Gossip

කොරෝනා නිසා පිච්ච මලට වෙච්චි දෙයක්…

පිච්ච මල් විශේෂයෙන් යොදාගන්නේ බුදුන් පුදන්නට හා දෙවියන් උදෙසා මල්මාල ගොතන්නටයි. එහෙත් පසුගිය කාලය තුළ රටපුරා සිය අණසක පතුරුවාගෙන සිටි කොරෝනා ව්‍යසනය හේතුවෙන් පිච්ච මල් වගාව ජීවනෝපාය කරගත් තමනට එදිනෙදා ජීවිතය හෝ ගොතාගැනීමට නොහැකිව ඉතා අසරණව සිටින බව ඇල්ල බල්ලකෙටුවේ පිච්ච මල් වගාකරුවන් පවසනවා.

ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බල්ලකෙටුව, අඹගමුව, ඇල්ලවත්ත පහළ කොටස යන ප‍්‍රදේශවල පවුල් 250 කට අධික පිරිසක් දශක ගණනාවක සිටම මෙම පිච්ච මල් වගාවේ නියැළෙනවා. දිනපතාම මෝදුවෙමින් පවතින පිච්ච මල් කැකුළු නෙළා සෝදා පිරිසිදු කර කෙසෙල් කොළවල ඔතා එම පාර්සලය පොඩිවීමෙන් හා වියළීමෙන් වළක්වා ගැනීමට කෙසෙල් පතුරකින් ආවරණය කර කෙසෙල් පට්ටවලින් ගැටගසා එවන් ඇසුරුම් බස්රථ හෝ දුම්රිය මඟින් කොළඹ කොච්චිකඬේ හා යාපනය ප‍්‍රදේශයේ මල් වෙළෙන්ඳන් කරා යැවීම දිනපතා මේ පිච්චමල් වගාකරුවන්ගේ පවුල්වල සමූහික දින චර්යාවක් බවට පත්ව තිබෙනවා.

එහෙත් කෙරෝනා අවදානම පැතිරීමත් වෙළඳපොළ වැසීගොස් ඇඳිරිනීතිය රජවී බස් ධාවනය ඇනහිටීමත් සමඟ ඔවුන්ගේ ජීවිතද එක තැන නතර වුණා.

ඒ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පැවතියද මේ වන තුරුත් තමන් පත්ව සිටින අසීරුතාව පිළිබඳව එම වගාකරුවන් මෙසේ අදහස් දැක්වූවා.

එස්. රාමචන්ද්‍රන් මහතා:

අපි ඉන්නේ බල්ලකෙටුව අඹගමුව ගම්මානයේ. මේ අවට ප‍්‍රදේශයේ පවුල් 250 ක් විතර කරන්නේ පිච්ච මල් වගාව. මල්මාලා ගෙතීම වගේ විවිධ අවශ්‍යතා සඳහා අපි හැමදාම මේ පිච්ච මල් කඩලා සෝදා පාර්සල් කර අසුරා බස්රථවලින් කොළඹ හා යාපනය ප‍්‍රදේශවල ව්‍යාපාරික ස්ථානවලට යවනවා. ඒත් මේ කොරෝනා පැතිරීමත් එක්කම ඒ ව්‍යාපාර ඇන හිටියා. බස් නතර වුණා. ඒ නිසා මල් විකුණා ගන්න බැරිව අපේ ජීවනෝපායන් සම්පූර්ණයෙන් අහිමි වුණා. දැන් ජීවත් වෙන්නෙත් හරිම අමාරුවෙන්.

එම්. සරෝජාදේවී මහත්මිය:

අපිට වෙන ආදායම් මාර්ගයක් නෑ. ඒත් අපිත් ජීවත් වෙන්න ඕනෑ. ළමයින් ජීවත් කරවන්න ඕනෑ. දැන් මාස තුනක් විතර මේ මල් විකුණාගන්න බැරිව ඉන්නවා. ජීවිතේ ගැනත් බයෙන් ඉන්න මිනිස්සු මල් අරගනීද. ඉතින් අපි ජීවත් වෙන්නේ කොහොමද. රජයෙන්වත් අපට ජීවත් වෙන්න යම් සහනයක් ලබාදෙන්න කියලයි අපි ඉල්ලන්නේ.

ආර්. නිත්‍යා මෙනෙවිය:

මේ ගමේ වෙනත් වගාවන් නෑ. හැමෝම වගේ කරන්නේ පිච්චමල් වගාව. අපට වෙනදා වගේ මල් විකුණාගන්න බැරිවුණත් වගාවන් අත් ඇරලා ඉන්න බෑ. ඒවා රැකගන්න ඕනෑ. ඒවාට අවශ්‍ය බෙහෙත් පොහොර ආදිය යොදමින් දිනපතා වගාව නඩත්තු කරන්න ඕනෑ. ඒ වගාවල හැදෙන මල් පරවිලා ගස්වලම වේලී ගියාම ගස් බාල වෙනවා. ඒ නිසා පුරුදු විදිහට හැමදාම මල් කඩන්න ඕනෑ. අපි වෙනදා වගේම ඒ මල් කැඩුවත් කරන්න දෙයක් නැති නිසා ඒවා විසිකරනවා.

වියදම විතරයි. ආදායමක් නෑ. ඒ නිසා මේ පිච්චමල් ගොවීන් ආරක්ෂා කිරීමට යම් වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කරන්න කියා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

වී. ධනුෂන් මහතා:

කොරෝනා එන්න කලින් වෙනත් පළාත් වල මොනවා හරි රස්සාවක් කළ අයත් දැන් ගෙවල්වලට ඇවිත් ඉන්නේ. පාසල් ගිය ළමයිනුත් ගෙවල්වලමයි. වැඩිහිටියන් කොහොමද මේ හැමෝම බලාගන්නේ. වෙන ආදායමකුත් නෑ. මේ වගාවලින් ආදායමක් එන්නෙත් නෑ. අපට කොළඹටවත් යන්නත් බෑ. ඒ නිසා අපට මොනවා හරි සහනයක් ලබාදෙන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ.

වී. රාසයියා මහතා:

අපේ ගමේ පවුල් රැසකට දැන් එදිනෙදා ජීවත් වීමත් ප‍්‍රශ්නයක් වෙලා. මෙතෙක් කලක් මෙහෙම දෙයක් වුණේ නෑ. මේ කොරෝනා ප‍්‍රශ්නයත් එක්ක දෙවියන් වඳින්න කෝවිලට යන එක පවා අඩුවුණා. ඉතින් අපි මේ මල් කාට දෙන්නද. හැමදාම මල් කඩලා විසි කරනවා. ඒ නිසා වියදමටවත් කීයක්වත් හොයාගන්න බැරිවෙලා තියෙනවා. අපට රජයෙන් හෝ යම් සහනයක් ලබාදෙන්න.

කරුණාරත්න පල්ලේගම

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!