Gossip

චීනය කොරෝනා ලෝකයෙන් වසන් කළ හැටි ජර්මන් බුද්ධි ආයතනයක් හෙළි කරයි

චීනයේ කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර ගිය කාලසීමාවේදී  එරට  ජනාධිපති සී.ජින්පින්  විසින් කොරෝනා ආසාදනය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද කරන ලෙසත් , කොරෝනා වෛරසය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බවට ලැබී තිබු තොරතුරු ප්‍රසිද්ධ කිරීම ඉක්මනින් සිදු නොකරන ලෙසටත්  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ටෙඩ්රෝස් ඇඩ්හනම්ගෙන් පුද්ගලිකව ඉල්ලීමක් සිදු කර ඇති බවට  ජර්මනියේ පළ වන “ඩර් ස්පියගල් ” සඟරාව මෙම සති අන්තයේ පළ වූ සිය අලුත්ම කලාපයේ ආන්දෝලනාත්මක  පුවතක් පළ කර තිබේ.

එම සඟරාවට අනුව චීන ජනාධිපතිවරයා විසින් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ ඉකුත් ජනවාරි මාසයේදී වන අතර මේ හේතුවෙන්  ලොව සෙසු රටවලට කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීම ඇරඹීම සඳහා සති 4-6 අතර කාලයක් අහිමි වී ගොස් තිබේ. චීන ජනාධිපතිවරයා විසින් මතභේදාත්මක ලෙස ලොවට කොරෝනා වෛරසයට එරෙහි  සටන  ඇරඹීම   ප්‍රමාද කළ බවට තොරතුරු හෙළි කරගෙන ඇත්තේ ජර්මනියේ මධ්‍යම බුද්ධි අංශය වන “බුන්ඩෙස්නච්රිච්ටෙන්ඩියෙන්ස්ට් ” (බී එන් ඩී )ආයතනය මගිනි.

බී.එන් ඩී  ආයතනයට අනුව  ඉකුත් ජනවාරි 21 වැනිදා චීන ජනාධිපතිවරයා මෙසේ දුරකථන ඇමතුමක් හරහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්  කොරෝනා වෛරසය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බව හෙළිදරව් කිරීම ඉක්මනින් නොකරන ලෙස ඉල්ලීම් කර තිබේ.

මෙම පුවත පළ  වූ විගසම නිවේදනයක් නිකුත් කර ඇති ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ “ඩර් ස්පියගල් “සඟරාවේ පළ  වූ අදාළ පුවත කම්පනය දනවන සුළු තහවුරු නොවූ අසත්‍ය ප්‍රකාශයක් බවයි .ඉකුත් ජනවාරි මස 21 වැනිදා චීන ජනාධිපතිවරයා  හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දුරකතනයෙන් කථා නොකළ බවද එම නිවේදනයෙහි දැක්වේ.

කොරෝනා වෛරසය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බව චීනය විසින් ඉකුත් ජනවාරි 20 වැනිදා තහවුරු කරන ලද බවත්  සිය සංවිධානය ඒ අනුව  වුහාන් නගරයේ කොරෝනා වෛරසය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බව ජනවාරි 22 වැනිදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

ඒමන්ති  මාරඹේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!