Gossip

චීන මකරා ජය ගනී – විරෝධතා පැන නැගෙයි

චීන මකරාගේ  ඇසේ රිදුම් දෙන  හොංකොං  වැලිකැටය?

නිතරම රිදුම් දෙන කාරණයක් සම්බන්ධයෙන් කීමට ”ඇහැට වැටුණ වැලිකැටය වගේ” යැයි කියමනක් අපගේ ගැමි වහරෙහි ඇත. 1949 ඔක්තෝබර් 01 වන දින මා ඕ සේතුන් විසින් චීන මහා දේශයේ මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු කොමියුනිස්ට් චීනයේ කොටසක පැවැති බටහිර ධනවාදයේ කෙළිබිමක් වූ හොංකොං දේශය සම්බන්ධයෙන් චීනය කටයුතු කළේ ද ඇහැට වැටුණ වැලි කැටයක් පරිද්දෙනි. මෙම ධනවාදී වාණිජ කේන්ද්‍රස්ථානය යළි තමන්ගේ පාලනයට නතු කර ගැනීමට ඔවුන් පුලා පුලා බලා සිටියේ කොමියුනිස්ට් චීනයේ කොටසක ධනවාදී ආණ්ඩුවක් පැවතීමේ අවමානය තුරන් කර ගනු පිණිසය. පීකිං සම්මුතිය ප‍්‍රකාරව ඒ සඳහා 99 අවුරුදු බදු කාලය අවසන් විය යුතු වූ අතර එය 1997 ජුලි 01 දිනට නිමා වීමට නියමිතව තිබුණි.

1992 වසරේ සිට හොංකොං පාලන හුවමාරුව සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය හා චීනය අතර සාකච්ඡුා ආරම්භ විය. දෛවෝපගත ලෙස ඒ වන විට චීනය ලෝක බලවතෙක් ලෙස නැගී එමින් තිබුණ අතර මහා බි‍්‍රතාන්‍යය තවදුරටත් ලෝක බලවතෙක් ලෙස චීනයට බලහත්කාරකම් කළ හැකි මට්ටමක සිටියේ නැත. පවරා ගැනීම පිළිබඳ සාකච්ඡාවේදී හොංකොං වැසියන්ගේ කැමැත්ත තීරණාත්මක සාධකයක් නොවුණ අතර ඔවුන් අකමැති වූයේ නම් බලසම්පන්න චීන මහජන විමුක්ති හමුදාව හොංකොං ආක‍්‍රමණය කරමින් තම රටට ඈඳා ගැනීමට ඉඩ තිබුණි. වසර ගණනාවක් ඇදී ගිය සාකච්ඡාවන්ගෙන් අනතුරුව බි‍්‍රතාන්‍ය අගමැතිනි මාග‍්‍රට් තැචර් හොංකොං පාලනයට අදාළ සියලූ කලාප බදු කාලය අවසානයේ චීනය වෙත පවරා දීමට එකඟතාවය පළ කළාය. ඒ අනුව 1984 දී ”හොංකොං සඳහා වන චීන-බි‍්‍රතාන්‍ය ඒකාබද්ධ ප‍්‍රකාශයට” අත්සන් තැබුණ අතර ගිවිසුමේ කොන්දේසියක් ලෙස වසර 50 ක් ගතවන තෙක් හොංකොංහි සමාජ ආර්ථික ක‍්‍රමය සහ ධනවාදී ජීවන රටාව පවතින ලෙසටම පවත්වාගෙන යෑමට එකඟතාවය පළ විය. ඒ අනුව 2047 ජූලි 01 වන දින වන තෙක් හොංකොං ”එක රටක් – පාලන ක‍්‍රම දෙකක්” යන ප‍්‍රතිපත්තිය යටතේ කොමියුනිස්ට් චීනය යටතේ ධනවාදී පාලන ක‍්‍රමයක් ලෙස පැවතීමට නියමිත විය. චීනයේ මෙම ඉවසිලිමත් උපායමාර්ගික ප‍්‍රවේශය නොවුණේ නම් ශතවර්ෂ ගණනක් නිදහස් මිනිසුන් ලෙස ජීවත්වූ මිලියන 7 කට වැඩි හොංකොං ජනතාව දැඩි සීමාකාරි කොමියුනිස්ට් පාලනයකට යටත්වීමට අකමැත්ත පළකිරීම නියත බැවින් ඔවුන්ගේ දැඩි විරෝධතාවයන් හේතුවෙන් හොංකොං පවරා ගැනීමට බාධාවන්නට ඉඩ තිබුණි.

