයට කිලෝ මීටර් හතක් විනාඩි දෙකක් තුළ ඇවිත් තියෙනවා. කිසිම කලර් ලයිට් එකක නතර කරලා නෑ. තාත්තාව යට කරගෙන ඉදිරියට යනකොටවත් වාහන දෙක නතර කරලා නෑ. තවත් වේගයෙන් ඉදිරියට ගිහින්. මෙච්චර වේගයෙන් එන වාහන දෙක නතර කරන්න පොලිස් නිලධාරියෙක් පාරෙ නොහිටපු එකත් අපිට පුදුමයක්. ඒ හැමදේම වෙලා තියෙන්නෙ අපේ තාත්තාගේ අවාසනාවට…’’

‘‘සීසීටීවී දර්ශනවල පේන විදිහට තාත්තාගේ කිසිම වැරැද්දක් නෑ. පොලිසියත් ඒක තේරුම්ගෙන අනතුර වෙච්ච වෙලාවේ ඉඳලා හොඳ විමසිල්ලෙන් පරීක්‍ෂණ කරගෙන ගියා. ඒත් ඩිෆෙන්ඩරයේ ගිය අය හැදුවේ තාත්තා පිට වරද පටවලා ෂේප් වෙන්න. ඒකට අවශ්‍ය සියල්ල සූදානම් කරමින් තිබුණා. වාහන සඟවලා, ගරාජ්වලට දාලා කෑලි ගලවන්න හදලා තියෙනවා. අංක තහඩු වෙනස් කරලා. තාත්තා මෙච්චර අසාධ්‍ය තත්ත්වයට පත් වෙලා තියෙන්නෙ බයිපාස් සැත්කමක් කරලා තියෙන නිසා කියලත් කියන්න උත්සාහ කළා. ඒත් මරණ පරීක්‍ෂණයෙන් ඔප්පු වෙලා තිබුණා බයිපාස් එකේ කිසිම බලපෑමක් නෑ කියලා. ඒ දේවල් කළේ ඒ ළමයින්ගේ දෙමවුපියන්. ඒ අයත් රටේ නීතිය දැන, දැන දරුවො බේරගන්න අනතුර වහන්න හැදුවේ. සීසීටීවී කැමරාවලට පින්සිද්ධ වෙන්න තමයි, තාත්තාගේ මරණයට සාධාරණයක් වුණේ. නැති නම් අනතුරට වැරැදිකරු තාත්තා…’’ අශාන් දිගු සුසුමක් පිට කර නිහඬ විය. තම පියාට සිදු වූ මරණීය අනතුර සම්බන්ධයෙන් සියලූ විස්තර පවසා අවසාන බව මට හැඟිණි.

අනතුරක් සිදු වූ විට ඊට ආසන්නතම පොලිස් ස්ථානයට දැනුම් දී තුවාලකරුවන් රෝහල්ගත කිරීම මානුෂීය යුතුකමකි. එහෙත් පොලිස් පරීක්‍ෂක සරත්චන්ද්‍ර මහතා යට කරගෙන ගිය මන්ත‍්‍රී පුතාට සහ වාහනය පදවාගෙන ගිය එස්එස්පී පුතාටවත් ඒ යුතුකම මතක් වී නැත. අඩුම තරමින් ඔවුන්ගේ වාහනයට යට වූයේ සතෙක්ද… මිනිහෙක්ද… කියාවත් විපරම් කර බලා නැත. විදිලි වේගයෙන්ම ඔවුන් ඉදිරියටම ගමන් කර ඇත. ඩිෆෙන්ඩර් රථයේ වැදී ඉදිරියට විසි වූ පොලිස් පරීක්‍ෂක සරත්චන්ද්‍ර මහතාගේ දකුණු පාදය සහ ඒ අංශයම ඩිෆෙන්ඩර් රථයේ රෝදයකට යට වී චප්ප වී, හිසටත් බරපතල තුවාල සිදු වී ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී, අනතුර සිදු කළ බීමත් පුතුන්ගේ උගත්, බුද්ධිමත් පියවරු හරි අපූරුවට දඩමස් ගොරකා බවට පත් කිරීමට සියල්ල සූදානම් කර තිබිණි. තාක්‍ෂණයේ පිහිටෙන් ගොරකා සහ දඩමස් වෙන, වෙනම හඳුනාගැනීමට පොලිසියට හැකි විය.

රෑ තිස්සේ රාත‍්‍රි සමාජශාලා ගානෙ ආතල් සොයා යන මදාවි දේශපාලන පුත්තු සහ පොලිස් ලොක්කන්ගේ පුත්තු විසින් මහ මඟ ගමන් කරමින් සිටි මිනිස්සු යට කර මරා දැමූ පළමු අවස්ථාව මේ නොවේ. පහුගිය කාලය පුරාවට මෙවැනි කාලකණ්ණි සිද්ධි ඕනෑතරම් වාර්තා විය. රාත‍්‍රි සමාජශාලාවල මරා ගත්තු ඇතැම් නොසණ්ඩාල දේශපාලන පුත්තුන්ට අධිකරණය විසින් රාත‍්‍රී සමාජශාලා තහනම් කලාපයන් බවට පත් කර ඇති බව ද රහසක් නොවේ. අපට තියෙන ගැටලූව වෙරි මතින් සමාජශාලා අස්සේ රිංගන තම දරුවන් සුමඟට ගැනීමට නොහැකි මන්ත‍්‍රීවරු රට හදන්නේ කෙසේද යන්නය. සිහි නැතිවෙන තරමට බීගෙන බාල් නටන තම දරුවන්ව හදාගැනීමට නොහැකි පොලිස් ලොක්කන් යහපත් සමාජයක් නිර්මාණය කිරීමට රටේ නීතිය ක‍්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න ය. අපට දුක මෙහෙව් නැහැදිච්ච දරුවන්ගේ දෙමවුපියන්ට රටේ අනාගතය භාරදෙන ජනතාව ගැනය.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!