Gossip

කොරියන් නැටුම්වලට වහවැටී රට වටේ ගිය කෙසෙල්වත්තේ ගැහැණු ළමයි තිදෙනා නිවසින් පැනගියේ ඇයි ?

“මේ වගේ අවස්ථාවකදී අපේ සංස්කෘතිය මොනා වුණත් දරුවන්ගේ හිත සන්සුන් වන පරිසරයක් අපි ගෙදර ඇතිකර ගන්න අවශ්‍යයි. සංගීතයට, චිත්‍ර, සෙල්ලම් කිරීමට සීමාවක් ඇතුව අපි අවස්ථාවක් දෙන්න අවශ්‍යයි. නැත්නම් දරුවන්ගේ පීඩනය වැඩිවෙලා දිගුකාලීන මානසික සංකූලතා ඇතිවෙන්න පුළුවන්.”

එසේ පැවසුවේ ළමා මනෝ වෛද්‍ය විශේෂඥ, මියුරු චන්ද්‍රදාස මහතා විසින්,

ඊට ප්‍රස්තුත කාරණාව වූයේ පසුගියදා නිවසින් පැනගොස් සිටි මුස්ලිම් ගැහැණු දරුවන් ගේ මානසික තත්ත්වයයි.

වෛද්‍යවරයා පවසා සිටියේ ළමයින් ට මානසික පීඩනයක් ඇතිනොවන පරිදි කටයුතු කිරීම දෙමව්පියන්ගේ වගකීමක් බවයි.

පසුගියදා කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අතුරුදන් වූ වයස අවුරුදු 13ක් හා 15ක් වන දැරියන් තිදෙනා නිවසෙන් පැනගොස් තිබුණේ සංගීතය හා බටහිර නර්තනය පුහුණුවීමට සුදුසු ස්ථානයක් සොයා බව හෙළිවුණා.

පොලිසියට ප්‍රකාශයක් දුන් ඔවුන් පවසා ඇත්තේ, සංගීතයට හා බටහිර නර්තනයට දැඩි ඇල්මක් දැක්වූ තමන්ට මව්පියන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ඔවුන් එලෙස කළ බවයි.

කොළඹ කෙසෙල්වත්ත, මාටිස් පටුමගේ පදිංචි මව, පියා සහ දැරියන් දෙදෙනෙක් ජීවත්වන නිවසට ගම්පොළ ජීවත් වන මවගේ නැගණිය සහ ඇයගේ දියණිය මීට සතියකට පමණ පෙර පැමිණ තිබුණා.

නමුත් පසුගිය 08 වනදා රාත්‍රියේ 13 සහ 15 හැවිරිදි වියේ පසුවූ දැරියන් තිදෙනා සහ තම ජංගම දුරකථනය අතුරුදන් බවට කෙසෙල්වත්ත නිවසේ පදිංචි දැරියන්ගේ මව කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබුවා.

එම දැරිවියන් තිදෙනා පසුගිය 08 වනදා උදෑසන මවට නොපවසා නිවෙසින් පිටව ගොස් තිබුණා.

මව පොලීසියට සඳහන්කර ඇත්තේ, 08 වනදා පෙරවරු 7.45ට පමණ දැරියන් තිදෙනා කාමරයේ සිටියත්, 8.30 පමණ වන විට ඔවුන් දක්නට නොසිටි බවයි.

සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ විමර්ශන සිදුකළ පොලිසියට, දැරියන් ගමන් බෑග් 3ක් ද රැගෙන නිවස පිහිටි පටුමගේ ගමන් කරන ආකාරය සොයාගැනීමට හැකිවුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වූ පොලිසිය දැරියන් රැගෙන ගිය ජංගම දුරකථනයේ දත්ත ද විශ්ලේෂණය කිරීම ආරම්භ කළා.

නමුත් එම දැරියන් තිදෙනා ඊයේ රාත්‍රි 10ට පමණ නැවත නිවසට පැමිණ තිබුණා.

මේ අතර, ඊයේ (10) පෙරවරුවේ මේ දැරියන්ගෙන් ප්‍රකාශයක් ගැනීමට කෙසෙල්වත්ත පොලීසිය පියවර ගත්තා.

එහිදී කෙසෙල්වත් නිවසේ ජීවත් වූ 13 හැවිරිදි ෆාතිමා කදීරා , ඇයගේ වැඩිමල් සොයුරිය වූ 15 හැවිරිදි ෆාතිමා රක්ෂා මෙන්ම, ගම්පොළ සිට නිවසට පැමිණි ඥාති දියණිය වන 13 හැවිරිදි ෆාතිමා වර්යා ද ප්‍රකාශ දී තිබුණා.

ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ, තමන් කොරියානු සංගීතයට හා බටහිර නර්තනයට දැඩි ඇල්මක් දැක්වුවත් ඊට වැඩිහිටියන්ගෙන් විරෝධයක් එල්ල වූ බවයි.

පසුව සංගීතය සහ නර්තනය ඉගෙනීම සඳහා නිවසින් පිටව යාමට තීරණය කළ බව ඔවුන් පොලිසියට ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව 8 වැනිදා පෙරවරුවේ ත්‍රිරෝද රථයකින් කොළඹ, පිටකොටුවට එන මොවුන් තමන්ට අවශ්‍ය මුදල් සොයාගෙන ඇත්තේ, රත්‍රං මුදුවක් රුපියල් 64,000කට අලෙවි කිරීමෙන්.

මුළු සිරුරම වැසෙන ඇඳුම් ඇඳීම වෙනුවට බටහිර පන්නයේ ඇඳුම් ඇඳීමට ආශාවක් දැක්වූ නිසා එම මුදලින් ඇඳුම් මිලදී ගෙන බටහිර සංගීත හා නර්තන පන්තියක් සොයාගැනීම සඳහා ඔවුන් පළමුව ගොස් තිබුණේ වත්තල ප්‍රදේශයටයි.

පසුව ඔවුන් අනුරාධපුරය බලා පිටත්වගොස් තිබුණේ එම ප්‍රයත්නය ව්‍යර්ථ වූ බැවින්.

එම දැරියන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටි බස් රියදුරෙකු සඳහන් කළේ,

“බස් එක කොළඹින් ගියේ 5.30ට. ළමයි කළු පාට ඇඳුම් ඇඳගෙන හිටියේ. අනුරාධපුරයට ටිකට් ගත්තා. අනුරාධපුරයට ගිහිල්ලා ආයේ කොළඹට යනවා කිව්වා. රෑ වුණා කොළඹ බස් එකකට අපිව දාන්න කිව්වා. රෑ 12.30 ට විතර මන්නාරමේ ඉඳලා එන බස් එකක් ආවා. මම ගිහින් නතර කරලා ළමයි 3 දෙනාව බස් එකට දාලා කොළඹින්ම බස්සන්න. වෙන කොහෙන්වත් බස්සන්න එපා කිව්වා. මෙයාලා කෙසෙල්වත්තෙ කියලා. පස්සේ මම බස් එකටත් කතා කළා. උදේ 7.30ට විතර කොළඹින් බැස්සා කිව්වා.”

කොළඹ පැමිණි ඔවුන් යළි මහනුවර බලා පිටත්ව ගොස් ඇති බව හෙළිවුණා.

නමුත් ඔවුන්ට සුදුසු පන්තියක් සොයාගැනීම ට හැකියාව ලැබී නැහැ.

එහිදීද පන්තියක් හමුනොවීම නිසා යළිත් කොළඹට පැමිණි ඔවුන් රාත්‍රියේ නවාතැන් ගැනීම සඳහා නවාතැන්පොළක් වෙත ගොස් තිබුණා.

දැරියන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ, ජාතික හැඳුනුම්පත් නොතිබීම හේතුවෙන් තමන්ව භාරගැනීම එහිදී ප්‍රතික්ෂේප වූ බවයි.

පසුව මොවුන් තිදෙනා රාත්‍රි 10ට පමණ යළි නිවසට පැමිණ තිබුණා.

මේ අතර, එම දැරියන් තිදෙනාව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා නියෝග කළේ, ළමුන් බැඳුම්කරයන්ට යටත්ව දෙමව්පියන්ට භාරදෙන ලෙසයි.

එමෙන්ම දැරියන්ගේ භාරකාරීත්වය පිළිබඳව පරිවාස නිලධාරියෙකුගේ නිර්දේශ සහිත වාර්තාවක් ලබන 16 වනදා අධිකරණයට ඉදිරිපත්කරන ලෙසද මෙහිදී අතිරේක මහෙස්ත්‍රාත්වරයා කෙසෙල්වත්ත පොලිසියට නියෝග කර තිබුණා.

ඒ අනුව ඔවුන් ජීවත්වූ එම නිවෙස්වල ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේදැයි එහිදී නිරීක්ෂණය කිරීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!