චීනය ක‍්‍රමයෙන් ලොව මහා බලවතෙක් බවට පත්වන විට ඊට සමාන්තරව හොංකොං සඳහා වන චීන ප‍්‍රතිපත්තිය වඩාත් දැඩි ස්වරූපයක් ගනු දකින්නට ලැබුණි. හොංකොං සඳහා වන ග‍්‍රහණය දැඩි කිරීම සඳහා චීනය විවිධ උපක‍්‍රම අත්හදා බලමින් සිටි අතර 2019 වසරේදී සම්මත කිරීමට උත්සාහ කළ පනත් කෙටුම්පතක් නිසා චීන බලහත්කාරයට එරෙහිව විශාල විරෝධතා රැල්ලක් හොංකොං හි නිර්මාණය විය. අපරාධයන් සඳහා අත්අඩංගුවට ගන්නා සැකකරුවන් ඇතුළු හොංකොං ජාතිකයන් චීනයට පිටුවහල් කිරීමට ඉඩ සලසන මෙම නව ජාතික ආරක්‍ෂක නීති පැන නැගුන විරෝධතා හේතුවෙන් අත්හිටුවීමට ඒ අවස්ථාවේ චීනය ක‍්‍රියා කළ නමුත් කොවිඞ් 19 ගෝලීය වසංගත තත්ත්වය මධ්‍යයේ නැවතත්

පසුගිය 22 වන සිකුරාදා හොංකොංහි ජාතික රූපවාහිනිය මගින් නිවේදනය කර සිටියේ නව ජාතික ආරක්‍ෂක නීති ක‍්‍රියාත්මක කරලීමට චීනය කටයුතු කරමින් සිටින බවයි. මෙම ප‍්‍රවෘත්තිය පළවීමත් සමග මිලියන 7.4 කට අධික හොංකොං වැසියන් කැලඹීමට පත්වූ අතර සමාජ මාධ්‍ය හරහා දැඩි විරෝධතා එල්ල වන්නට විය. ඇතැම් සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරීන් සිය පැරණි අධිරාජ්‍යවාදී පාලකයා වන බි‍්‍රතාන්‍ය වෙත සහ එක්සත් ජනපදය වෙත ඉල්ලීම් කර සිටියේ චීනයේ මර්දනකාරී පිළිවෙතට විරුද්ධව කටයුතු කරන ලෙසයි.

සිකුරාදා දහවල් වන විට චීනයේ නව නීතිවලට එරෙහිව කුඩා පෙළපාලියක් සංවිධානය වූ අතර ක‍්‍රමයෙන් වර්ධනය වූ විරෝධතා පෙළපාලිය පොලිසිය විසින් අවහිර කිරීම හේතුවෙන් ගැටුමකට පරිවර්තනය වූ අතර කණ්ඩායම් වශයෙන් විසිරි ගිය පිරිස් නගරයේ තැන් තැන්වල වීදි අවහිර කරමින් නමුත් සාමකාමීව විරෝධතා දැක්වීම ආරම්භ කළහ. විරෝධතා පැය හතක් පමණ පැවැති බව වාර්තා විය.

