Gossip

“ගෙවල් දෙකෙන්ම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඉදිරියේදී අපේ විවාහය සිදුවේවි” – දෙවැනි ඉනිමේ ලයනල් සඳුන් ප්‍රේමය ගැන හෙළි කරයි

රයන් කියන නමට වඩා මොහුව හදුනන්නේ ලයනස් සඳුන් සර් කියන නමින්.
දෙවැනි ඉනිම හරහා රසික හදවත් ආදරයෙන් වැළඳගත් මේ අපූරු චරිතය දැන් ජනප්‍රිය රංගන ශිල්පියෙක්.
ඔහුගේ අලුත්ම විස්තර ගැන සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

රයාන් බර්ගර් ජාතිකයෙක්. සිංහල සිනමාව සහ ටෙලි නාට්‍ය කලාවට එක්වන්නට ඔබ යොමුවුණේ කොහොමද .. ?
මම ඉපදුනේ හැදුනේ වැඩුනේ දෙහිවල.. ඉගෙන ගත්තේ “ශාන්ත මේරි” විදුහලින්..
ගෙදර ඉංග්‍රිසි පසුබිමක් තිබුණත් මගේ යාළුවෝ ගොඩක් අය සිංහල. අම්මා ආච්චිලා නැන්දලා හැමෝම චිත්‍රපට බලන්න ගොඩක් කැමතියි.
පුංචි කා‍ලේ ඉඳන් මට වැඩිපුරම බලන්න ලැබුණේ සිංහල චිත්‍රපට.. “මමයි රජා” “නොම්මර 17” “ජනේලය” වැනි චිත්‍රපට ඒ දවස්වල මම ගොඩක් ආශාවෙන් නැරඹූ චිත්‍රපට.
එවන් පසුබිමක් හිංදා වෙන්න ඇති මට සිංහල සිනමාව සහ ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය නුහුරු දෙයක් නොවුණේ..

ඒ කියන්නේ නළුවකු වීමේ හීනය පුංචිම කා‍ලේ ඉඳන් තිබුණා.. ?
නැහැ.. චිත්‍රපට, ටෙලි නාට්‍ය නැරඹුවාට රඟපාන්න ආශාවක් නම් තිබුණේ නැහැ…
අනික අපේ පරම්පරාවේ කිසිම කෙනෙක් කලාවට යොමුවෙලා තිබුණෙත් නැහැ.. නළුකමට එක්වීම අහඹු සිදුවීමක්.

කොහොමද ඒ අවස්ථාව උදාවුණේ.. ?
ඒ දවස්වල අපි යාළු මිත්‍රයෝ නිතර එක්වන “කොෆි ෂොප්” එකක් තිබුණා.. බුද්ධික ජයරත්නත් එතැනට එනවා.
ඒ විදියට නිතර මුණගැහෙද්දි බුද්ධිකයි මමයි අතර මිත්‍රත්වයක් ගොඩනැගුනා.
බුද්ධික එයාගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය “දේදුනු වැස්ස” සඳහා සූදානම් වුණේ ඒ කා‍ලේ තමයි.
ඒ චිත්‍රපටියේ රඟපාන්න බුද්ධික මට ආරාධනා කළා.. අපි ගමන් බිමන් යද්දි බුද්ධිකට ලැබෙන රසික ප්‍රතිචාර දකිනකොට කලාවේ වටිනාකම තවත් දැනුණා..
ඒ හිංදම මටත් හිතුනා රඟපාන්න. ඒ රංගනයත් සමග චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කීපයක්ම සඳහා ආරාධනා ලැබුණා.
ඒ විදියට දිගටම නළුකමේ රැඳෙන්න ඉබේම වගේ අවස්ථාව උදාවුණා.

බර්ගර් ජාතිකයෙකු වීම රයාන්ගේ නළු ජීවිතයට කොයි විදියටද බලපාන්නේ …. ?
මට ගොඩක් වෙලාවට ලැබිල තියෙන්නේ සුද්දන්ගේ චරිත..
ඒ වගේම ඉහල මධ්‍යම පාන්තික චරිතත් ලැබෙනවා.. බටහිර ඌරුවට නැඹුරු අයගේ චරිතත් ලැබෙනවා..
නිර්මාණවල එවැනි චරිත තියෙනකොට අනිවාර්යයෙන්ම මට ආරාධනා ලැබෙනවා.. ඒක නළුවෙක් වශයෙන් වාසියක්.
හැබැයි ඉතින් ඒ චරිත තුළම මාව කොටුවීමකුත් තියෙනවා.. එහෙම බැලුවොත් බර්ගර් ජාතිකයෙකු වීම නිසා මගේ රංගන ජීවිතයට සිදුවන්නේ අවාසියකුත්..

ඒ කොටුවීමෙන් මිදෙන්න කැමති නැද්ද .. ?
කොටුවීමෙන් මිදෙන්න කැමතියි. බටහිරට නැඹුරු චරිත රඟපෑවත් ඒ තුළ මට සතුටු විය හැකි රංගනයන් කරන්න මේ වනවිට අවස්ථාව ලැබිල තියෙනවා..
ඒ හැම දේකම රඟපාන්න ඉඩකඩ තිබුණා.. ඒ විදියට බැලුවම නම් මම නළුවෙකු විදියට තෘප්තිමත්..

ඔබට සතුටුවිය හැකි රංගනයන් ගැන කතාකළොත් .. 
විකාශයට නියමිත ටෙලි නාට්‍යයක මම රඟපෑවේ විදෙස්ගතව ඉඳලා ඇවිල්ලා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවෙලා ජීවිතේ විනාශ කරගන්න තරුණයෙකුගේ චරිතයක්..
ඒ චරිතය වෙනුවෙන් මම ආහාර රටාව පවා වෙනස් කරලා කෙට්ටු වුනා..
ඒ කැපවීම කරන කා‍ලේ සමහරු මගෙන් ඇහුවා බලාගෙන ඉද්දි මේ විදියට කෙට්ටු වෙන්නේ දියවැඩියාවද කියලා..
මම රංගනය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න කැමතියි. ඒත් අධ්‍යක්ෂක වරයෙක් චරිතයකට නළුවෙක්ව තෝරා ගන්නේ ඊට ගැලපෙනව නම් .. සරමක් ඇඳගෙන වෙළක් දිගේ යන චරිතයක් උණත් කරන්න මම ඉදිරිපත් වෙනවා..
ඒත් මාව ඒ වගේ නිර්මාණයකට ගන්න අධ්‍යක්ෂවරයෙක් කැමති වෙන්නේ නෑනේ ..
ලොකු වේශ නිරූපණයක් භාවිතා කරල ලොකු වෙනසක් තියෙන චරිතයක් කරන්න ලැබුනොත් මම ඒක සතුටින් භාරගන්නවා..

රංගනයට පිවිසිලා දශක කීපයක් ගෙවුණත් ඔබට වැඩි ජනප්‍රියත්වයක් හිමිවුනේ මේ කා‍ලේ.. ?
ඔව් .. දෙවැනි ඉණිම විකාශය වනවා.. දෙවැනි ඉණිමේ ලයනල් සඳුන්ට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා.. වයස පහේ ළමයගේ ඉඳන් වයස අනූ ගණන් දක්වා අයගේ ප්‍රතිචාර තියෙනවා.
ටෙලි නාට්‍යයේ හැටියට ලයනල් සඳුන් කියන්නේ ප්‍රේක්ෂකයාගේ ආදරය හිමිවන චරිතයක් ‍නෙවෙයි. කළු චරිතයක් .. මිනිස්සු මේ චරිතයට බනිනවා.. පාරෙදි මුණ ගැහිලා මට බැනපු අයත් ඉන්නවා.. හැබැයි ඉතින් ඒ විදියට කවුරුහරි මට බනිනව කියන්නේ මම ඒ චරිතය සාර්ථකව කළා කියන එක..

ඔය රසික ප්‍රතිචාර අතර රසිකාවියන්ගේ ප්‍රේමාරාධනා සහිත ප්‍රතිචාර ලැබෙන්නේ නැද්ද .. ?
ඒ ප්‍රතිචාර නම් ඉතාම ඉහළින් ලැබෙනවා.. ඒත් ඉතින් ඒ අය ඒ විදියට මට ආදරේ කරන්නේ මම නළුවෙක් හිංදානේ..
ඒ විදියේ ආදරයක් ජනප්‍රියත්වය නැති වීමත් එක්ක නැතිවෙලා යනවා.. ඒ වගේ ප්‍රතිචාර දක්වන අයට සුහදව කතාබහ කරලා පැහැදිලි කරනවා.

මේ වනවිට ඔබට සැබෑවටම ආදරය කරන පෙම්වතියක් ඉන්නවා නේද..?
ඔව් .. ඇයත් බර්ගර් ජාතික තරුණියක්.. ඒ නිසා ගෙවල් දෙකින්ම ප්‍රශ්නයක් නැහැ.. ඉදිරියේදි අපේ විවාහය සිදුවේවි.

රයන් සුරතල් බල්ලන්ට ගොඩක් ආදරෙයි කියන්නේ ඇත්තද?
ඔව් …. මගේ ගෙදර සුරතල් බල්ලෝ හය දෙනෙක්ම ඉන්නවා. ඒ අයව බලාගන්න මම වෙනමම සේවකයෙක් යොදවලා ඉන්නේ.

ඔබ සමාජ සත්කාරක කටයුතුවලටත් යොමවුණ කෙනෙක්…?
මම දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයේ ඉන්න මිතුරන් පිරිසක් එක්ක එකතුවෙලා මාස හතරෙන් හතරට ‍ලේ පයින්ට් 1000ක් පිළිකා රෝහලට පරිත්‍යාග කරනවා.
ඒ වගේම මම කලාවෙන් හම්බකරන සෑම සතයක්ම අංගවිකල දරුවන් සිටින ළමා නිවාසයකට පරිත්‍යාග කරනවා.

එතකොට ඔබේ පැවැත්ම සකසා ගන්නේ කොහොමද?
මට ආනයනික ව්‍යාපාරයක් තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!