ඉරිදා නව වටයකින් විරෝධතා ආරම්භ වූ අතර කොවිඞ් 19 වසංගතයට වසා දැමීමෙන් පසු සිදු වූ පළමු මහා පරිමාණ ජනතා උද්ඝෝෂණයට සමාජ මාධ්‍ය හරහා සංවිධානය වූ දහස් ගණනක් හොංකොං වැසියන් සහභාගී වූ අතර මුහුණු ආවරණ පැළැඳි නමුත් දුරස්ථභාවය පිළිබද නීති නොතකා හරිමින් වීදි පුරා රැස්වූ ජනතාව බීජීනයට විරෝධය පළ කරමින් ”නිදහස නැත්නම් මරණය ලබාදෙන්නැයි” ඉල්ලීම් කරන ලදී. හොංකොං පොලීසියේ කැරළි මර්දන බලකාය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක් එල්ල කළ අතර ප‍්‍රකෝප වූ විරෝධතාකරුවෝ පොලීසිය වෙත ගල් මුල් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ. හොංකොං පොලිස් ප‍්‍රකාශයන්ට අනුව 180 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැලකිය යුතු පිරිසක් තුවාල ලබා තිබේ. උද්ඝෝෂකයන්ගේ ප‍්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පොලිස් නිලධාරින් හතර දෙනෙකුවත් තුවාල ලබා ඇති බව වාර්තා වී ඇත. කාන්තාවක් ඇතුළු හය දෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර ඇති බව රෝහල් ප‍්‍රකාශකයන් උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත. එක්සත් ජනපද ධජ අතැති ඇතැම් විරෝධතාකරුවන් ”ට‍්‍රම්ප් ජනාධිපතිතුමනි! කරුණාකර හොංකොං නිදහස් කරන්න” (ප්‍රෙසිඩන්ට් ට‍්‍රම්ප්! ප්ලීස් ලිබර්ටි හොංකොං යයි සඳහන් බැනර ඔසවාගෙන විරෝධතාවයෙහි යෙදීම විශේෂ දසුනක් විය)

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ චීනයේ උත්සාහය හෙළා දැක ඇති අතර එය හොංකොං හි නිදහස මරා දැමීමක් ලෙස විස්තර කර ඇත. එක්සත් රාජධානිය හොංකොං පවරාදීමේ බි‍්‍රතාන්‍ය චීන ඒකාබද්ධ ප‍්‍රකාශනයේ එකඟතාවලට ගරු කරන මෙන් ඉල්ලා ඇති අතර ඔස්ටේ‍්‍රලියාව සහ කැනඩාව ද සිදුවීම් පිළිබඳ සිය කනස්සල්ල පළ කර ඇත. හොංකොං සමීපයෙන් පිහිටා ඇති චීනයට සතුරු තායිවානයේ ජනාධිපති ”ට්සායි න් වෙන්ත්” විරෝධතාකරුවන්ට සිය සහයෝගය පළ කර ඇති අතර බීජිනය විසින් විරෝධතාකරුවන්ට එරෙහිව වෙඩි උණ්ඩ සහ මර්දනය පතිත කරනු ඇතැයි අනතුරු ඇඟවීය.

මෙම තත්ත්වයන්ට ප‍්‍රතිචාර දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශක ”ෂාවෝ ලිජියන්” සඳුදා මාධ්‍ය අමතමින් අවධාරණය කළේ එක්සත් ජනපදය චීනයේ අවශ්‍යතාවයන්ට පටහැණි ලෙස කටයුතු කරන්නේ නම් එයට එරෙහි වීමට හා ප‍්‍රතිචාර දැක්වීමට චීනයට අයිතියක් ඇති බවයි. ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කළේ චීනය වොෂිංටනයේ ඕනෑම සම්බාධකයකට ප‍්‍රතිචාර දැක්වීමට නොපැකිලෙන බවයි. ඇතැම් චීන ජාතිකයන් විරෝධතා පසුපස ඇමෙරිකානු සෙවනැලි ඇති බවට ඉඟි පළ කරයි.

කෙසේ වෙතත් මාරක ගෝලීය වසංගත තත්ත්වයක් යටතේ වුවද ලොව මහ බලවතුන් දෙදෙනා අතර ආතතීන් උත්සන්න කිරීමටත් නව සීතල යුද්ධයක් ඇරඹීමටත් හේතුවන ආකාරයේ කැලඹීමක කේන්ද්‍රීය ලක්‍ෂ්‍ය හොංකොං වන බවට ඉඟි පළවෙමින් ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

නන්දජීව සූරියබණ්ඩාර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!